කොහොමද චතූ මේ දවස්වල වැඩකටයුතු?
ලොකු කාර්යබහුලත්වයකින් පස්සේ මේ දවස්වල ටිකක් නිදහසේ කාලේ ගෙවනවා. පහුගිය මාසේ අවුරුදු එක්ක වගේම අලුතින් රූගත කරපු චිත්‍රපටිය එක්ක කාර්යබහුල වුණා. ඒ වගේම අලුත් නිර්මාණයකට පොඩ්ඩක් මහත් වෙන ගමන් ඉන්නේ.මං ඇහුවොත් රංගනය පටන්ගත්තු කාලේ ඉඳන් මේ වෙනකල් ඔබ කළ වෙනස් රංගනයක් ගැන?මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු අටක්. ඒ අවුරුදු අටේදිම මට විවිධ විදිහේ චරිත හම්බෙලා තියෙනවා. නමුත් මම හරිම ආසාවෙන් හිටියා චීත්ත ගවුමක් ඇඳලා ගැමි චරිතයක් කරන්න. ඉතින් මට ඒ අවස්ථාව හම්බුණා සිවදාසන් සර්ගෙ දූවිලි දරුවෝ කියන චිත්‍රපටියෙන්. හරිම ආසාවෙන් මම ඒ චිත්‍රපටියේ වැඩකටයුතු කළේ. ඒක මගේ රංගන ජීවිතයට ලැබුණු ලොකු අවස්ථාවක් කියලා මං හිතන්නේ. ඊළඟට වෙනස්ම චරිතය තමයි මම මේ දවස්වල ඇඟ වෙනස් කරගනිමින් සූදානම් වෙන චරිතය.
චතූට නිර්මාණයකට ආරාධනා ලැබුණම වැඩිම අවධානය දෙන්නේ පිටපතටද? එහෙමත් නැත්නම් චරිතයේ ස්වභාවයටද?
ඉස්සර වගේ නිර්මාණයක පිටපතක් හම්බෙනවා හරිම අඩුයි දැන්. ගොඩක් වෙලාවට අධ්‍යක්ෂක විසින් ඒ නිර්මාණය මොන වගේ එකක්ද කියලා කියන එක තමයි කරන්නේ. එතකොට මගේ චරිතය ඇතුළෙ මට මොනවද කරන්න පුළුවන් සහ මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන්ද කියලා මම මුලින්ම බලන්නේ. මොකද සමහර චරිත තියෙනවා කොච්චර පවර්ෆුල් වුණත් මට කරන්න බැරි. ඒ වගේ අවස්ථාවක මට ලැබුණු චරිතය වෙනත් කෙනෙක්ට යන එක ගැන මං දෙපාරක් හිතන්නෙ නෑ. මොකද මට ඒ චරිතයට සාධාරණයක් කරන්න බැරිනම් මට වඩා දක්ෂතාවය තියෙන කෙනෙක්ට ඒ අවස්ථාව දෙන එක හොඳයි කියලා මං හිතනවා. ඒ වගේම නිර්මාණයක් තෝරගන්නකොට මං විසින් මට දාගත්තු සීමා මායිම් කිහිපයක් තියෙනවා. ඒවත් එක්ක මට ගැළපෙන චරිත තෝරගෙන රංගනයෙන් දායක වෙනවා.
කලාවේ තියෙන තරගකාරීත්වය එක්ක කොහොමද ඔබේ අනන්‍යතාවය රැකගන්නේ?
හැමදාම අලුත් අලුත් අය මේ ෆීල්ඩ් එකට එනවා. ඉතින් මෙන්න මේ දේ කළොත් අපිට ක්ෂේත්‍රයේ රඳාපවතින්න පුළුවන් කියලා දෙයක් මං තාම දැක්කෙ නෑ. අපිට කොච්චර දක්ෂතාවයක් තිබුණත් වාසනාව කියන දේ නැත්නම් අපිට කොහෙත්ම අවස්ථාවක් ලැබෙන්නෑ මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න. කොච්චර දක්ෂ වුණත්, ලස්සන වුණත්, තමන්ගේ පවුලේ කෙනෙක් කලාවට සම්බන්ධ වුණත් තමන්ට කලාවේ රැfඳන්න වාසනාවක් නැති අය මං දැකලා තියෙනවා.වාසනාව තියෙන කෙනාට ලංකාවේ කොහේ ඉඳලා ආවත් මේකේ රැඳෙන්න වාසනාව තියෙනවා. එතකොට තමන් යන පාත් එක තවත් කෙනෙක්ට ආදර්ශයක් ගන්න පුළුවන්, මං මෙච්චර කල් කරපු චරිතවලින් නමට හානියක් වෙලා නෑ කියන තැන ඉන්න පුළුවන්නම් මං හිතනවා ඒක තමයි ජීවිතේ ලබන ලොකුම ජයග්‍රහණය කියලා.
චතූට මේ ආපු ගමන්මග දිහා ආපහු හැරිලා බලද්දි සතුටුද?
අනිවාර්යයෙන්. මගේ ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි මං කරපු චරිත වගේම මං ඇවිත් තියන ගමන ගැන මට හරිම සතුටුයි. මොකද මං ආවේ හරිම හෙමින් ගමනක්. ලංකාවේ බොහෝදෙනෙක් මාව දන්නවා වගේම බොහෝදෙනෙක් ඉන්නවා මාව නොදන්න. නමුත් මම රංගන ශිල්පිණියක් විදිහට, නිවේදිකාවක් විදිහට සහ මෝස්තර නිරූපණ ශිල්පිණියක් විදිහට ක්ෂේත්‍ර තුනක ඉඳලා තියෙනවා. ඒ තුනේම මට අත්දැකීම් තියෙනවා. ඉතින් ඒවත් එක්ක මං අද ඇවිත් තියෙන ගමන ගැන මට හරිම සතුටුයි.
සාමාන්‍ය ජීවිතේ චතූ රාජපක්ෂ කියන්නෙ මොනවගේ චරිතයක්ද?
මං හිතනවා චතූ රාජපක්ෂ කියන්නෙ ගොඩක් සංවේදී කෙනෙක් කියලා. ඒ වගේම ගොඩක් ශක්තිමත් කෙනෙක්. හැබැයි කොච්චර ශක්තිමත් වුණත් සමහර දේවල්වලට ඉක්මණින්ම දුක හිතෙනවා. දුක් වෙන්න අවශ්‍ය නැති දේවල් ගැනත් හිත හිත දුක් වෙන කෙනෙක්. ඒත් ජීවිතේට දුක, සතුට, සැනසීම ඕනම වෙලේක එන්න යන්න පුළුවන් නිසා ඒ හැමදේ ගැනම අවබෝධයෙන් ඉන්නේ. ඒ වගේම මාව දරාගන්න පුළුවන් හොඳ පිරිසක් ඉන්නවා. මගේ පවුලෙ අය සහ යාළුවන්ට ස්තූතිවන්ත වෙන්න
චතූ රාජපක්ෂ සරල, සාමාන්‍ය කාන්තාවක් විදිහට ජීවත් වෙනවා.කලා ජීවිතේ හෝ පෞද්ගලික ජීවිතේ සපුරගන්න ආසාවෙන් ඉන්න හීනයක් තියෙනවද?
මට ඇත්තටම ඉස්සර ඉඳන්ම එහෙම හීන තිබ්බේ නෑ. මට ඕන වුණේ මට අවශ්‍ය දේවල් සපුරගෙන, ගෙදර අයටත් සලකගෙන සතුටින් ජීවත් වෙන්න. මේ මොහොතේ ජීවිතේ විඳින්න තිබ්බොත් ඇති. හෙට ගැන ලොකු බලාපොරොත්තු මං තියාගෙන නෑ. මොකද අපේ ජීවිතේ කොයි මොහොතක කොයි වගේ දේකට මුහුණ දෙන්න වෙයිද කියලා දන්නෑනෙ.
එරංදි කෞශල්‍යා