'කොක්ටේල් 2' චිත්‍රපටය සඳහා අලුතින් නිකුත් කරන ලද 'මෂූකා' ගීතය 1993 වසරේදී නිකුත් වූ 'Se So Arrubate A Nonna' නැමති ඉතාලි ගීතයේ තනුවට බෙහෙවින් සමාන බවට සමාජ මාධ්‍ය පරිශීලකයින් චෝදනා කිරීමත් සමඟ මේ වන විට දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. ප්‍රීතම්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් සහ මෙහ්මුද්, රාඝව් චෛතන්‍ය මෙන්ම රුවා කයිීගේ ගායනයෙන් හැඩවුණු මෙම ගීතය මේ වන විට අන්තර්ජාලය පුරා වේගයෙන් සංසරණය වෙමින් පවතී. ෂාහිඩ් කපූර් සහ කෘති සැනන්ගේ ආකර්ෂණීය නර්තනයන්ගෙන් මෙන්ම කෘතිගේ වෙනස්ම විලාසිතාවන්ගෙන් යුත් රූප රචනාවකට හිමිකම් කියන මෙම ගීතය, ඉහත කී ඉතාලි ගීතය කොපි කර නිර්මාණය කර ඇති බවට බොහෝ පිරිස් මත පළ කරති.
තමන් වෙත එල්ල වී ඇති මෙම කොපි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සංගීත අධ්‍යක්ෂක ප්‍රීතම් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රතිචාර දක්වා ඇත. තමන් ගීතයක් නිකුත් කරන සෑම අවස්ථාවකදීම මෙලෙස වැරදි සෙවීමටම පත්වූ 'සංගීත රහස් පරීක්ෂකයන්' පිරිසක් සිටින බවත්, ඔවුන් විසින් 'මනඃකල්පිත සමානකම්' නමින් නව සංගීත ශෛලියක් නිර්මාණය කර ඇති බවත් ඔහු එහිදී පවසා තිබේ. එමෙන්ම, මෙම පිරිස මේ වන විට තමන්ගේ නොමිලේ සේවය කරන ප්‍රචාරණ කණ්ඩායම බවට පත්ව ඇති බව පවසන ඔහු, ඔවුන්ගේ මෙම ක්‍රියාව කිසිසේත්ම යහපත් නොවන බවද (Not Nice) සටහන් කරමින් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
පසුගිය අඟහරුවාදා දිනයේදී 'මෂූකා' ගීතය අන්තර්ජාලයට මුදා හැරීමට පෙර, චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම විසින් මාධ්‍ය වෙනුවෙන් විශේෂ හමුවක් ඉරිදා දිනයේදී සංවිධානය කර තිබුණි. එහිදී 'මෂූකා' සහ 'තුජ්කෝ' යන ගීත ද්විත්වයම මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කර ඇති අතර, පසුව රශ්මිකා විසින් 'තුජ්කෝ' ගීතය සිය සමාජ මාධ්‍ය වෙත මුදාහැර කෙටි වේලාවකින් කිසිදු නිල හේතුවක් නොදක්වාම එය ඉවත් කරගැනීමද විශේෂ සිදුවීමක් විය.
මෙම ගීත නිකුත් කිරීම් හරහා 'කොක්ටේල් 2' චිත්‍රපටයේ ඉදිරි සැලසුම් පිළිබඳවද ඉඟි ලබා දී ඇති අතර, ගීත තුනක් එළිදැක්වීමෙන් අනතුරුව 2026 මැයි 29 වැනිදා චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීමට නියමිත බව තහවුරු කර තිබේ. හෝමි අඩජානියා විසින් අධ්‍යක්ෂණය කරන ලද 'කොක්ටේල් 2' චිත්‍රපටය 2026 ජූනි 19 වැනිදා තිරගත වීමට නියමිතය. මෙය 2012 වසරේදී සයිෆ් අලි ඛාන්, දීපිකා පදුකෝන් සහ ඩයනා පෙන්ටිගේ රංගනයෙන් සාර්ථක වූ 'කොක්ටේල්' චිත්‍රපටයේම දිගුවක් ලෙස සැලකෙන නිර්මාණයකි.