දුෂ්ට චරිතයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා ධම්මික බණ්ඩාර

gossiplanka image 1
 


පට්ටිගෙදර සදෙව්‘ කිව්වම ඔහුව නොදන්නා කෙනෙක් නැති තරම්. කෙටි කාලයකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු මේ ආදරණීය රංගන ශිල්පියා, ඇත්ත ජීවිතේදී නම් ධම්මික බණ්ඩාර. ධම්මිකගේ කලා ජීවිතයේ තොරතුරු වගේම, ඔහුගේ මේ ගමන් මඟ ගැන කතා කරන්න අද අපි ඔහු මෙලෙස සම්බන්ධ කර ගත්තා.


මුලින්ම මේ දවස්වල වැඩකටයුතු ගැන කතා කරමු?


මේ දවස්වල අලුතින් මියුසික් වීඩියෝ එකක් කළා. ඒක ඉස්සරහට එන්න තියෙනවා. ඒ වගේම වැඩ පටන් ගත්ත ටෙලිඩ්‍රාමා හතරක් විතර තියෙනවා. ඒවා ඉදිරියේ විකාශනය වෙනවා සහ තව අලුතෙන් කතා කරපු වැඩ ගොඩක් තියෙනවා පටන් ගන්න.


‘පට්ටි ගෙදර සදෙව්‘ මොකද හිතෙන්නේ චරිතෙ ගැන?


මේ වෙනකොට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ මට ලැබුණු කැමැතිම චරිතයක් සහ මට ලැබුණු හොඳ අවස්ථාවක් තමයි පට්ටි ගෙදර සදෙව්, මට ඒ අවස්ථාව ලැබුණේ තිර රචනය හා අධ්‍යක්ෂණය කරපු අනුෂ්ක රසාංජන ද සිල්වා මල්ලි හරහා. ඇත්තටම මම ආසයි එයා එක්ක වැඩ කරන්න. මම මේ අවස්ථාව හම්බෙන්න කලින් ‘ටේක්කෙයා, එක වහලක් යට‘ වගේ ටෙලිනාට්‍ය මං බලලා තියෙනවා ඉතිං ලොකු ආසාවක් ආවා එයා එක්ක වැඩ කරන්න. ඒ ආසාව ඉටුවුණා.


ෆාදර් චිත්‍රපටය ඔබේ පළමු චිත්‍රපටයද?


ඔව්, එය මගේ පළමු චිත්‍රපටය. රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයේ දේවල් ඉගෙන ගන්න සෑහෙන්න ‘කටු කාල‘ තියෙනවා. මට රංගනයට ආස හිතුණෙ පුංචි කාලේ ඉඳන්මයි. ඒ ආසාවෙන් බලා හිටපු දේ මේ ආපු ගමනේ එක තැනකදී මට හමුවෙනවා ෆාදර් චිත්‍රපටය හරහා. අධ්‍යක්ෂ චමින්ද අයියටත් නිෂ්පාදනයට සම්බන්ධ වුණු ශාන්ත ගීත දේව අයියටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව මේ වැඩේට ගත්තට. ඉතින් ඒ හම්බවෙන පළමුවැනි අවස්ථාව අපේ රටේ ඉන්න ක්ෂේත්‍ර සහ ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පියන් ශිල්පිනියන් සෙට් එකක් එක්ක වැඩ කරන්න ලැබුණු එක ලොක් සතුටක්. ඒ වගේම කාලයක් එකට වැඩ කරන යාළුවෝ කට්ටිය එක්ක තමයි රංගනයෙන් දායක වෙන්න ලැබුණේ.


ඔබ කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ


මම නුවර ඉඳන් කොළඹ එන්න අවස්ථාවක් හෙව්වා. මට ආසාව තිබුණේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න. මං මේ ගැන ලොකුවට දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ මම තරුණ සේවා සභාවේ නාට්‍ය ඩිප්ලෝමාවට සම්බන්ධ වුණා. ඩිප්ලෝමා එක ඉවර වෙනකොටම මට රෝහණ කුරුප්පුගේ ‘නිරාවරණ‘ නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා. ඊට පස්සේ සෝමලතා සුභසිංහගේ ආයතනයක සාමාජිකයෙක් ලෙස සම්බන්ධ වුණා. වේදිකා නාට්‍ය “වලස් පවුලට” සම්බන්ධ වුණා. මේ විදිහට තමයි ඉතින් කලා ක්ෂේත්‍රයේ මේ ගමන ආරම්භ කළේ.


මොන වගේ චරිත ලැබෙනවටද කැමැති?


විවිධ චරිත ලැබෙනවට මං කැමැතියි. ක්ෂේත්‍රයට එන්න කලින් විවිධ රැකියා කරපු කෙනෙක්. ඒ දවස්වල තිබ්බ ප්‍රශ්නයක් තමයි හැමදාම එකම දේ කරන්න තියෙන එක. ඒ නිසා මම කැමති විවිධ චරිත ලැබෙනවාට. දුෂ්ටයකුගේ චරිතයක් කරන්න මම කැමැතියි. එහෙම චරිතයක් කරලම නෑ.


රංගන ක්ෂේත්‍රයේදී ඔබට ලැබුණු සුන්දර අත්දැකීම් ගැන කතා කළොත්?


කලා ජීවිතයේ හැම දෙයක්ම මට සුන්දරයි. මුහුදේ රූගත කිරීමකදී බෝට්ටුව පෙරළෙන්න ගිහින් තියෙනවා. මේවා ඉතින් හොඳ අත්දැකීම්. ඒ වගේම රංගනය තුළින් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ජීවිතේට පාඩම් ඉගෙන ගත්තා. මිනිස්සු ආශ්‍රය කරන්නේ කොහොමද, අඳුර ගන්නේ කොහොමද කියන දේවල් මම කලාව තුළින් ඉගෙන ගත්තා.


ඔබට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


හොඳ සහ නරක ප්‍රතිචාර දෙකම ලැබෙනවා. මේ දවස්වල ගොඩක්ම පට්ටි ගෙදර සදෙව්ගේ චරිතයට ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ෆාදර් චිත්‍රපටයේ ඩෙස්මන්ගේ මල්ලිගේ චරිතයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං හිතලවත් නැති විදිහට මිනිස්සු මාව වැලඳගෙන ඉන්නවා. ඉතින් ලැබෙන හැම ප්‍රතිචාරයක්ම ගොඩක් සතුටින් භාරගන්නවා.


කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහාය කොහොමද?


මං ඉතා සීමිත පිරිසක් එක්ක තමයි වැඩ කරලා තියෙන්නේ. ඒ පිරිස ඇතුළෙ ලැබුණු සහයෝගය ඉතා හොඳයි අලුතෙන් තැනකට යනකොට අලුතෙන් පිරිසක් හම්බෙනකොට අපේ හිතේ පොඩි බයක් තියෙනවා. මගේ ජීවිතයේ පළමු රූගත කිරීම්වලදි හේමසිරි ලියනගේ මහතා එක්කට වැඩ කරන්න ලැබුණා. එතැනදි මං ගොඩක් බයෙන් හිටියේ, කරගන්න පුළුවන් වෙයිද කියල. හැබැයි මට කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. ඉතාමත් සුහද විදිහට කතා කරලා ඒ අවශ්‍ය වටපිටාව හදලා දුන්නා. ඉතිං ඒ හැම දෙනාටම ගොඩක් ස්තුතියි.


පවුලේ අයගෙන් ලැබෙන සහාය කොහොමද?


මං තෝරගත්ත දේකට එපා කියලා නෑ. අදටත් එයාලා මං කරන වැඩ බලලා සතුටු වෙනවා. එයාලගෙන් ලොකු සහායක් ලැබෙනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post