ලෝරන්ස්ගේ මනමාලි ‘අදර ගෙදර’ට ඇවිත් සුජීව ප්‍රියාල්

gossiplanka image 1
 


ඔහු විටෙක රංගන ශිල්පියෙකි. තවත් විටෙක අධ්‍යක්ෂවරයෙකි. චිත්‍රපට, ටෙලි නාට්‍ය මෙන්ම වේදිකාවද ඔහුට හුරුපුරුදුය. පසුගියදා යළි වේදිකාගත වුණු ‘ ලෝරන්ස්ගේ මනමාලි’ වේදිකා නාට්‍ය මෙරට ඉතිහාසයේ ඉහළම ආදායම උපයමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තේය. හේ නමින් සුජීව ප්‍රියාල්ය. ‘සුපර්ණා’ අධ්‍යක්‍ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂණයටද පිවිසි ඔහු ‘ඉන්ටර්නැෂනල් 1 – 2, ‘ ඔස්සේ ටෙලි තිරයේද ‘ ‘ගෙවන්නෙත් නෑ ගෙවන්නත් බෑ සමඟින් වේදිකාවේද තම අධ්‍යක්ෂ භූමිකාව තහවුරු කරගත්තේය . ඔහුගේ අලුත්ම වේදිකා අධ්‍යක්ෂණය ‘ අදර ගෙදර‘ නමින් පසුගියදා වේදිකාගත වීම ද ඔහුගේ කලා දිවියේ සුවිශේෂී සංධිස්ථානයකි.


‘අදර ගෙදර’ ගැන හැඳින්වීමක් කරමු ?


සරලවම හඳුන්වනවානම් ‘ලෝරන්ස්ගේ මනමාලි’ ‘අදර ගෙදර’ට පදිංචියට එනවා කිව්වොත් හරි . මේක ලෝරන්ස්ගේ මනමාලිගේ පවුලේම තවත් වැඩක් . මෙය පවුලේ විකට නාටකයක් කිව්වොත් හරි. පවුලේ සැමට නැරඹිය හැකි, පොදු රසවින්දනයක් තිබෙන , හාස්‍යෙ­ා්ත්පාදක නිර්මාණයක් . මෙය ලංකාව පුරා වේදිකාගත කළ හැකි නිර්මාණයක් . ‘ලෝරන්ස්ගේ මනමාලි’ට තරම්ම ප්‍රේක්ෂකයා ‘අදර ගෙදර’ටත් ආදරය කරාවි.


ලෝරන්ගේ මනමාලි අදර ගෙදරට ආවම මොකද වෙන්නේ කියලත් කියමු?


නි‍ෙවසක් තුළ සැමියා, බිරිය , දුව , බිරියගේ මව, මෙහෙකාරිය එකට ඉද්දී සැමියාට අත්වන ඉරණම තමයි මෙහි කතා කෙරෙන්නේ. නැන්දම්මා ආවට පසුව තමයි මෙහි අවුල් ජාලාව ආරම්භ වන්නේ. එය උපහාසාත්මක රසයෙන් යුතුව නිර්මාණය වී තිබෙනවා . මේ කාවවත් අපහාසයට ලක් කිරීමක් කිසිවිටක සිදු වන්නේ නැහැ . එහෙත් සමාජය තුළ අප අත්දකින සිදු වීමක් තමයි සරල රසවින්දනයකින්, යම් හාස්‍ය රසයක් දැනවෙන ලෙස සමාජ යථාර්ථයක් ලෙස කතාබහට ලක්වන්නේ.


‘අදර ගෙදර ‘ නිර්මාණය කරන්න පෙලඹුණේ කොහොමද ?


මීට වසරකට පමණ පෙර මට යම් සත්‍ය සිදු වීමකට මුහුණදෙන්න වුණා. මේ සිද්ධිය හරිම ඛේදනීය තත්ත්වයකට යනවා. එහිදී මම ඒ අත්දැකීම ලැබුවා. මේ සිද්ධියෙන් නාට්‍යයක් කරන්න පුළුවන් කියලා දුලීකා කිව්වා. කොහොමහරි දවසක් කැස්බෑව හන්දියේ අපේ නාට්‍යයක කටවුට් වගයක් බලන්න අපි ඉන්නවා. එහිදී මිහිර සිරිතිලකත් එතැනින් ගියා. එතකොට අපි මිහිරටත් කිව්වා ” මෙහෙම සිදු වීමක් තියෙනවා, මොකද මල්ලි අපි මේක කරමු ” කියලා. ඊට පස්සේ මිහිර මූලික වෙලා මේ කතාව ඉතා රසවත් ලෙසින් ලිව්වා. එහෙමයි මේක නිර්මාණය සඳහා පෙලඹුණේ.


මෙහි රංගනයෙන් දායක වන පිරිස තෝරාගැනීමේ අභියෝගය ජයගත් විදිහ ගැන කතා කළොත්?


‘ලෝරන්ස්ගේ මනමාලි’ කරද්දිත් අපි පවුලේ කට්ටිය වගේ සහයෝගයෙන් වැඩකළා. එහෙම වැඩ කරද්දී අපි අතර ඉබේටම වගේ කණ්ඩායමක් හැදෙනවා. අපේ අත්දැකීම් සමඟ අපට වැඩ කළ හැකි කණ්ඩායමක් අපට ඉන්නේ. එහිදී මේ කලාව තුළ ඉදිරියට රැඳෙන්න පුළුවන් කට්ටිය තමයි අපි බලන්නේ. එහිදී විෂයය කියන දේ මූලිකයි. වේලාවට එන්න ඕන රිහසල්වලට. නාට්‍යවලට ආදරය කරන, කැපවීමක් තියෙන පිරිසක් අපි සොයාගත්තා. මාලි ජයවීරගේ අක්කා මෙහිදී මතක් කරන්න ඕනේ. ඇය මෙහි රංගනයට දායක නොවුණත් අපව නිතරම මුණගැසී කතා කරනවා.


ඒ ආදරයත් හැමදාම තියෙන දෙයක්. අපි කණ්ඩායම අතර ඇතිවන බැඳීමත් එක්ක අපි අපේම කණ්ඩායමක් නිර්මාණය කරගෙන තියෙනවා .


‘අදර ගෙදර’ සාමාජිකයන් ගැනත් මතක් කරමු?


දුලීකා මාරපන , නිල්මිණී කෝට්ටෙගොඩ, ධනංජි තාරකා, තාරකී මෙන්ඩිස්, සශී හේවා විතාරණ සහ මම රංගනයෙන් දායක වෙනවා . සංගීතය ප්‍රදීප් ජයතිලක, අංග රචනය බුවනෙක රණවක , පසුතල නිර්මාණය රශ්මික අඹේපිටිය , ආලෝකකරණය ප්‍රභාත් සංජීව, වේදිකා පරිපාලනය රශ්මික අඹේපිටිය , සශී හේවාවිතාරණ, ගිමුතු ශ්‍රීමාල්.


ඔබ මේ වෙද්දි වේදිකාවේ ජනප්‍රිය චරිතයක්. වත්මන් වේදිකා නාට්‍ය කලාව ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම කියන්න සතුටුයි. අද වේදිකා නාට්‍ය කලාව සුබවාදී තැනක තියෙනවා . මම වේදිකාවට එන්නේ 1993දී. ඒ කාලෙ තිබුණු යුද පසුබිම නිසා මිනිසුන්ට වේදිකාවෙන් ඈත්වෙන්න සිදුවුණා. නිර්මාණ රසවිඳීමේ අවස්ථාව අහිමි වුණා. ඒත් මේ වෙද්දි සමස්ත කලාවටම සුබ කාලයක් උදාවෙලා තියෙනවා. වේදිකාව ගත්තත් ගොඩක් හොඳ නිර්මාණ බිහිවෙනවා. ප්‍රේක්ෂකයා වේදිකා නිර්මාණ රසවිඳිනවා. ආදරය කරනවා. ඒක අනාගතයට හොඳ ලකුණක්.


අවසන් වශයෙන් ප්‍රේක්ෂකයාට යම් සඳහනක් කළොත්?


පෙබරවාරි 14 වෙනිදා සිට ‘අදර ගෙදර’ වේදිකාගත වීම ඇරඹුණා. ඕනෑම කෙනෙකුට ඇවිත් හොඳ රසවින්දනයක් ලබා ගන්න පුළුවන්. හාස්‍ය රසය ද සමඟ මේ සමාජයේ සිදුවන යථාර්ථයක් වේදිකාව තුළින් රසවිඳින්න ඔබට හැකිවේවි .

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post