මගේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ ගුවන්විදුලිය -ගීතා කාන්ති ජයකොඩි

gossiplanka image 1
 


ලාංකේය කලා කෙත අස්වද්දන්නට තම හඬත්, රූපයත්, රංග ප්‍රතිභාවත් එක ලෙස දායාද කළ ඇය, මෙරට රසික හදවත් තුළ නොමැකෙන සටහනක් තැබූ ප්‍රවීණ කලා ශිල්පිණියකි. වේදිකාව ගුවන්විදුලිය, පුංචි තිරය මෙන්ම රිදී තිරය ද ජයගත් ඈ, ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කාන්ති ජයකොඩිය. ඇයගේ වතගොත නවක පරපුර වෙත ලබා දෙන්නට අපි ඇය සොයා ගියෙමු.


ඔබ දායක වෙලා ඉන්න අලුත් නිර්මාණ වලින්ම කතාව ආරම්භ කරමු?


හිරු කුමරු ආදරේ ගෙනල්ලා සහ තප්පර කට්ටා යන ටෙලිනාට්‍ය දෙකට රංගනයෙන් දායක වෙනවා. සිනමා කටයුතු ගැන කතා කළොත් පසුගිය අවුරුද්දේ තිරගත වුණ සයනයිඩ් චිත්‍රපටයෙන් අනතුරුව ධනුෂ්ක රත්නායකගේ ‘පරාග‘ සිනමාපටය වගේම ‘වන්දි‘ සිනමාපටයත් ඉදිරියේදි තිරගත වෙන්න තියෙනවා. ඊට අමතරව ගුවන් විදුලි නාට්‍යයක් වන මුවන් පැලැස්ස නාට්‍යටත් මේ දිනවල දායක වෙනවා.


කලා ලොවට පැමිණි ආකාරය ගැනත් සිහිපත් කරමු?


කලා ජීවිතයේ මුල් අඩිතාලම වැටෙන්නේ ගෙදරින්මයි. මට සහෝදර සහෝදරියන් හතර දෙනෙක් ඉන්නවා අයියයි මල්ලියි නංගිලා දෙන්නයි. අපි ඔක්කොමලා සින්දු කියනවා නටනවා. අම්මට තාත්තට ඒ කාලෙ කලාවෙන් ඉදිරියට එන්න අවස්ථාවක් තිබ්බෙ නෑ. අම්මා නැටුම් ගුරුවරියක් ඒත් ඔවුන් අපේ දක්ෂතාවලට ඉඩ දුන්නා. ඒ කාලෙ රේඩියෝ එක විතරයි තිබුණේ.‘චන්දන ඇඟ ගාලා කොණ්ඩේ කඩා දාලා‘… ගඟුලේ ගිලිලා ටිකිරිමලී නාලා වගේ….. මේ වගේ සින්දු කිය කිය අපි නටනවා. අයියා ගමරාළ විදිහට මං ගම හාමිනේ විදිහට සින්දුව කිය කිය නටනවා. පස්සේ දහම් පාසලෙන් සහ පාසලෙන් කලා කටයුතුවලට සම්බන්ධ වුණා. දහම් පාසලෙන් සහ පාසලෙන් ලැබුණු පන්නරය මගේ ගමනට ලොකු ශක්තියක් වුණා.


ඔබේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කැලණි පාලමද?


ඇත්තටම මගේ කලා ජීවිතේ හැරවුම් ලක්ෂය වුණේ ගුවන්විදුලිය. මම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ ගුවන්විදුලියේ වැඩසටහනක් තිබුණ හඳ මාමා කියලා. ඒකෙ ගීතයක් ගායනා කරන්න ගිහිල්ලා ඊට පස්සේ කරුණාරත්න අබේසේකරයන්ගේ සරස්වතී මණ්ඩපයේ අන්තිම කාලයේ මම පොඩි කාලේ සම්බන්ධ වෙලා ගීත ගායනා කළා. ගුවන්විදුලි ළමා පීඨය තුළින් මං තවත් පෝෂණය වුණා. පස්සේ සුගතපාල සිල්වාගේ ගුවන්විදුලි රඟමඩලේ ලංකා කතාව නාට්‍යයේ මම කැතරින් කුමාරිගේ චරිතය රඟපාමින් ඉන්නකොට ජේ.එච්. ජයවර්ධන මහත්මයා තමයි මාව ආර්.ආර් සමරකෝන් මහත්තයාට හඳුන්වලා දෙන්නේ. ඒ හරහා කැලණි පාලම නාට්‍යයේ සුරංගනී ලෙස මට වේදිකාවට එන්න ලැබෙනවා.ගුවන්විදුලියෙන් මගේ හඬ පමණක් අහපු අයට ප්‍රථම වතාවට මාව සජීවීව දැක ගන්න පුළුවන් වුණේ ඒ නාට්‍යයෙන්.


ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියක් ලෙස ලැබූ අත්දැකීම් මොන වගේද?


මම මුලින්ම ගුවන්විදුලි නාට්‍යවලට සම්බන්ධ වෙද්දී අපේ රූපය මිනිස්සු දැක්කේ නැහැ. ඔවුන් මනසින් මවාගත්ත රූපවලට අපේ හඬ ආදේශ කරගත්තා. ‘වජිරා’, ‘මුවන්පැලැස්ස’, ‘සඳගලතැන්න’ වගේ නාට්‍ය හරහා මම ගොඩක් ජනප්‍රිය වුණා. පත්තරවල මගේ රූපය දකිද්දී තමයි රසිකයන් මාව හඳුනාගත්තේ.


වේදිකාව, පුංචි තිරය සහ සිනමාව අතර ඔබ දකින වෙනස කුමක්ද?


මාධ්‍ය තුනේම රංගනය එකිනෙකට වෙනස්. වේදිකාව ගත්තොත් වේදිකා නාට්‍ය රංගනය තුළ ප්‍රේක්ෂකයා ඈත සිටින නිසා හඬ සහ රංගනය තරමක් ‘අධි රඟපෑමක්’ Over-acting ලෙස ඉදිරිපත් ඉදිරිපත් කරන්න ඕනේ.


ටෙලි නාට්‍ය ගත්තොත් ඊට වඩා වෙනස් ටෙලිනාට්‍යය තුළ රූපයත් සමඟ හඬ එකවර පටිගත වෙන නිසා වඩාත් ස්වභාවික වෙන්න ඕනේ.


සිනමාව මේ දෙකටම වඩා වෙනස් බොහෝ විට රූපය පටිගත කර පසුව හඬ කැවීම් Dubbing එක තමයි කරන්නේ.


ප්‍රවීණ හඬ කැවීම් ශිල්පිනියක් ලෙස, එම කාර්යයේ සාර්ථකත්වය රඳා පවතින්නේ කුමක් මතද?


හඬ කැවීමක් කියන්නේ රංගනය තීව්‍ර කිරීමක්. සමහර නළුවන්ට ඉදිරිපත් කළ නොහැකි හැඟීම් හඬ කැවීම් ශිල්පියෙකුට තමන්ගේ හඬින් මතු කරන්න පුළුවන්. මුහුණේ ඉරියව්වලට වඩා වැඩි හැඟීමක් හඬින් දෙන්න උත්සාහ කරනවා. ඒක තමයි ඒ චරිතය ජීවත් කරවීමේ රහස.


ඕනෑම රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට වේදිකාව අත්‍යවශ්‍යයි කියන මතය ඔබ පිළිගන්නවාද?


අනිවාර්යයෙන්ම. රංගනය සම්පූර්ණ වෙන්න ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාසය කියන කරුණු තුනම තියෙන්න ඕනේ. නිරන්තර අභ්‍යාසගතවීම රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ඉතාමත්ම වැදගත්. වේදිකාව කියන්නේ අභ්‍යාසය ලැබෙන තැනයි. මාස ගණන් පුහුණුවීම් කරද්දී චරිතය අධ්‍යයනය කරන්න සහ අනෙක් ශිල්පීන් සමඟ සහයෝගයෙන් වැඩ කරන්න ඉගෙන ගන්නවා. ඒ අත්දැකීම නැතිව රංගන ශිල්පියෙක් සම්පූර්ණ වෙන්නේ නැහැ.


වර්තමාන ටෙලි නාට්‍ය ගුණාත්මකභාවය පිළිබඳව දරන අදහස?


දැන් නම් හුඟක් දුරට ඉතින් ඒ දවස්වල මාසයක් දෙකක් රූපගත කරන ඒවා දැන් එක දවසින් දර්ශන දෙක තුනක් රූපගත කරනවා.ඉස්සර දවසට එක් දර්ශනයක් යනවනම් දැන් එක දවසක දර්ශන දහයක් පහළොවක් රූපගත කරනවා. එතැනදී අභ්‍යාසයක් හෝ ගැඹුරු හැදෑරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අලුතින් එන දරුවන්ට ඒ අභ්‍යාසය ලැබෙනවා අඩුයි. අනිත්දේවල් අතින් වුණත් මුදල් තමයි මුලට දාගන්න වෙන්නේ. ඒකට ඉතින් කාටවත් වැරැද්දක් කියන්න බෑ. දැන් ඉතින් හුඟක් මුදල් මතම යැපෙන කාලයක් උදාවෙලා තියෙන නිසා.


වර්තමාන කලා ක්ෂේත්‍රය තුළ කලාකරුවන්ට නිසි ඇගයීමක් ලැබෙනවාද?


ඇත්තටම කිව්වොත් මේ ගැටලුව අදට විතරක් අදාළ දෙයක් නෙමෙයි. එදා ඉඳන්ම කලාකරුවන්ට ලැබිය යුතු නිසි ඇගයීම ක්ෂේත්‍රය තුළ ලැබුණා කියලා මම හිතන්නේ නැහැ. බොහෝ දෙනෙක් ඒ ගැන කලකිරීමෙන් කතා කරනවා අපි දකිනවා. හැබැයි මම පෞද්ගලිකව දරන මතය තමයි, අපිට ලැබෙන ඇගයීම් හෝ සම්මාන ප්‍රමාණයෙන් මැනලා ඒ ගැන හිත හිතා ඉන්න හොඳ නැහැ කියන එක. ලැබෙන දේ ගැන තෘප්තිමත් වෙලා අපේ කාර්යය හරියට කිරීමයි වැදගත්.


අතීතය දෙස හැරී බලද්දී ඔබේ කලා ජීවිතය ගැන අද දැනෙන හැඟීම මොන වගේද?


ඇත්තටම මට මගේ ගමන් මඟ ගැන තියෙන්නේ නිහතමානී සතුටක්. මට වඩා රූපයෙන් ලස්සන, දක්ෂතාවලින් පිරිපුන් අය ක්ෂේත්‍රයේ ඕනෑතරම් හිටියා. ඒත් ඒ හැ මෝ ම අතරින් මට ලැබුණු අවස්ථාවන් සහ ප්‍රේක්ෂක ආදරය ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා. මනුෂ්‍ය ස්වභාවය අනුව “තව දේවල් ලැබුණා නම් හොඳයි” කියලා හිතුණු අවස්ථා නැත්තේ නැහැ. ඒත් ලැබුණු දේ ගැන මම උපරිමයෙන් සතුටු වෙනවා.ඒ වගේම මගෙන් ඉගෙනගෙන, මම පාර කපලා දීපු නවකයන් අද ඉහළ තැන්වල ඉන්නවා දැකීම මට මගේ සාර්ථකත්වයටත් වඩා ලොකු සතුටක් ගෙන දෙනවා. අනුන්ගේ දක්ෂතා දැකලා සතුටු වෙන්න පුළුවන් මනසක් මට තියෙනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post