ගගන පියවර ටෙලි නිර්මාණයේ ටිලීෂියාගේ භූමිකාවෙන් ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනා ගත් ඇය මේ දිනවල විකාශය වන ඉන්දික ධර්මතිලකගේ සෝනු මන්දාරා ටෙලි නිර්මාණයේ ශානුකීගේ චරිතයට පණ පොවන්නීය. නිරූපණ ක්ෂේත්‍රයේ දිගු කලක අත්දැකීම් බහුල ඇය ඉදිරියේදී තිරගත වීමට නියමිත සිනමා නිර්මාණ ත්‍රිත්වයකින් ඔබ හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. ඇය නමින් ටාෂියා මල්ලවය. මේ කතාබහ ඇය සමඟිනි.
ටාෂියා ගොඩක්ම දකින්නේ නිරූපිකාවක් විදිහට. මේ දිනවල ඔබ පුංචි තිරයේ දකින්න ලැබෙනවා?
ඔව්. මේ දිනවල විකාශය වන ඉන්දික ධර්මතිලකගේ සෝනු මන්දාරා ටෙලි නිර්මාණයේ ශානුකීගේ චරිතයට පණ පොවනවා. ශානුකී කියන්නේ ධනවත් ව්‍යාපාරික කාන්තාවක්. ඒක වෙනස් අත්දැකීමක් වේවි කියල හිතනවා.
මේ දවස්වල වැඩකටයුතු ගැන කතා කරනවා නම්?
සුපුරුදු පරිදි නිරූපණ කටයුතුවලත් නිරත වෙනවා. සෝනු මන්දාරාට අමතරව තවත් අලුත් ටෙලි නිර්මාණයකට සහ සිනමා නිර්මාණයකට ආරාධනා ලැබිල තියෙනවා. මේ දිනවල ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ඉන්නවා.
ඒ කියන්නේ ඉදිරියේදී දිගටම ඔබ නිර්මාණවලින් දකින්න ලැබේවි?
ඔව්. මං රංගනයෙන් දායක වුණු චිත්‍රපට 3ක් තිරගත වීමට නියමිතව තියෙනවා. එකක් මොහාන් නියාස්ගේ වර්ෂා චිත්‍රපටය. එහි මාෂිගේ චරිතයට දායක වුණා. ඒ වගේම වී. සිවදාසන් අධ්‍යක්ෂණය කළ ආදරේ ඇත්තමයි සහ රජිව් සිවදාසන්ගේ ඇයයි මමයි චිත්‍රපටය. ආදරේ ඇත්තමයි චිත්‍රපටයේ මල්ෂා කියන්නේ පෞද්ගලික ලේකම්වරියක්. ඇයයි මමයි චිත්‍රපටයේ කම්පැණි එකක පිළිගැනීමේ නිලධාරිනියක්. මේ චිත්‍රපට ත්‍රිත්වය හරහා ඉදිරියේදී රිදී තිරයේ දකින්න ලැබේවි.
ඔබ ක්ෂේත්‍රයට ඇවිත් දිගු කාලයක් වුණත් දායක වුණු නිර්මාණ ප්‍රමාණය අතළොස්සයි නේද?
ඇත්තටම ඔව්. ගොඩක් දෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නය අහනවා. මං නිරූපණයට සම්බන්ධ වෙන්නෙම ඒ ගැන හැදෑරීමත් එක්ක. ක්ෂේත්‍රයට පිවිසිලා දැනට අවුරුදු 12ක් විතර. අදටත් මගේ ප්‍රධාන විෂය විදිහට සැලකෙන්නේ නිරූපණය. සැලෝන් ෂූට්, බ්‍රයිඩ්ල් ෂූට්, පැෂන් ෂූට් වගේ හැම එකකටම සම්බන්ධ වෙනවා. නිරූපණය හරහා ටෙලි නිර්මාණ රැසකට ආරාධනා ලැබුණත් ගොඩක් ඒවට සම්බන්ධ වෙන්න නොහැකි වුණා. ඒකට විශේෂම හේතුව වුණේ මං ලොජ් වෙලා ඉඳන් ෂූටින්වලට සම්බන්ධ වෙන්නෙ නැති වීම. ඒ හේතුව නිසා ටෙලි නිර්මාණ රැසක් මගෙන් ගිලිහුනා. මං කවදාවත් ලොජ්වෙලා ඉඳන් ෂූටින්වලට සම්බන්ධ වෙන්නේ නැති නිසා ලොකුවට දුවන චරිතවලට සම්බන්ධ වීමේ අවස්ථා ගිලිහෙනවා. අනිත් එක තමයි මගේ හෙයාර් කලර් එක. මං මුලින් හෙයාර් කලර් එක වෙනස් කරන්න කැමති වුණේ නෑ. ඒ නිසාත් ගොඩක් ටෙලි නිර්මාණ වගේම වෙළෙඳ දැන්වීම් වගේ ක්ෂණිකව කතා කරන නිර්මාණ මගෙන් ගිලිහුනා.
රංගනයේදී තෝරාබේරා ගැනීම්, සීමා දාගැනීම අවාසියක් නොවේද?
එක පැත්තකින් ඒක මට ලොකු අවාසියක් වුණා. ඒත් මං මගේ ජීවිතේ පළමු තැන දෙන්නේ මගේ පවුලට. මගේ සැමියා මංජුල ක්‍රීඩාවට සම්බන්ධ තනතුරක් දරන කෙනෙක්. කලාවට සම්බන්ධයක් නැති වුණත් මට ඕනම පැෂන් එකක් කරන්න, ඕනම නිර්මාණයකට දායක වෙන්න ඔහුගෙන් කිසිම බාධාවක් නැහැ. කොටට අඳිද්දි, ටැටූ ගහල තියෙද්දි සමහරු හිතනවා ඇති ඇයි එහෙනම් මේ රඟපාන්න විතරක් සීමා දාගන්නෙ කියලා. ඒත් ඒ සීමා දාගත්තේ මමමයි. ඒ හේතුවෙන් මට නොලැබුණු අවස්ථා බොහොමයි. බොහෝ නිර්මාණ මට නොලැබුණේ මගේ බාහිර පෙනුම නිසා. මගේ පෙනුම ගැමි චරිතවලට ගැළපුණේම නැහැ. ඒ නිසා මට අවස්ථාව ලැබුණෙ නැහැ. ඒත් මේ වෙද්දි මං පෙනුම වෙනස් කරගෙන ගැමි චරිතයක් රඟපාන්න හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා.
මුලින් මුලින් තමන්ටම තහංචි දාගෙන හිටියත් දැන් ටාෂියා රඟපාන්න කැමති චරිත ඇති?
ඔව්. ගැමි තරුණියකගේ චරිතය රඟපාන්න තමයි ගොඩක්ම කැමති. ඊට අමතරව මොකක්හරි යුනිෆෝම් එකක් අඳින චරිතයක්. දමිළ කාන්තාවකගේ චරිතයක් වගෙත් කරන්න ආසයි.
ටාෂියා ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද කියලත් කියමු?
ඒක අහම්බයක්. නාරාහේන්පිට චමත්කාර කියන ලොකේෂන් එකේ කරපු පොටෝ ෂූට් එකක් නිසා තමයි මට නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වෙද්දිත් මං උපාධිධාරිනියක්. නිරූපණය හැදෑරීමත් එක්කමයි මං ක්ෂේත්‍රයට එන්නේ. සැලෝන්, බ්‍රයිඩ්ල්, මැගසින්, පත්තරවලට පොටෝ ෂූට් කළා. ඊට පස්සේ තමයි ගඟන පියවර ටෙලි නිර්මාණයේ සිල්වියා කියන සෙකට්‍රිගේ චරිතයට ආරාධනා ලැබෙන්නේ. ඒත් එක්කම තවත් ටෙලි නිර්මාණවලට ආරාධනා ලැබුණා. මං රඟපාන්න එන්නේ විවාහයෙන් පස්සේ. මං ජොබ් එකක් කරනවට මංජුල මුලින් කැමැති වුණේ නැති වුණත් මට අසාධාරණයක් වේවි කියල හිතලා පස්සේ එයා මට යන්න අවස්ථාව දුන්නා. ඒත් මට මේ හැමදේම ලැබුණෙ එයා නිසානේ කියන සිතුවිල්ල නිතරම මගේ හිතේ තිබුණා. ඒ නිසාමයි මමම මට සීමා දාගත්තේ. මං කොටට අඳිනවා. ඕනෙම පැෂන් එකක් කරනවා. ඒත් අදටත් මට නරක කමෙන්ට් එකක් ලැබිල නෑ. ක්ෂේත්‍රයේ ඉන්න හැමෝම දන්නවා මං කවුද කියන එක.
ඔබේ සැමියා ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ කරාතේ පුහුණුකරුවෙක්. ක්‍රීඩාවයි කලාවයි කියන්නේ වෙනස්ම ක්ෂේත්‍ර දෙකක්. කොහොමද මේ දෙක බැලන්ස් කරගන්නේ?
මංජුල කියන්නේ හරිම කාර්යබහුල චරිතයක්. නමුත් මගේ හැම වැඩකටම වගේ ඔහු සහාය දෙනවා. ඒ වගේම මමත් ඔහුගේ ක්‍රීඩා කටයුතුවලට උපරිම සහාය දෙනවා. අපි දෙන්න අපි දෙන්නගේ ක්ෂේත්‍ර දෙක පටලවා ගෙන නැහැ. එකිනෙකාට උදවු කරගනිමින් හරිම සහයෝගයෙන් කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපිට කිසිම ගැටලුවක් ඇතිවෙන්නෙ නැහැ.