තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කරන ලද ‘ක්ලැරන්ස් ‘Rhythm of the Guitar’ සහ මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘සූරියා’ සිනමා නිර්මාණයෙන් පසුගිය වසරේ සිනමාවට පිවිසි නිහාරි පෙරේරා මේ දිනවල තවත් අලුත්ම සිනමා නිර්මාණයක රූගත කිරීම්වලට සම්බන්ධවී සිටී. ඒ සම්පත් විජේකෝන් අධ්‍යක්ෂණය කරන ලද පතිකුලය සිනමා නිර්මාණයේයි. තෙල්දෙණියේ පිහිටි වික්ටෝරියා ජලාශය අවට සහ මඩුගල්ල වලව්වේ රූගත කිරීම් ආවරණයකට ගිය අප නිහාරි සමග පුංචි කතාබහක නිරත විණි.
පතිකුලය සිනමා නිර්මාණයේ රූගත කිරීමේ අත්දැකීම් මොන වගේද?
ඇත්තටම සතුටුයි. මෙච්චර අව්වේ ඉඳගෙන ෂූටින් කරලා ප්‍රේක්ෂකයන්ට දෙන්න හදන නිර්මාණය ඉතාමත් ප්‍රබලයි කියලා මට හිතෙනවා. මේ පිටපතේ තිබෙන වටිනාකම අපිට රූගත කිරීම්වල දී හොඳින් දැනෙනවා. මම නිරූපණය කරනු ලබන්නේ සඳාගේ චරිතය.
සඳාගේ පිටපත කියවන කොට මොකද හිතුණේ?
ඇත්තටම ආස හිතුණා. මොකද මම කලින් කරපු චරිතවලට වඩා මේ චරිතය ගොඩාක්ම වෙනස්. මට ගොඩාක් වෙලාවට හම්බ වුණේ නගරයේ පොහොසත් පවුලක පොහොසත් ගැහැනු දරුවකුගේ චරිත. සඳා වගේ වෙනස්ම චරිතයක් හම්බවුණහම ආස හිතුණා. ගැමි චරිතයක් නිරූපණය කරන කොට අපි සමාජය සමග ගනුදෙනු කරන විදිහ පවා හරිම වෙනස්.
ප්‍රවීණයන්ගෙන් මොන වගේ සහයෝගයක් ද ලැබුණේ?
මට ඉතිං හැමෝම ප්‍රවීණයෝ තමයි. මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා. ගිය වසරේ තමයි මගේ චිත්‍රපට දෙකක් තිරගත වුණේ. මමත් යම්තාක් දුරට මගේ අඩුපාඩු හදාගෙන තියෙනවා. තවත් මට හදාගන්න ගොඩාක් දේවල් තියෙනවා. කවදාවත් මේ ක්ෂේත්‍රයේ ඉගෙන ගන්න දේවල් වැඩිවෙන්නේ නැහැ. මීට කලිනුත් මම දිල්හානි අක්කා, සනත් ගුණතිලක සර් එක්ක වැඩ කරලා තියෙනවා. මගේ අම්මා තාත්තාට ඔවුන්ට රඟපාලා තියෙනවා. ඔවුන් සමග වැඩ කරද්දී හරියට පවුලක් වගෙයි. පතිකුලය සිනමා නිර්මාණයේ මට ගොඩාක් රඟපාන්න තියෙන්නේ උද්දික අයියාත් එක්ක. ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.
සඳා වගේ චරිත ජීවිතයට මුණගැසිලා තියෙනවාද?
සඳා වගේ චරිත නම් හම්බවෙලා නැහැ. තව ඉදිරියටත් මට නම් හම්බවෙන්නේ නැහැ කියලා හිතනවා. මට නම් බැහැ සඳා වගේ වෙන්න. සැබෑ ලෝකයේ සඳා වගේ චරිත ඉන්නවා ඇති. ගැහැනියෙකුට වෙන්න ඕනෑ නැති දෙයක් තමයි සඳාට වුණේ. ඉතිං දුකයි. මම හිතන්නේ කිසිම ගැහැනියෙකුට සඳාට වෙච්ච දේ වෙන්න හොඳ නැහැ.
චිත්‍රපට කීයක විතර රඟපාලා තියෙනවාද?
දැනට මගේ චිත්‍රපට දෙකක් තිරගත වෙලා තියෙනවා. මේ අවුරුද්දේ මගේ තවත් චිත්‍රපට තුනක් විතර තිරගත වෙන්න තියෙනවා. මම රූගත කිරීම්වලට සම්බන්ධ වුණු හත් වැනි චිත්‍රපටය තමයි පතිකුලය චිත්‍රපටය. ඔය අතරේ රාවණා චිත්‍රපටයෙන් රූගත කිරීම් ආරම්භ කළා.
එතකොට ක්‍රීඩාව අතහැරියා ද?
අපොයි නැහැ. ක්‍රීඩාව අතහැරියේ නැහැ. ඒ ගැන මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. රූගත කිරීම් අතරතුරේ දී තරගාවලි කිහිපයකුත් පටන් ගත්තා. පතිකුලය සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂ ඇතුළු නිෂ්පාදන කණ්ඩායම ඒ වැඩ සමබරව කරගෙන යන්න ලොකු සහයෝගයක් ලබාදුන්නා.
තවම ජාතික කණ්ඩායම නියෝජනය කරනවාද?
ඔව්. මම තවම ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. ඉදිරියේදී ඉන්දියානු සංචාරයක් සඳහා සහභාගිවීමට නියමිතයි. ඒකේ අවසන් පූර්ව වටයේ තරග තමයි අවසන් කළේ. එහි අපි ශූරතාවය දිනුවා. මම ක්‍රීඩා කරන්නේ ට්‍රැක් මාස්ටර් කණ්ඩායමට.
පතිකුලය සිනමා නිර්මාණයට ආරාධනා ලැබුණේ කොහොමද?
මට ඒ සඳහා ආරාධනාව ලැබුණේ අධ්‍යක්ෂ සමන්ත සර්ගෙන්. මම ඒ ගැන ඇත්තටම සතුටු වෙනවා මාව තෝරාගත්ත එකට. මේ වගේ චරිත අපේ ජීවිතවලට හැමදාම හම්බවෙන්නේ නැහැ. ඒ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕනෑ.
ගෙදරින් මොනවගේ සහයෝගයක් ද මේ වැඩවලට ලැබෙන්නේ?
ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ ගොල්ලෝ මට කවදාවත් කෝල් කර කර වධ දෙන්නේ නැහැ. අනික ගෙදරින් දන්නවා මම රූගත කිරීම්වලදී දුරකථන භාවිතා කරන්නේ නැහැ කියලා. ෂූටින් ගිය දවස්වලට රෑට තමයි කතාබහ කරලා විස්තර අහන්නේ.
රඟපෑමට එන තරුණියන්ට ආරක්ෂාවක් නැහැ කියලත් සමහරු කියනවා නේ. ඔයාට මේ වෙලාවේ ඒකට හොඳ උත්තරයක් දෙන්න පුළුවන් නේද?
මම කියන්නේ එහෙම නැහැ කියලයි. තමන් දන්නවා නම් තමන් ඉන්න විදිහ පිළිබඳව මේ ෆීල්ඩ් එක නරක ෆීල්ඩ් එකක් නෙමෙයි. තමන් දැනගන්න ඕනෑ තමන් හරියට ඉන්න. කවුරුත් නරක නැහැ. තමන්ම තමයි අනෙක් අයව ඒ දේවල්වලට පොලඹවා ගන්න විදිහට වැඩ කරන්නෙ. තමන් තමන්ගෙ පාඩුවේ හරියට වැඩ කරනවා නම් ඔය මොන ප්‍රශ්නයක්වත් නැහැ.
ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැතිද?
ටෙලිනාට්‍යවලට නම් ආරාධනා ලැබෙනවා. නමුත් මගේ පුහුණුවීම් කටයුතු හින්දා වැඩවලට බොරු පොරොන්දු දෙන්න කැමති නැහැ. අනික වැඩ කළමනාකරණය කරගන්න එපායැ. ඒක හින්දා දැනට ලැබුණු ආරාධනා මම භාරගත්තේ නැහැ. හැබැයි හොඳ වැඩකට ආරාධනා ලැබුණොත් භාර නොගෙන ඉන්නවා කියලා කියන්නත් බැහැ.