දිල්හානි ටෙලි ගැන කියන අපූරු කතාව

gossiplanka image 1
 අසූව දශකයේ අගභාගයේ දේදුන්නෙන් ආ සමනලියක් සේ පියඹාවිත් සිනමාවට අත්පොත් තැබූ ඇය මේ වනවිට ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක්. වාණිජ මෙන්ම සම්භාව්‍ය සිනමාපට සියයකට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වී සිටින ඇය නමින් දිල්හානි අශෝකමාලා ඒකනායක. පසුගිය දවස්වල තිරගත වුණ ධර්ම යුද්ධය 2 චිත්‍රපටය ද අතිසාර්ථක ලෙස තිරගත වූ අතර සමන්ත විජේකෝන්ගේ ‘පතිකුලය’ සිනමා නිර්මාණයේ රූගත කිරීම්වලට දිල්හානි මේ දිනවල සම්බන්ධ වී සිටිනවා. පතිකුලය දර්ශන තලයට ගිය අපට, දිල්හානි සමග කතාබහක යෙදෙන්නට අවස්ථාව ලැබුණා.


පතිකුලය සිනමා නිර්මාණයට ආරාධනය ලැබෙන්නෙ කොහොමද?


සමන්ත කියන්නේ සිනමාවට නවකයෙක්. ඔහුගේ පළමු චිත්‍රපටයටත් මම රංගනයෙන් දායක වෙනවා. එතැනදි තමයි මම සමන්තව හඳුනා ගත්නේ. ඔහු පළමු චිත්‍රපටය නිර්මාණය කරන්නෙ අවම පහසුකම් යටතේ. ඊට පස්සේ ටිකක් දියුණුවෙලා, ඔහුම පිටපත ලියාගෙන ලොකු කාර්මික ශිල්පීන්, නළු නිළි කැළක් එකතු කරගෙන දෙවැනි චිත්‍රපටය ලෙස ‘පතිකුලය’ නිර්මාණය කරනවා. එයා මේක නිර්මාණය කරන බව මම කොහොමටත් දැනගෙන හිටියා. පතිකුලය කියලා කියන්නේ ධනපති පන්තියයි නිර්ධන පන්තියයි අතර තියෙන සටනක්. ඒ පන්ති දෙක අතර තිබෙන සටනින් අනිත්මේ දිනන්නේ කවුද කියන එකයි තියෙන්නේ. මම මෙහි නිරූපණය කරනු ලබන්නේ වලව්වේ කුමාරිහාමි මැණිකේ එහෙමත් නැතිනම් චන්ද්‍රලතා කියන චරිතය. මගේ පුතාගේ චරිතය නිරූපණය කරන්නේ උද්දික.


චන්ද්‍රලතාගේ චරිතය මොන වගේද?


චන්ද්‍රලතා කියන්නේ හරි මාන්නක්කාර, ඔළුව උදුම්මවා ගත්තු, කුල සිරිත්වලට මුල් තැන ලබාදෙන කාන්තාවක්.


චන්ද්‍රලතා වගේ චරිත මීට කලින් රංගන ජීවිතයට මුණගැසිලා තියෙනවාද?


මීට කලිනුත් මුණගැසිලා තියෙනවා. හැබැයි මේ තරම්ම නැහැ. ඒ මැණිකේ මේ තරම් සැර නැහැ. නම්‍යශීලියි. දුප්පත් අයට කිට්ටුයි. හැබැයි චන්ද්‍රලතා ඊට වඩා සැරයි. ඇත්තටම අපේ ලංකාවේ වලව් ඉතිහාසය ගත්තාමත් එහෙමනේ. ඒගොල්ලෝ ඒක රැකගෙන යන්නනේ බලන්නේ.


සැබෑ ජීවිතයට චන්ද්‍රලතාලා හමුවෙලා නැතිද?


චන්ද්‍රලතා වගේ අය ඕනෑ තරම් ඉන්නවා. දිල්හානි වගේ අය නම් අඩුයි.


මේ වෙනකොට රඟපෑ චරිත ප්‍රමාණය මතකයක් කළොත්?


චිත්‍රපට නම් 130 පැනලා ඇති. ළඟකදි මට ලියාගන්නත් බැරි වුණා.


පළමු චිත්‍රපටය මතක් වෙනකොට දැනෙන හැඟීම මොන වගේද?


අතීත කාලයට යන්න හොඳ නැහැ කියලා හිතනවා. අපේ සිනමාවේ ගොඩාක් අය, මට හිතෙනවා අතීත කාලයේ ජීවත් වෙනවා කියලා. අපි වුණත් එතැනට ගියොත් දුක හිතෙයි. මම කියන්නේ ඒක පුරුදු කරගන්න එපා කියලයි. ඒ නිසා මම කිසි දවසක මගේ අතීත පින්තූර බල බලා, අතීත චිත්‍රපට බල බලා දුක්වෙන්නේ නැහැ. මම බලන්නෙත් නැහැ. මට වැඩකුත් නැහැ. මම හිතන්නේ දැන් ඉන්නේ එයා නෙමෙයි කියලයි.


ඔබ රංගනයෙන් දායක වුණු ධර්ම යුද්ධය 2 චිත්‍රපටය ආදායම් වාර්තා පොත අලුත් කළා?


ඇත්තටම ඒකට රංගනයෙන් දායක වුණු කෙනෙක් හැටියට මට හරි සතුටුයි. ආඩම්බරයි. නිෂ්පාදකවරයාටත් හොඳයි. පොදුවේ හොඳ වෙන්නේ සිනමා කර්මාන්තයටනේ. කඩාවැටුණොත්නේ දුක.


පසුගිය වසරේ ඉඳලා සිනමාවේ ලොකු පිබිදීමක් තියෙනවා?


නැතිව නැතිව. මුළු රටේම ලොකු පිබිදීමක් තියෙනවානේ.


අලුත් පරපුර ගැන අදහස මොන වගේද?


හරි ෂෝක්. ඔවුන් ඇවිත් මල්ටි ටැලන්ටඩ්ලා. අපේ කාලෙදි ඇත්තම කිව්වොත් මම ටැලන්ටඩ් වෙලා තිබ්බේ නටන්නනේ. මට එතකොට රඟපාන්නත් බැහැනේ. දැන් ඉන්න ළමයින්ට නටන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. රඟපාන්න පුළුවන්. මොඩ්ලින් කරන්නත් පුළුවන්. හැමදෙයක්ම කරන්න පුළුවන් සෙට් එකක්නෙ ඇවිත් ඉන්නේ.


ඔබේ කාලේ පරපුරට ඒ දේවල් ලැබුණේ නැතිද?


අපේ කාලෙදි ලස්සන සින්දු, ලස්සන සිනමා රූප තිබුණා. සින්දු කියන අය කියලා ලොකු දේවල් තිබුණේ නැහැ. හැබැයි අද කාලෙ බැලුවහම එහෙම නැහැ. මම එදා සිනමාවට හරි ආසයි. ඒවා මතක් වෙද්දි හරි ලස්සනයි. ඒවා කවදාවත් අමතක වෙන්නේ නැහැ. නමුත් අද ඉන්න ළමයි ගැන කතාබහ කරද්දිත් අවතක්සේරු කරන්න බැහැ.


ටෙලි නාට්‍යවලට ලැබෙන ආරාධනා?


අපොයි ලැබෙනවා. ඊයෙත් එකක් ආවා. ඒ වුණාට ගියේ නැහැ.


ටෙලි නාට්‍ය ගැන කලකිරීමෙන්ද?


පටන් ගත්ත එක නෙමෙයි මැද තියෙන්නේ. මැද තියෙන එක නෙමෙයි අග තියෙන්නේ. එතකොට අර යකාගේ විමානේදී මට යකා වැහෙනවා.


ඔය දැන් නාලිකාවලින් කරන වැරැද්දක්නේ කොටස් 10ක් බලලා ටෙලි නාට්‍යයක් ගන්න එක. ඔන්න ඔතන තමයි වැරදිලා තියෙන්නේ. ඔය කොටස් 10ට තියෙන සල්ලි සේරම දාලා කරනවා. ඊට පස්සේ මැද ලොකු පරාසයක් කරන්නේ බොරු. කන්නත් නෑ, ඉන්නත් නෑ, වතුරත් නෑ. අග ටිකට චැනල් එකෙන් බණින කොට ඔන්න ආපහු ෂූට් කරනවා. ආයේ චරිත නැති වෙනවා. ආයෙ ලොකේෂන් මාරු වෙනවා. ඒ කියන්නේ චරිතවලට උන්හිටිතැන් නැති වෙනවා. මට ඊයේ පෙරේදා එහෙම වුණා. දැන් මට එක දිගටම චිත්‍රපට තියෙන හින්දා ටෙලි නාට්‍යවලට යොදන කාලය මහන්සිය අපරාදේ කියලා මම හිතුවා. මොකද ගොඩක් වෙලාවට බොරුවක්නේ කරන්නේ. හොඳ අධ්‍යක්ෂවරයෙක් හම්බවුණොත් එය එහෙම නොකර ඉඳීවි. අනෙක් අයට එහෙම කරන්න බැහැ.


අධ්‍යක්ෂ කාර්යයට අත තියන්න අදහසක් නැතිද?


නැහැ. දෙකටම නැහැ. නිෂ්පාදනයටත් නැහැ.


ඔබේ අත්දැකීම්වලින් වැඩක් ගන්නෙ නැද්ද?


මගේ අත් දෙකයි තියෙන්නේ. මට තියෙන්නේ රඟපාන්න විතරයි. අනෙක් ටික ඒ අය කරයි නේද? මොකද මම ඒ වැඩේ කරන්න යන්න ඕනෑ නැහැනේ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post