ශ්‍රී ලාංකීය සිනමාව ජාත්‍යන්තරය අබිබවා යන තරමටම දියුණු වෙලා. විවිධ මාතෘකා ඔස්සේ සිනමා නිර්මාණ මේ වෙනකොට ලංකාවේ නිර්මාණය වෙමින් තිබෙනවා. අද අපි කතාබහ කරන්න සූදානම් වෙන්නෙත් ඒ විදිහට නිර්මාණය වුණු, ජාත්‍යන්තරයේ අවධානයට නතු වෙමින් ඇගයීම් පවා ලබාගත්තු සිනමා නිර්මාණයක් පිළිබඳවය. චිත්‍රපටයේ නම රිවස්ටන්. 36 වැනි සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළේලේදී ආසියානු වෘත්තාන්ත චිත්‍රපට අංශයෙන් ඉදිරිපත් වූ රිවස්ටන් චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ ලලිත් රත්නායක හොඳම අධ්‍යක්‍ෂවරයාට හිමි සම්මානය දිනාගත්තා. ඒ වගේම එම චිත්‍රපටයට රංගන දායකත්වය ලබාදුන්න මහේන්ද්‍ර පෙරේරා හොඳම රංගනය උදෙසා වූ ස්වර්ණ තිර සම්මානය හිමිකර ගන්නා ලදී. මෙහිදී හොඳම රංගනය වෙනුවෙන් නිර්දේශ වීමට අපේ රටේ රංගන ශිල්පියකු වුණු රන්දික ගුණතිලකට හැකියාව ලැබුණා. රිවස්ටන් එළැඹෙන 23 වැනිදා සිට රටපුරා සිනමාහල්වල තිරගත කිරීමට නියමිතය. මෙය ප්‍රභාත් රොෂාන්ගේ නිෂ්පාදනයක්. රිවස්ටන් ගැන කතාබහ කිරීමට අපි ආදරයට කියන ලොකු අයියා, එහෙමත් නැතිනම් මහේන්ද්‍ර පෙරේරා නමැති අපූර්ව රංගධරයා පසුගිය දවසක මුණගැසුණා.
36 වැනි සිංගප්පූරු ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී හොඳම රංගනය දුටු චිත්‍රපටය දැන් ලංකාවේ ප්‍රේක්‍ෂකාගාරයට භාරකරන්නයි හදන්නේ.
ඔව්නේ, 23 වැනිදා ඉඳලා රිවස්ටන් තිරගත කිරීම ආරම්භ වෙනවා. චිත්‍රපටය නරඹලා ගුණදොස් කියන්න තමයි තියෙන්නේ. ඒක එක්තරා විදිහක අමුතුම වැඩක්. ඒ චිත්‍රපටය වෙනමම කියවිය යුතු චිත්‍රපටයක්. හොඳම රංගනයට මට සම්මාන හම්බවුණා. ඒ වගේම තමයි ප්‍රියන්ත සිරිකුමාර, රන්දික ගුණතිලක, ශ්‍යාම් ප්‍රනාන්දු ඉතාම හොඳ රංගනයක නිරත වෙනවා. මාත් එක්කම රන්දික ගුණතිලකත් නිර්දේශ වෙනවා හොඳම නළුවාට. ඒක සන්තෝෂයට කාරණයක්. අපි අතරේ පරම්පරා ගණනාවක වෙනසක් තිබෙනවා. රන්දික ගුණතිලක මට වඩා පරම්පරා හතරක් පහක් එහායෙන් ඉන්නේ. ඉතිං ඒ පරම්පරා දෙක අතරේ සම්මානය ගත්තු එකයි මෙහෙම නිර්දේශ වීම ගැනයි විශාල නිහතමානී ආඩම්බරකමක් තියෙනවා.
රිවස්ටන් චිත්‍රපටයට ආරාධනාව ලැබුණේ කොහොමද?
මම මගේ වැඩමුළු පවත්වාගෙන ඉන්නකොට මෙහි අධ්‍යක්‍ෂ ලලිත් රත්නායක සමග නිෂ්පාදක වගේම කැමරා අධ්‍යක්‍ෂ ප්‍රභාත් රොෂාන් දෙන්නම ආවා මාව හම්බවෙන්න. ඒ ඇවිත් මෙහි කතා තේමාව ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළා. ඊට පසුව පොලිස් නිලධාරියාගේ චරිතය රඟපාන්න මට ආරාධනා කළා. ඇත්තටම කතාව කිව්වාට පස්සේ මට හිතුණා මේ චිත්‍රපටය කළොත් පෙන්වගන්න පුළුවන් වෙයි ද දන්නෙත් නැහැ කියලා. ඒ තරමටම මෙහි කතාව වගේම අන්තර්ගතය ආන්දෝලනාත්මකයි. අවසානයේ ඒ සියල්ලටම වගේ අවසරය ලැබිල තිබුණා.
සාමාන්‍යයෙන් මහේන්ද්‍ර පෙරේරා අතට සාජන්ට් මහත්වරුන්ගේ පිටපත් හරියට හම්බ වෙනවානේ. හැබැයි මේ සාජන්ට් මහත්තයා හරි සංකිීර්ණයි නේද?
ඇත්තම කිව්වොත් සාජන්ට් මහත්තයකුටත් වඩා පොඩි අලුගෝසු චරිතයක් තියෙන්නේ?
පිටපත කියවාගෙන යනකොට මොකද හිතුණේ?
පිටපත නෙමෙයි, මට කතාව ලලිත් රත්නායක කිව්වට පස්සේ වෙන දැකීමක් තුළ මේක කරන්න ඕනෑ කියන හැඟීමත් ආවා. මම පොලිස් නිලධාරියෙක් වුණාට ඒකේ පොලිස් නිල ඇඳුම අඳින්නේ නැහැ. මම සාමාන්‍ය නිලධාරියෙක් හැටියට තමයි ඉන්නේ. මෙහෙම කියන්න ගත්තොත් දැන් මට මුළු කතාවම කියවෙන්න ගන්නවා. ඒක හින්දා මේ කතාව මෙතැනින් ඉවර කරමු.
මෙහි කැමරා ශිල්පියා නැතිනම් කැමරා අධ්‍යක්‍ෂවරයා ගැනත් කතා කළොත්?
ඇත්තටම ඔහු ගැනත් කතා නොකරම බැහැ. මම හිතන්නේ ඔහුටත් හොඳම කැමරාකරණය සඳහා වූ සම්මානය 27 වැනි ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේදී ඒෂියන් නිව් ටැලන්ට් තරග අංශයෙන් හිමිවුණා. 2025 වසරේ තමයි ඒ උළෙල පැවැත්වුණේ. ඔහුත් සෑහෙන වෙහෙසක් මහන්සියක් දරලා තමයි රූපගත කිරීම් සිදු කළේ. අනිත් එක මේ කතාවට අනුව දර්ශන තලය තියෙන්නේ ජීප් එකක් ඇතුළේ. ඒක ඊට වඩා අභියෝගාත්මක වැඩක්.
රිවස්ටන්වල රූපගත කරනකොට ලැබුණු අත්දැකීම් මොන වගේද?
අප්පා ඒක නම් කියලා වැඩක් නැහැ. සමහර දවස්වලට ෂූටින් කරගන්න බැරිව නැවැත්තුවා. ඒ තරමට සීතල. හුළං පාර හිටගෙන් ඉන්නවත් බැහැ විසිවෙනවා. මම හිතන්නෙ එක දවසක් හෝ දෙකක් ෂූටින් කැන්සල් පවා කළා. ඒක නම් විශාල ඇත්දැකීමක්. කූඩැල්ලන්ගෙන් බේරෙන්නත් ලොකු යුද්ධයක් කළා.
චිත්‍රපටය කරල ඉවර වුණාට පස්සේ මේ වගේ ජාත්‍යන්තර අවධානයක් යොමුවෙයි කියලා හිතුවද?
නැහැ නැහැ. එහෙම හිතුවේ නැහැ. මම කවදාවත් චිත්‍රපටයක රඟපානකොට සම්මානයක් අරමුණු කරගෙන නෙමෙයි යන්නේ. නමුත් වැඩේ සම්මානනීයයි කියන හැඟීම තිබුණා. ප්‍රසන්න විතානගේ ගේ පැරඩයිස් කරනකොටත් ඒ හැඟීම තිබුණා. සම්මානයකට නිර්දේශ වෙයි කියලා හිතුවේ නැහැ. මම ඒ චිත්‍රපටයෙන් ෂෝ මුම්බායි සම්මාන උළෙලේදී හොඳම නළුවාට නිර්දේශ වුණා. මම ඉතිං හොඳම නළුවා ගන්න ඕනෑ කියලා හිතාගෙන රඟපාපු ඒවා නෙමෙයි. අපි හතර දෙනාම එහෙම තමයි.
හැබැයි මේ සම්මානය සුවිශේෂියි නේද?
ජෝ අබේවික්‍රම මහත්තයාට පසුව ලංකාවෙන් මේ සම්මානය හිමිවන්නේ ඔබට?
මුලින්ම නීටා අක්කා අරගෙන තිබුණා. ඊට පස්සේ අනෝමා ජිනාදරී අරගෙන තිබුණා. ඊට පස්සේ ජෝ මහත්තයා අරගෙන තිබුණා අවුරුදු විසි හතරකට ඉස්සරවෙලා පුරහඳ කළුවර චිත්‍රපටයට. මේකේ සුවිශේෂීම කාරණය තමයි, නීටා අක්කා ගන්නකොටත් මම රඟපානවා. අනෝමා ජිනාදරී සම්මානය ගන්නකොටත් මම ඒ චිත්‍රපටයේ රඟපානවා. පුරහඳ කළුවරෙත් මම රඟපානවා. ඊට පස්සේ අවුරුදු 24 කට පස්සේ මම ගත්තා.
මේ සම්මාන උළෙලේ අපූරුම සිද්ධිය තමයි වර්තමාන පරම්පරාවේ සිටින රන්දික ගුණතිලකත් ඔබත් සමග හොඳම නළුවාට නිර්දේශ වෙනවා නේද?
ඒක හරි සන්තෝෂයට කාරණාවක්. මම හැත්තෑ ගණන්වලනේ. 80,90,2000,2010,2020 කියන්නේ අවුරුදු ගණනාවක්. පරම්රා ගණනාවකට පස්සෙ එන අලුත්ම පරම්පරාවේ පැළවෙන්නේ රන්දික. ඉතිං හරි සන්තෝෂයි, නිර්දේශ වීම සම්බන්ධයෙන්. රන්දිකත් ශ්‍යාම් ප්‍රනාන්දුත් ප්‍රියන්ත සිරිකුමාරත් අපිට නෙමෙයි රඟපෑවේ. අපි හතර දෙනාම මේ නිර්මාණයේ ප්‍රධාන චරිත හැටියට තමයි දිවෙන්නේ. නමුත් නාභිගත වෙන්නේ රන්දිකව. අවසානයේ බැලුවාම චරිත හතර, හතර විදිහකට හතරදෙනාම ගෙනියනවා.
රන්දිකලාගේ පරම්පරාව එක්කත් මහේන්ද්‍රට තවම ඔට්ටු වෙන්න පුළුවන්. එහෙමද?
ඔව් ඕව්. පොඩ්ඩක් එහෙම එකක් පෙන්නුම් කරනවා.
ඔය අතරේ ජාත්‍යන්තර සිනමා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා කියලත් ආරංචියි?
පැරඩයිස් චිත්‍රපටය නිෂ්පාදනය කළ නිව්ටන් සිනමා සමාගම, මලයාලම් චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. ඒකේ මට සාමාන්‍යයෙන් සුළු චරිතයක් රඟපාන්න අවස්ථාව හිමි වුණා. දර්ශන පහක් හයක් වගේ තමයි තිබුණේ. ඒකේ රඟපාල ආවා. ඊට පස්සේ තවත් දමිළ අධ්‍යක්‍ෂවරයකුගේ චරිතයකට ආරාධනාවක් ලැබුණා. ඒ සඳහා මේ දිනවල සූදානමින් ඉන්නේ. දමිළ දෙබස් එහෙම පාඩම් කරනවා. දමිළ භාෂාව අල්ලගන්න උත්සාහ කරමින් ඉන්නේ.
ඔය අතරේ මනිරත්නම්ගෙනුත් ආරාධනාවක් ලැබුණා කියලා ආරංචියි?
ඕව්. එහෙම ආරාධනාවක් ලැබුණා. ඒ වැඩේ ආරම්භ කරන්න තව ටික කාලයක් ගතවෙයි කියල හිතනවා. තවම චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළේ නැහැ.
ජාත්‍යන්තරයට දොරටු විවර වීම ගැන මොනවගේ අදහසක් ද තියෙන්නේ?
ඇත්තටම ඒක සිද්ධ වුණේ ප්‍රසන්න විතානගේ ගේ පැරඩයිස් චිත්‍රපටය හරහායි. ඒකෙන් තමයි ජාත්‍යන්තරයේ සිටින දමිළ අධ්‍යක්‍ෂවරුන්ට, දමිළ නිෂ්පාදකවරුන්ට මාව එක්ස්පෝස් වුණේ. තව මුම්බායි සිනමා උළෙලේ දහස් ගණනාවකින් මාව හොඳම සහාය නළුවාට නිර්දේශ වුණා. පැරඩයිස් චිත්‍රපටයේ සම්මානයක් ලැබුණේ නැහැ. නමුත් ඒ වුණාට මට නම් සම්මානය ලැබුණා හා සමානයි. ඉතිං ඒකටත් මම සහභාගි වුණා. ඉතිං ඒ තැන්වලදී පොඩි සම්බන්ධකම් ටිකක් ඇතිවුණා. ඊට පස්සේ මලයාලම් චිත්‍රපටය කරද්දිත් සම්බන්ධතා ටිකක් ඇතිවුණා. ඒ හරහා තමයි මේ දොර විවෘත වුණේ. මම මේක යන්නේ දෙවැනි ජර්නි එකක් හැටියට.
අලුත් පරපුර සමගත් ඔබ තවමත් වැඩ කිරීම ගැන තියෙන්නේ මොනවගේ අදහසක්ද?
ඒක ගැන ඇත්තටම සන්තෝෂයි. මොකද මේ පරම්පරාවත් එක්ක වැඩකරගෙන යන්න පුළුවන් විදිහට මාත් තවමත් වැඩ කරගෙන ඉන්නවානේ කියලා හිතෙනවා. මම තවමත් මේක අතහැරලා නැහැ. කැපවීමෙන් මේක කරගෙන යනවා. ඇත්තටම සිහින නෙමෙයි. මම ඇත්තටම සිහින දකින කෙනෙක් නෙමෙයි. මගේ අරමුණක් තියෙනවා, ඒ අරමුණ හරියටම පැහැදිලියි. මම එතැනට කොහොමද යන්නෙ කියලා බොහොම අවදියෙන් කල්පනාවෙන් ඒ වෙත යනවා.
මහේන්ද්‍ර පෙරේරාගෙ හීන නැහැ, අරමුණු විතරයි තියෙන්නේ. එහෙමද?
නැහැ නැහැ. මට හීන නැහැ, අරමුණු විතරයි තියෙන්නේ. හීන දකින්න නම් මම හිතන්නේ අපි නිදාගෙන ඉන්න ඕනෑ. නිදාගත්ත නම් ඔන්න අපි හීන දකින්න පුළුවන්. හීන නම් දකින්නේ නැහැ. අරමුණු පැහැදිලියි. මෙතැනට යනවා කියන තැන ඉන්නේ. ඒක හින්දා හොඳ අවදියෙන් ප්‍රකෘති සිහියෙන් කල්පනාවෙන් අභ්‍යාසගත වෙමින් තවමත් ඒ ගමන යනවා. ඉතින් තවත් යන්න තියෙනවා කියලා මට හිතෙනවා.
පැරඩයිස් චිත්‍රපටයෙන් විවෘත වුණු මේ දෙවැනි ජර්නි එකේ තවත් ගොඩාක් තැන්වලට යන්න තියෙනවා. යන්න පුළුවන්කමකුත් ලැබිලා තියෙනවා. ඉතිං කෙසේ හෝ ඒවා ජය අරගන්න ඕනෑ කියන අදහසේ තමයි මම ඉන්නේ. ඒකට කිසිම ලොකු ආඩම්බරකමක් නැහැ. මම මගේ විෂය ඇතුළේ ලැබෙන අවස්ථාව අරගෙන රසවිඳගෙන යන්න තමයි උත්සාහ කරන්නේ.
හැමෝම කියන කතාවක් තමයි ලොකු අයියට පිටපතක් හම්බ වුණහම කොහොම හරි ලොකු අයියා එයාගේ මැච්එක ගහනවා කියලා?
නැහැ. ඒක එහෙම වෙන්නේ නැහැ. මම හැම තිස්සේම අධ්‍යක්‍ෂවරයාට යටත් වෙනවා. අධ්‍යක්‍ෂවරයාට තමයි ඇක්ෂන් කට් එක අයිති. ෂොට් එක ඕකේ කරන්නේ අධ්‍යක්‍ෂවරයා.
හැබැයි චරිතයට ඔබ උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ කරනවා නේද?
මම කියන්නේ, අපේ හරි මෝඩ කතාවක් තියෙනවානේ, මාර විදිහට ස්කෝ කරනවා කියලා කියන කතාව. ස්කෝ කිරීමේ රඟපෑමක් නැහැ. ඔහේ කරනවා කියනවා නම් ඒක වැරදි අදහසකින් රංගනයේ යෙදීමක්. ස්කෝ කිරීමක් නෑ. තමාගේ චරිතය තුළ තමාට යන්න පුළුවන් උපරිම සීමාව තුළ අධ්‍යක්‍ෂවරයාගේ මෙහෙයවීම යටතේ යන්න ඕනෑ. ඒකේ තියෙන ගැඹුර හොයාගන්න ඕනෑ. ඩීටේල්ස් හොයාගෙන ඇක්ට් කරන්න බැහැ. එහෙම කරනකොට අධ්‍යක්‍ෂවරයා අනෙක් අයව ඩිරෙක්ට් කරනවා වගේම සියල්ලම සමබර වෙලා එනවා. දැන් ඕකට හොඳම චිත්‍රපටය තමයි රිවස්ටන් චිත්‍රපටය. කවුරුත් එක්කෙනාට එක්කෙනා අභිබවා යන්න උත්සාහ කරල නැහැ. අපි හතරදෙනාම සමබරව රඟපානවා. ස්කෝ කිරීමේ රඟපෑමක නිරත වෙලා නැහැ. මම කියන්නේ ඒක අධ්‍යක්‍ෂවරයාගේ ඔළුවෙන් පාලනය කරගෙන අපිව අධ්‍යක්‍ෂණය කරපු හැටි තමයි.
රිවස්ටන්වල ගෙවපු කාලය ජීවිතයට දැනුණේ කොහොමද?
රිවස්ටන් කියන්නේ පුදුමාකාර ලස්සන තැනක්. ඔය කිට්ටුවම තමයි පැරඩයිස් චිත්‍රපටයෙත් රූගත කිරීම් සිදුකළේ. ඇත්තටම හරිම ලස්සන සුන්දරම සුන්දර තැනක්. ඒ ගැන කියන්න වචන නැහැ. රඟපාන්න ගියහාමත් හරි සැහැල්ලුවෙන් ඒ පරිසරයත් එක්ක රසවිඳින්න පුළුවන්. කොහොම කළත් රඟපාන්න ගියහම ඒක උපරිමයෙන් රසවිඳින එක තමයි මම කරන්නේ. ඒක රඟපාල ඉවර වුණාට පස්සේ ඒක උපරිම රසවින්ද නිසයි මාව ජීවත් කරවන්නේ. දැඩි වුවමනාවකින් තමයි හැම දර්ශනයක්ම රූගත කිරීම් සිදු කළේ. අපි හතරදෙනාම රසවින්දා. ප්‍රභාත්, රොෂාන් පවා උපරිම රසවින්දා. ඒක රෑ පාන්දර කියලා ලොකුවට දැනුණේ නැහැ.