පළමු චිත්‍රපටය වෙඩි නොවදින ළමයි… – ප්‍රබෝදිනී චන්ද්‍රසේන

gossiplanka image 1
 


මෙවර මීවිත මැද පිටුවෙන් අපි ඔයාලට අරගෙන ආවේ ආයුධ පෙන්වන්න තමන් උපන් ගම වන රිවස්ටන් වෙත යන නන්දිතගේ කතාව. ඒ කතාව ඇතුළේ අවසානයට නන්දිත හා ඔහුගේ නෑනා අතර තිබෙන සම්බන්ධයක් ගැනත් පවසනවා. ඔයාලා දන්නවාද ඇය කවුද කියලා. එහෙනම් මෙතැන ඉඳන් දිගහැරෙන්නේ නන්දිතගේ නෑනාගේ කතාවයි.


නන්දිතගේ නෑතාගේ සැබෑ නම?


ප්‍රබෝදිනී චන්ද්‍රසේන


ප්‍රබෝදිනීට නන්දිතගේ නෑනාව මුණගැසෙන්නේ කොහොමද?


නන්දිතගේ නෑනාව ඇත්තටම හමුවෙන්නේ රිවස්ටන් අධ්‍යක්‍ෂ ලලිත් රත්නායක හරහායි. මම රංගනයෙන් දායක වුණු 2023 වසරේ තිරගත වුණු “වෙඩි නොවදින ළමයි’ චිත්‍රපටය නරඹලා තමයි මාව මේ චරිතයට තෝරාගත්තේ.


දිගු නිහැඬියාවකට පසුව තමයි රිදී තිරයෙන් දකින්න ලැබෙන්නේ?


පළමු චිත්‍රපටය වන ‘වෙඩි නොවදින ළමයි’ චිත්‍රපටයෙන් පසුව තමයි රිවස්ටන් චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ. ඇත්තටම කිව්වොත් දිගු නිහැඬියාවක් තමයි. සමස්ත චිත්‍රපටයටත් මේ දවස්වල හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට රංගනයෙන් දායක වෙන්න ලැබුණේ ඉතාම පොඩි කොටසකට. හැබැයි චරිතය ඉතාම තීරණාත්මක නිසා ඒ සඳහා ප්‍රතිචාර තියෙනවා.


නන්දිත ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම නන්දිත සහ නන්දිතගේ නෑනා අතර තියෙන්නේ ග්‍රාමීයව ගොඩනැඟුණු ප්‍රේමයක්නේ. නන්දිත කියන පුද්ගලයව නන්දිතගේ නෑනා හඳුනාගෙන තියෙන්නේ වෙනස් විදිහට. ඇය දන්නේ නැහැ ඔහුගේ චරිතය තුළ මෙවැනි වෙනස්ම පැතිකඩක් තියෙනවා කියලා.


රිවස්ටන් නරඹද්දී නන්දිතට අත්වුණු ඉරණම ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ?


ඇත්තම කිව්වොත් ඒ ගැන තවම තියෙන්නේ ෂොක් එකක්. මොකද චිත්‍රපටය නරඹන ඕනෑම කෙනෙක් හිතන්නේ නැහැ, ඒ චිත්‍රපටය අවසානයේ නන්දිතට එවැනි ඉරණමක් අත්වේවි කියලා. ඒ වගේම මටත් ඒ ෂොක් එක ඒ විදිහටම දැනුණා. නන්දිතට මෙවැනි ඉරණමක් අත්වෙයි කියලා ඇය කොහොමටවත් දන්නේ නැහැනේ. ඒ නිසා පිටතින් බලාගෙන ඉන්නකොටත් ඇගේ චරිතය ගැන හරි අනුවේදනීය බවක් තමයි මට ඇතිවුණේ.


‘වෙඩි නොවදින ළමයි’ චිත්‍රපටයෙන් පසුව ප්‍රබෝදිනීට මොකද වුණේ?


‘වෙඩි නොවදින ළමයි’ චිත්‍රපටයෙන් පස්සේ රංගනයෙන් දායක වෙන්න දිගු කාලයක් ගත්තා වුණාට ඒ විෂය පිළිබඳ හැදෑරීම ඇත්තටම නතර වුණේ නැහැ. අනික මම උගන්වන්නෙත් තවම ඒ විෂයමනේ. ඒ හරහාත් මම වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමේ යම්කිසි කාර්යයක නිරත වෙලා හිටියා. ඒ වගේම මට කලබලයක් තිබුණේ නැහැ. අනික තරඟකාරී විදිහට රංගනයට එන්න ඕනෑ නෑ කියන අදහසකුත් තිබුණා.


ඒ දවස්වලදීම රංගනයට අලුත් ආරාධනා ලැබුණේ නැතිද?


‘වෙඩි නොවදින ළමයි’ චිත්‍රපටයෙන් පසුව සුවිශේෂී ආරාධනාවක් විදිහට තමයි රිවස්ටන් චිත්‍රපටයට ආරාධනාව ලැබුණේ.


ඔබ රඟපෑ පළමු චිත්‍රපටයට සම්මානයක් පවා ලැබෙනවා නේද?


ඔව්. ‘වෙඩි නොවදින ළමයි’ කියන්නේ මගේ පළමු චිත්‍රපටය. සිග්නීස් සම්මාන උළෙලේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය මට හිමිවුණා. ඒ ගැන මට නිහතමානී සතුටක් තියෙනවා, මොකද පළමු චිත්‍රපටයෙන්ම සම්මානයට පාත්‍රවීම සම්බන්ධව.


ඔබ වෘත්තියෙන් ගුරුවරියක්. ඒ අත්දැකීම ගැන කතා කළොත්?


මම වෘත්තියෙන් නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරියක්. ගුරු වෘත්තියේ අත්දැකීම් ගැන කතා කළොත් මේ විෂයට දරුවන් යොමුවීමේ අඩු බවක් තමයි තියෙන්නේ. මම හිතනවා මේ විෂය පථය පිළිබඳව සමාජය විසින් කියවාගෙන තියෙන විදිහ ටිකක් වැරදි ආකාරයක්. මේ විෂය ඉගෙනගැනීම තුළ අපි කොහොමද අපේ ජීවිතය හැඩගස්සවා ගන්නේ සහ අපේ ජීවිත අවබෝධයෙන් ගොඩනඟන්නේ කොහොමද කියන එකත් මේ විෂය තුළ තියෙනවනේ.


උගන්වන පාසල එහෙම කොහෙද?


තවමත් මම ඇඹිලිපිටිය ප්‍රදේශයේ රජයේ පාසලක ඉගැන්වීම් කටයුතු සිදුකරනවා.


දිගටම රඟපෑමේ කටයුතුවලට සම්බන්ධ වෙන්න අදහසක් නැතිද?


අදහසක් තියෙනවා. මම හරි ආසයි අධ්‍යාපනයෙන් ඉදිරියට යන ගමන් රංගනයේ නියැළෙන්න.


රිවස්ටන්වලට ලැබුණු ඔබේ දායකත්වය ගැන අධ්‍යක්‍ෂ ලලිත් රත්නායක මොනවද කිව්වේ?


මම ලබාදුන් දායකත්වය ගැන ඔහු සතුටු වෙනවා. ඒ වගේම මෙහි නිෂ්පාදක දෙපළ වන ප්‍රභාත් අයියත්, නිමන්ති අක්කත් ඒ ගැන අදටත් සතුටු වෙනවා.


චිත්‍රපටය නරඹද්දී තේරෙනවා, රංගන දායකත්වය පොඩි කොටසක් වුණාට නන්දිතගේ චරිතය හරහා ගලාගෙන යනවා කියලා. ඔහු මට මුලදීම සඳහන් කළා බය නැතිව මේ සඳහා එකතුවෙන්න කියලා. ඔහු පිළිබඳ තිබුණ විශ්වාසය හින්දම මම චිත්‍රපටයට සම්බන්ධ වෙන්න දෙපාරක් හිතුවේ නැහැ.


අධ්‍යාපන වැඩකටයුතු එහෙම කොහොමද?


පශ්චාත් උපාධි ඩිප්ලෝමාව මේ දිනවල සම්පූර්ණ කළා. ඒ වගේම ශ්‍රාස්ත්‍රපති උපාධියත් සම්පූර්ණ කළා. දර්ශනපති උපාධිය හැදෑරීමට අදහසක් තියෙනවා.


ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැතිද?


මෙහෙමයි, දැන් මම ඉන්නේ කොළඹ ප්‍රදේශයෙන් ටිකක් බැහැරවනේ. වෘත්තීය කටයුතවල නියැළෙන්නේ රැකියා වැඩකටයුතු සමග සමබරව. වැඩක් කරගෙන යන්න පුළුවන් වගේම ඉතාම හොඳ කතිකාවතක් ගොඩනැඟෙන හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් භාර ගැනීමේ අදහසකුත් තියෙනවා.


ප්‍රබෝදිනී මේ ආපු ගමන්මග ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම සතුටුයි කිසිම හදිස්සියක් නැතිව ආපු ගමන්මගක්නේ තියෙන්නේ. මම බලාපොරොත්තු වුණ විදිහටම මට ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම අධ්‍යාපනය කියන කොටස මම අතහරින්න අකමැති නිසා ඒ දෙකම සමබරව කරගෙන යන ගමනක් හින්දා ඒ පිළිබඳව නැවත දකිනකොට මට සතුටක් ඇතිවෙනවා.


ජීවිතයේ ඉදිරි අරමුණු මොනවාද?


එහෙම විශේෂ කියලා බලාපොරොත්තුවක් නැහැ. මම දැනට කරගෙන යන වැඩකටයුතු ඒ විදහටම ඉදිරියට සාර්ථකව කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉඩක් ලද අවස්ථාවක හොඳ වැඩක් ලැබුණොත් භාරගන්නවා.


එක දිගටම රඟපාන්න අදහසක් නැතිද?


ඒක තීරණය වෙන්නේ ලැබෙන නිර්මාණ අනුවනේ. ඉතිං හොඳ නිර්මාණයක් සඳහා ආරාධනාවක් ලැබුණොත් කාලවකවානුව ගැන හිතන්නේ නැතිව ඇත්තටම ඒ සඳහා දායක වෙනවා.

gossiplanka image 1
Previous Post Next Post