සුපිරි නිළි ප්‍රියංකා චොප්රා ජෝනාස් පසුගියදා පැවැති වාර්ෂික 'ගෝල්ඩ් ගාලා' (Gold Gala) සම්මාන උළෙලේදී 'Global Vanguard' සම්මානයෙන් පිදුම් ලැබූ අතර එම අවස්ථාවට ඇය සහභාගී වූයේ අතිශය ආකර්ෂණීය විලාසිතාවකින් සැරසෙමිනි. සුදු පැහැති අලංකාර ගවුමකින් සැරසී සිටි ඇය එම උළෙලේදී ලබාගත් ඡායාරූප පෙළක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක් කරමින් එම සන්ධ්‍යාව පිළිබඳව සංවේදී සටහනක්ද තබා තිබුණි. තමන්ට ප්‍රජාවක් ලෙස එක්ව සිටීමේ හැඟීමක් ලබා දීම සම්බන්ධයෙන් ඇය එහිදී 'ගෝල්ඩ් හවුස්' ආයතනයට ස්තූතිය පළ කළ අතර ඇයගේ මෙතෙක් ආ ගමන් මඟට දායක වූ සැමට කෘතඥතාව පළ කරමින් ඉදිරියටම යාමට බලාපොරොත්තු වන බවද සඳහන් කළාය.
මෙම උළෙලේදී ප්‍රියංකාගේ විලාසිතාව කාගේත් කතාබහට ලක්වූ විශේෂ අවස්ථාවක් වූ අතර ඇය ඇඳ සිටි ඇඳුම ප්‍රසිද්ධ විලාසිතා ශිල්පී අමිත් අගර්වාල් විසින් නිර්මාණය කරන ලද්දකි. විලාසිතා නිර්මාණ ශිල්පිනී අමී පටෙල්ගේ මඟපෙන්වීම යටතේ නිමවූ මෙම ගවුම සඳහා වසර 20ක් පැරණි 'චිකන්කාරි' (Chikankari) සාරියක් ප්‍රතිනිර්මාණය කර යොදාගෙන තිබීම විශේෂත්වයකි. මෙම සුවිශේෂී ඇඳුම නිර්මාණය කිරීම සඳහා සති හයකට ආසන්න කාලයක් ගතවී ඇති බව වාර්තා වේ.
අසමමිතික බෙල්ලේ හැඩයකින් සහ දිගු පසුපස කොටසකින් (train) සමන්විත වූ මෙම ඇඳුම වීදුරු පබළු යොදා ගනිමින් ඉතා සියුම් ලෙස අලංකාර කර තිබුණි. ප්‍රසිද්ධ විලාසිතා මාධ්‍යවේදිනී සුජාතා අසෝමුල් මෙම නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ මෙය ප්‍රියංකා, අමී පටෙල් සහ අමිත් අගර්වාල් යන තිදෙනාගේ සාමූහික එකතුවක් බවත්, සාම්ප්‍රදායික හස්ත කර්මාන්තය සහ නවීන විලාසිතා ලක්ෂණ මෙහි මැනවින් මුසුවී ඇති බවත්ය. අමිත් අගර්වාල් මේ පිළිබඳව සටහනක් තබමින් ප්‍රකාශ කළේ සිය මව කාලයක සිට ප්‍රියංකාට බෙහෙවින් ඇලුම් කළ බවත්, මෙම නිර්මාණය සිය මවට මෙන්ම දරුවන්ගේ සිහින හඹා යාමට දිරිගන්වන සියලුම මව්වරුන්ට උපහාරයක් වන බවත්ය.
සම්මාන උළෙල අතරතුර 'ගුඩ් මෝනිං ඇමරිකා' වැඩසටහන සමඟ අදහස් දක්වමින් ප්‍රියංකා සිය මව් පදවිය පිළිබඳවද අදහස් ප්‍රකාශ කළාය. තම මවගෙන් උගත් පාඩම් සිහිපත් කළ ඇය, තමා වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම සිය දියණිය වන මල්ටි මාරිටද උගන්වන බව එහිදී පැවසුවාය. මෙම ගෝල්ඩ් ගාලා සම්මාන උළෙලේදී ප්‍රියංකාට අමතරව ජෙට් ලී, සිමු ලියු සහ චාල්ස් මෙල්ටන් වැනි තවත් ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක්ද සම්මානයට පාත්‍ර වූහ.