ඉතින් කියන්න රොෂාන් මොනවද මේ දවස්වල වෙන්නේ?
මේ දවස්වල නම් විශේෂයෙන්ම වුණේ රූපවාහිනී චැනල්වලින් කරපු අවුරුදු උත්සවවලට සහභාගි වුණු එකයි. මිනෙත් පුතත් ඒ හැම උත්සවයකටම රොෂාන් එක්ක සහභාගි වෙනවා?
එයාටත් ඉතින් මට ලැබෙන හැම ආරාධනාවක්ම ලැබෙනවා. හැමෝම එයාට ආදරෙයි. ඒ වගේම හැම උත්සවයකදිම එයා තමන්ගේ හපන්කම් පෙන්වනවනේ.
ඔබේ පුතාට ඔයාගෙන්ම ලැබුණු දායාදෙ වෙන්න ඇති නේද?
බොහෝ විට ඒක එහෙම වෙන්න ඇති. හැබැයි මිනෙත් මට වඩා බොහොම දක්ෂයි. ඒ වගේම ෆෝවර්ඩ්. මොනවා හරි චැට් ෂෝ එකකට හරි වෙනත් විශේෂ අවස්ථාවකට හෝ ආරාධනා ලැබුණාම මිනෙත් මුලින්ම කරන්නේ එයට හොඳ සහභාගිත්වයක් දෙන්න බලාගෙන සින්දු, ඩාන්ස් වගේ දේවල් ප්‍රැක්ටිස් කරන එකයි. මමවත් එයාගේ අම්මාවත් එයාට හේල්ප් කරන්නේ නැහැ. තනියම තමයි හැම දේම ඉගෙන ගන්නේ.
පුතාත් තාත්තා වගේම නළුවෙක් වෙන්න අරඅඳිනවද දන්නේ නැහැ නේද?
බලමු අපි කාලයට ඉඩ දීලා. මිනෙත් එයාට කැමැති මාර්ගය තෝරාගන්නාතුරු. ඉන් පස්සේ අපට පුළුවන් මවුපියන් විදියට එයාට එතැනට යන්න අවශ්‍ය සහාය දෙන්න.
පුතා ගැන කතා කළා මදැයි. දැන් අපි තාත්තා ගැන කතා කරමු. ‘චොකලට්’ ෆිල්ම් එක ගැනයි පළමු ප්‍රශ්නය?
‘චොකලට්’ කියන්නේ මම රංගනයෙන් දායක වන අලුත්ම ෆිල්ම් එක. එහි කැමරාකරණය, සංගීතය වගේම කතාවත් අමුතුම ස්ටයිල් එකකටයි නිර්මාණය වෙලා තියෙන්නේ. සමහර විට ‘චොකලට්’ බොහෝ දෙනකුට අලංකාර ෆැන්ටසියක් වේවි. ඒ වගේම මේ සඳහා මුදල් බොහෝ ප්‍රමාණයක් වැයකොට තිබෙනවා. බොහෝ විට එය ලක්ෂ 700කට එයා යන පිරිවැයක්. ‘චොකලට්’ සඳහා දායක වන හැම කලාකරුවකුටම එය අලුත්ම අත්දැකීමක්ද වෙනවා. විශාල වෙහෙසක් විශාල කැපකිරීමක් සමග තමයි ‘චොකලට්’ ඉතා රසවත්ව නිර්මාණයක් විදියට ප්‍රේක්ෂකයන් අතරට එන්නේ.
‘චොකලට්’ ෆිල්ම් එකේ කතා තේමාව ගැන කියනවා නම්?
කතාව මම සැකෙවින් කියන්නම්. මොකද මේ රසවත් නිර්මාණය කුතුහලයක් විදියට එනවා නම් හොඳයි කියලයි හිතන්නේ. ‘චොකලට්’ කියන්නේ ඉතා චමත්කාරජනක ලව් ස්ටෝරි එකක්. ඒ ලව් ස්ටෝරි එකට විෂය මාතෘකාව වෙන්නේ සංකීර්ණ කතා පුවතක්. දැනට ඔය ටික ඇති. රංගනයෙන් ‘චොකලට්’ එකට දායක වන කලා ශිල්පීන් අතර රිතූ ආකර්ෂා, ශ්‍රීමාල් වෙඩිසිංහ සමග සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගෙ පුත්‍රරත්නය දමිත් ෆොන්සේකාත් ඉන්නවා. හුඟ කාලෙකට පස්සේ තමයි ඔහු මේ චිත්‍රපටයක රඟපාන්න එන්නේ. ඒ වගේම මේ රිතූ අකර්ෂාගේ පළමු චිත්‍රපට රංගනය. මේ සුන්දර චිත්‍රපටයෙහි අධ්‍යක්ෂ මෙහෙවර ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරු ඇලරික් ලයනල්ගෙ පුතා අශාන් ප්‍රනාන්දුගේ. සංගීතය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියැද්දගෙන්.
අලංකාර නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දැකබලාගන්න පුළුවන් වෙයි වගේ?
අනිවාර්යයෙන් ‘චොකලට්’ අතිසුන්දර නිර්මාණයක් වන බව නිසැකයි. නොබෝ දිනකින් එහි වැඩ අවසන් වෙනවා. බොහෝ විට ‘චොකලට්’ 2026 අවුරුද්දේ අවසාන භාගයේ හෝ 2027 මුල් භාගයේ තිරගත වේවි.
‘සිම්බා’ කියන්නෙත් රොෂාන් ඔබේ අලුත්ම සිනමා නිර්මාණයක්?
ඔව්. එයද ඉතාම අපූරු නිර්මාණයක්. ‘මයි සිම්බා’ කියන්නේ සත්‍ය කතාවක් පසුබිම් කරගත් චිත්‍රපටයක්. කාටත් මතක තියෙන කතාවක් ඒක. මීට වසර ගණනකට පළමුව ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයක තමයි ‘සිම්බා’ කියන සිංහ පැටියා හැදුණේ. ඒ වටා තමයි ‘මයි සිම්බා’ කතාව ගෙතුණේ. ‘මයි සිම්බා’ ෆිල්ම් එක මට වැදගත් වන තවත් විශේෂ හේතුවක් වෙන්නේ මිනෙත් පසුබිම් ගායන ශිල්පියකු ලෙසින් ඒ හරහා දොරට වඩින නිසයි.
අගනා ආරංචියක් රොෂාන්. මිනෙත් තවම පුංචි දරුවෙක්?
සින්දුව කියනකොට මිනෙත්ට වයස අවුරුදු 4යි. මයි සිම්බා රූගත කිරීම් කළේ 2024 අවුරුද්දෙයි. මම මිනෙත්ගේ තාත්තා හින්දා නෙවෙයි මේ කියන්නේ. මිනෙත් හරිම අපූරුවට ඒ ගීතය ගායනා කළා. ඒ වගේම කිවයුතු තවත් කතාවක් තියෙනවා. පුංචි මිනෙත් ඒ සින්දුව කියන්නේ ප්‍රසිද්ධ දකුණු ඉන්දීය ගායකයකු වූ ‘ක්‍රිෂ්’ සමගයි.
ගීතය ගායනා කරන්නේ දෙමළ බසින්ද?
නැහැ. දෙමළ හුරුවට සිංහල බසින් ක්‍රිෂ් එය ඉතා ළයාන්විතව ගායනා කරන විට මිනෙත්ද ඊට උචිත අයුරින් අලංකාරව එය ගායනා කරනවා.
ඔබ වාසනාවන්තයි කියා ඔබට හිතෙන්නේ නැද්ද රොෂාන්?
ඇයි නැත්තේ? රංගන ජීවිතයට ඇවිදින් දැනට අවුරුදු 22ක්. තවමත් මම ඩිමාන්ඩ්. ඉතින් මම මා ගැන ආඩම්බර විය යුතුයි කියලයි මම හිතන්නේ.
ඔබ රඟපෑ පළමු චිත්‍රපටය දින 100 පසුකළා?
ඔව්. ‘හිරිපොද වැස්ස’ කියන්නේ ඒ කාලේ ප්‍රේක්ෂකයන්ට හරි අපූරු අත්දැකීමක් වෙච්ච චිත්‍රපටයක්. මම හිතුවේ නැහැ මම ඒ තරම් හිට් වෙයි කියලා.
ඉතා අහඹුවක් ලෙසයි එහි ප්‍රධාන චරිතය ඔබට ලැබුණේ?
ඇත්තෙන්ම හිතාගන්නවත් බැරි අහම්බයක් ඒක. මටවත් නොකියා අලුත් චිත්‍රපටයකට අලුත් මුහුණක් හොයනවා කියලා තිබුණු දැන්වීමකටයි අම්මා ඉල්ලුම් පත්‍රයක් දාලා තිබුණේ. ඔඩිෂන් එකට එන්න කියලා ලියුම එනකොට ඔඩිෂන් තියලත් ඉවරයි. ලියුම ලැබිලා තිබුණේ ප්‍රමාද වෙලයි. පස්සේ මම එපා කියද්දි අම්මා ආයෙම කතා කරලා එන්න දවසක් ඇහුවා. ඒ වගේම එන්න කිව්වා. ඉන්ටර්විව් එකෙන් පස්සේ ලියුමක් එවන්නම් කියලා කිව්වා.
එදා ඔබ ආවේ බලාපොරොත්තු කඩවීමක් තුළද?
ලොකු බලාපොරොත්තුවකින් නොගිය නිසා ඒ තරම් ඒක හිතට දැනුණේ නැහැ. පුරුදු විදියට නිරූපණ වැඩවල යෙදුණා. ජයනාත් ගුණවර්ධනගේ ඇඩ් එක රූගත කිරීම් කරනකොට ඔහු ඇහුවා ෆිල්ම් එකක රඟපාන්න කැමැතිද කියලා. මමත් ඔව් කිව්වා. පස්සේ දවසක ඔහු මාව එහි අධ්‍යක්ෂවරයා ළඟට එක්කගෙන ගියා. බැලින්නම් මේ ඇවිත් තියෙන්නේ ‘හිරිපොද වැස්ස’ නිර්මාණය කරන්න හදන උදයකාන්ත ළඟටයි. එතකොට ඔහු හරිම නිහතමානීව හිනාවෙලා කිව්වා ‘මෙයාව අපි ඉන්ටර්විව් කළා කලින්, දැන් ඉතින් ආයේ දන්වන්න දෙයක් නැහැ රොෂාන්. හිරිපොද වැස්සේ මේන් රෝල් එක ඔයාට තමයි…’ කියලා.
ඒ ඔබට ලැබෙන්නම තිබුණු චාන්ස් එකක්…?
අදටත් හිතෙන්නේ එහෙම තමයි. මම ලකී කියලා කිව්වේ ඒකයි.
‘පහේ ළමයි’ ටෙලියට අසීමිත ප්‍රතිචාර ලැබෙන බවයි ආරංචිය?
ඔව්. පහේ ළමයි පවුලේ හැමෝ ආලින්දයට එකතු වී බලන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වී හමාරයි. මගතොටේදී වුණත් කවුරුත් ඒ ගැන කතා කරනවා.
ඔබ නපුරගේ චරිතය කරනවට පේ්්‍රක්ෂකයෝ කැමැති නැතිලු?
සමහරු ඒ ගැන දොස් කියනවා. තව සමහරු කියන්නේ විවිධ චරිත කරන එක හොඳයි කියලා. කොහොමත් මගේ අම්මත් මම කළු චරිත කරනවට බොහොම අමනාපයි. විශේෂයෙන්ම මම ‘සී යූ’ ටෙලියේ රඟපෑ චරිතය ගැන ඈ හුඟක් අමනාපෙන් හිටියා.
ඒ කියන්නේ කළු චරිත මින් ඉදිරියට භාරගන්නේ නැහැ කියන එකද?
තවම තීරණයක් නැහැ. බලමු අපි ඉස්සරහට.
තව මොනවා හරි යමක් කියන්න තියෙනවද රොෂාන්?
‘හිරුපොද වැස්ස 2’ ෆිල්ම් එක කරන සූදානමක් තියෙනවා. ඒ සඳහා පසුබිම සැකසෙමින් තියෙනවා. තිර පිටපත ලියමින් තිබෙනවා. ඒ වගේම ඊට දායකත්වය දෙන්න සතුටින් බලා ඉන්නවා. දැනට එපමණයි ඒ ගැන කියන්න පුළුවන්.