මගෙත් වැඩි ආදරේ ඕලුට -මංජුලා කුමාරි

gossiplanka image 2
 

සුන්දරත්වය සහ අහිංසකත්වය එකට කැටිවූ ආදරණීය චරිතයක් වන ‘ඕලූ’ චරිතය ජීවමාන කළ ආදරණීය රංගන ශිල්පිනිය, මංජුලා කුමාරි ය. එදා මෙන්ම අදටත් ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරයත් ජනප්‍රියත්වයත් දිනාගෙන සිටින ඇයගේ නවතම තොරුතුරු විමසන්නට අප ඇය හමු වුණා.


කොහොමද මේ දවස්වල වැඩකටයුතු?


සුපුරුදු විදිහට දරුවෝ එක්ක තමයි කාලය ගත කරන්නේ. පවුල් ජීවිතයට මුල් තැන දීලා වැඩකටයුතු කරනවා. ගිය අවුරුද්දේ ‘රිදී රැයක්’ ප්‍රසංගයේ රූගත කිරීම් සඳහා සහභාගි වුණා. ඒ වගේම තවත් උත්සව අවස්ථා කිහිපයක් තිබුණා. ඒවා එක්ක කාලය ගත වුණා.


ප්‍රේක්ෂකයෝ තාමත් ‘ඕලු’ට ආදරෙයි නේද?


‘ඕලු’ වාසනාවන්ත චරිතයක්. ඕලු චරිතයට ආරාධනා ලැබෙනකොට මට තවත් නිර්මාණ පහකට ආරාධනා ලැබිලා තිබුණා. ඒ අතරින් තමයි මම ඕලු තෝර ගත්තෙ. සම්මාන කොච්චර තිබ්බත් ජනප්‍රියත්වයේ සම්මානයට තමයි මම පෞද්ගලිකව ගොඩක් කැමති. ඒකට හේතුව ප්‍රසිද්ධ වෙන්න ලේසියි, නමුත් අමාරුම දේ මිනිස්සුන්ගේ ආදරේ දිනා ගැනීමයි. ඕලු චරිතයට ප්‍රේක්ෂකයො දක්වන ආදරයට දැන් අවුරුදු විස්සක්. තාමත් පාරට බැස්සහම ගොඩක් දෙනෙක් , “අනේ ඕලු ඔයා මොකද කරන්නේ? ඇයි පේන්නේ නැත්තේ? “කියලා අහනවා. චරිත සීයක් කළත් ඒ වගේ එක චරිතයකින් රසිකයන් අතරට යන්න ලැබීමම ලොකු වාසනාවක්. මං ගොඩක් ප්‍රසිද්ධ වුණේ ඕලු නිසා. මංජුලා කියලා ගොඩක් අය ඉන්නවා. නමුත් ඕලු චරිතය නිසා මම සුවිශේෂී වුණා. ගොඩක් අය මට “ඕලු මංජුලා” කියනවා. මාත් ඒ නමට හරි ආදරෙයි.


ඕලුගෙන් මිදිලා වෙන චරිතයක් වෙන්න කැමති නැද්ද?


වෘත්තීය මට්ටමේ නළු නිළියෝ හැටියට අපිට වෙනස් චරිතවලට යන්න පුළුවන්. නමුත් මගේ පෞද්ගලික අදහස, ලංකාව වගේ රටක අපිට ලොකු වෙනසකට යන්න අමාරුයි. මොකද, ප්‍රේක්ෂකයෝ ඒ චරිත එක්ක ජීවත් වෙනවා. ඔවුන් ඒ චරිතවලට ආදරය කරනවා. මම කළු චරිතයක් කළොත් ඕලුට තියෙන ආදරේ නැති වෙනවා. ප්‍රේක්ෂකයන්ගේ ඒ ආදරේට මං හරිම ලෝබයි. කවදහරි මම ක්ෂේත්‍රයෙන් අයින් වෙන කාලෙට, මගේ දරුවන්ට “මගේ අම්මා ඕලු” කියල කියන්න පුළුවන් ගරුත්වය තියෙන්න ඕනේ. කොටට ඇඳලා රඟපාන්න මටත් පුළුවන්. හැබැයි මං ඒ තැනට යන්න කැමැති නෑ. මම කැමති ඕලු චරිතය දිගටම තියන්න.


චරිතයක් තෝර ගනිද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙනවද?


චරිතයක් තෝර ගනිද්දී ඒ චරිතය කොයි වගේද කියලා සෑහෙන්න දේවල් ගැන මම හිතනවා. එහෙම හිතලා බලලා මට ගැළපෙන හොඳ චරිත තෝර ගන්නවා. මම හිතන්නේ එහෙම හොයලා බලලා වැඩ කරන නිසා තමයි අදටත් මම ක්ෂේත්‍රයේ යම් තැනක ඉන්නේ.


රංගනය අතපසු වෙන්නේ ඔබ පවුල් ජීවිතේ වැඩි බරක් දරන නිසාද?


ඇත්තටම එහෙම නෑ. මම හරිම නිදහසේ වැඩ කරනවා. ගෙදර වැඩවලට දෙතුන් දෙනෙක් ඉන්නවා. පවුල් ජීවිතය සොඳුරුව ගතකරනවා. මං වැඩිපුරම කැමැති දරුවෝ එක්ක ඉන්නයි. මේ එයාලගේ හුරතල් කාලෙ නිසා මං ඒවා මඟහැර ගන්න කැමැති නෑ. ඒ නිසාම මම කාලය වැඩිපුර ක්ෂේත්‍රයට කැප කරන්න අකැමැතියි. ඉඳලා හිටලා තමයි ප්‍රෝග්‍රෑම්වලට සහභාගී වෙන්නේ. අනිවාර්යයෙන් වෘත්තියක් කරන්න ඕනි කියන ස්ට්‍රෙස් එක මට නැහැ. මම හිතන්නේ මට මේ මේ වගේ ජීවිතයක් ලැබුණේ වාසනාවට.


ඒ නිසාද කාලයක් ඔබ ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටියේ?


අයින් වෙලා හිටියේ නෑ. හැම කාලෙම පොඩි පොඩි දේවල් කළා. දරුවොත් එක්ක ඉන්න ඕනි නිසා තමයි ලොකුවට නිර්මාණවලට දායක වෙන්නෙ නැත්තේ.


වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන ඔබට මොනවද හිතෙන්නේ?


වර්තමාන නළු නිළියන් දිහා බැලුවහම දක්ෂ අය ගොඩක් ඉන්නවා. ඒ වගේම එක රූගත කිරීමක් කළාම, පොඩි පොඩි දර්ශනයකට පෙනී හිටියම ලොකු ආඩම්බරකමක් මවාගෙන හැසිරෙන පිරිසකුත් ඉන්නවා. අපි ළඟට ගිහිල්ලා කතා කළත් ඔවුන් කතා කරන්නේ නෑ. සාමාන්‍ය ‍ෙයන් මං දකින හැම කෙනා එක්කම හිනාවෙලා කතා කරනවා. නමුත් සමහර නවකයෝ ඉන්නවා ඔවුන්ගේ නමවත් ප්‍රේක්ෂකයෝ දන්නෙ නැහැ, ඔවුන් ජනප්‍රිය වෙන්න හදන්නේ ගොසිප්වලින්. ඒ වගේම කොටට ඇඳුම් ඇඳලා, මොනවා හරි විකාරයක් කරලා ප්‍රසිද්ධ වෙන්න දඟලනවා. ප්‍රේක්ෂකයෝ තුළයි අපි මතකයේ රැඳෙන්න ඕනේ කියලා ඔවුන්ට අවබෝධයක් නැහැ.


නිළියකට සංවර බවත් වැදගත් කියලද ඔබ කියන්නේ?


අනිවාර්යයෙන්ම ඔව්, අපේ කතාබහ, හැසිරීම්, ඒ හැමදේකම සංවරකම, ගුණාත්මක භාවයක් තිබිය යුතුයි. අද ඒ දේවල් ගොඩක් අඩුයි. ඒ ගැන දුක හිතෙනවා.


රංගන ජීවිතයේ අමතක නොවන සිදුවීම් මොනවද?


මම ක්ෂේත්‍රයට එන්නේ 1998දි විතර. අවුරුදු විසි පහක් තිස්සේ රංගන ජීවිතය තුළ සිදුවීම් ගොඩක් තියෙනවා. ඒ අතර ප්‍රවීණ‍ෙයා රැසක් එක්ක එකට රඟපාන්න ලැබීම සුවිශේෂී මතකයක්. ‘රන් කොල්ලා’ ටෙලිනාට්‍යයේ අයිරාංගනී සේරසිංහ, චාන්දනී සෙනවිරත්න, ජයලත් මනෝරත්න වැනි ප්‍රවීණයන් රැසක් එක්ක රඟපාන්න ලැබුණා. ජයලත් මනෝරත්නයන් බොහෝ අවස්ථාවල ඉතාම නිහතමානීව මාව ඇගැයීමට ලක් කළා. ඒවා හරි සුන්දර මතක. ඒ වගේම මගේ මුල්ම රංගනය මට කරන්න ලැබුණේ ‘රිද්දියාගය’ ටෙලි නාට්‍යයේ ජෝ අබේවික්‍රමයන් එක්ක. පොඩි බයක් තිබුණත් එතුමාගේ නිහතමානීකම නිසා හැමදේම හොදින් සිදු වුණා.


ඔබේ සුන්දරත්වයේ රහස් ගැනත් දැනගන්න කැමතියි.


මං හිතන්නේ අපේ හිත තමයි හැමදේටම බලපාන්නේ. මම රූපලාවන්‍ය දේවල් වැඩිය පාවිච්චි කරන්නේ නැහැ. මම විශ්වාස කරන දේ තමයි, හිත තමයි අපේ කැඩපත. හිත ලස්සන නම් ඒ ලස්සන මූණෙන් පේනවා.


රංගන කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


ක්ෂේත්‍රයට ආව මුල් කාලේ මගේ අම්මා සහ ආච්චි මාත් එක්කම හිටියා. විවාහ වුණාට පස්සේ සැමියා මට නිදහස දීලා තියෙනවා, ඕනෑම නිර්මාණයකට සහභාගි වෙන්න. ඒත් මම වැඩිපුරම කැමැති දරුවෝ එක්ක කාලය ගත කරන්නයි. අපි මොන දේ කළත් අවසාන ජීවිතය, දරුවෝ සහ අපේ පවුල කියන දේ මම විශ්වාස කරනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post