ඔබට ‘නෙළුනි’ ටෙලි නාට්‍යයේ සමන්මලී මතකද ? කලා ලොවේ දිගු ගමනක් යාමට බලාපොරොත්තුවෙන් සිටින ඇය ලූර්දු චෙනුදි ය. ටෙලි හා සිනමා නිර්මාණ රැසකින්ම ප්‍රේක්ෂකයා අතරට පැමිණි ඇය සමඟ කළ කෙටි පිළිසඳරකි මේ.
ලූර්දු කියන්නකෝ ඔයා ගැන විස්තර ටිකක්?
මම ඉන්නේ දෙල්ගොඩ. දෙකටන පද්මවතී මධ්‍ය මහා විද්‍යාලයේ හත් වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අයියලා තුන් දෙනයි මමයි.
ලූර්දු කියන නම ටිකක් වෙනස් නේද?
මම රෝමානු කතෝලික දරුවෙක්. ලූර්දු කියන්නේ දේව මෑණියන්ට කියන නමක්. පුතාලා තුන් දෙනෙක්ට පස්සේ දුවෙක් විදිහට ඉපදුණු නිසා තමයි මගේ අප්පච්චි මට ඒ නම දාලා තියෙන්නේ.
අලුත් අවුරුද්දට ලූර්දු ගේ සූදානම කොහොමද?
ළමයෙක් විදියට මම හරිම ආසයි අලුත් අවුරුදු කාලෙට. අපිට ඉස්කෝලේ නිවාඩු ලැබෙනවා. හැමෝගෙන්ම තෑගි හම්බ වෙනවා. ඒ වගේම අලුත් අවුරුදු උත්සවවලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. අවුරුදු කාලේ කියන්නේ අපි හැමෝගෙම හිත් සතුටින් පිරෙන කාලයක්නෙ. මම ආසාවෙන් බලාගෙන ඉන්නේ අවුරුදු උදාවෙනකම්.
ඔබ කලා ලෝකයට අත්පොත් තැබූ අතීතය ගැනත් මතක් කරනවා නම්?
මගේ ඥාතියෙක් වන දෙනෙත් මාමා තමයි මුලින්ම කලාවට එන්න උදව් කළේ. ඊට පස්සේ මගේ රංගන හැකියාව දැකපු චාගී වගීෂ, කැලුම් උඩුවාව,මහේෂ් කරුණාරත්න, චතුර දේශාන් මාමලා එයාලගේ අලුත් නිර්මාණවලට මාව සම්බන්ධ කර ගත්තා. මට පුළුවන් උපරිමයෙන් මම ඒ හැම නිර්මාණයකම රඟපෑම් කළා.
ඔබ සම්බන්ධ වූ පළමු නිර්මාණය ඇතුළු මේ වෙනකොට දායක වී තියෙන නිර්මාණ ගැනත් කතා කරමු.
මුලින්ම සම්බන්ධ වුණේ ‘ආසු’ චිත්‍රපටයේ උදාරි නැන්දගේ දුවගේ යාළුවා විදියට. එතකොට මට වයස අවුරුදු පහයි. ‘නෙළුනි’ ටෙලි නාට්‍යයට අමතරව ‘පලඟැටියෝ’ පෝය නාට්‍යයේ අක්ෂි චරිතය, ‘එක් නිමේෂයක්’ නාට්‍යයේ නෙතුලි චරිතය, ‘හද සුසුම්’ හි මීනුගේ චරිතය, ‘රුවන්වන් සෙනෙහස’ නාට්‍යයේ හසිනි, ‘ඩෝබි’ නාට්‍යයේ උත්පලා කියන චරිතවලට මම පණ පෙව්වා. ‘අලුත් මිස්, පීතෘ, සෙනෙහස’ වගේ නාට්‍යවල සෙසු චරිතවලටත් මම සම්බන්ධ වෙලා තියෙනවා. “චන්ද්‍රා පායන්න” මියුසික් වීඩියෝ එකට වගේම “ආයති” මියුසික් වීඩීයෝවටත් මම රංගනයෙන් දායක වුණා. ඒ වගේම “ ඉර පරදා, ආසු” චිත්‍රපටවලට දායක වුණා. වෙළෙඳ දැන්වීම් කීපයකටත් සහභාගි වෙලා තියෙනවා.
මේ ගමනට ඔබට උදව් කළ අය ගැනත් මතක් කරමු නේද?
මගේ පවුලේ හැමෝගෙන්ම කලා කටයුතුවලට ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ පාසලේ විදුහල්පති, නිමල් කොඩිකාර සර්, ශකිලා, නයෝමි ගුරුතුමිලා ඇතුළු ගුරු මණ්ඩලය මගේ ගමනට ආශීර්වාද කරමින් ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම මගේ යාළුවො ගැනත් මතක් කරන්නම ඕනේ. ෂූටින් දවස්වලට මට අතපසු වෙන සටහන් දෙන්නේ මගේ යාළුවෝ. ඒ වගේම ෂූටින්වලට මාව එක්ක යන්නේ මගේ අම්මා. මා එක්ක රංගන කටයුතු කරන කලා නිර්මාණවල ඉන්න ප්‍රවීණ කලා ශිල්පී මාමලා නැන්දලා, පවුලේ හැමෝටමත්, මාව කලා නිර්මාණවලට දායක කරගත් හැම දෙනාටමත්, සුරංජිත් ජානක, නදීශා රාමනායක නැන්දටත් මේ වෙලාවේ විශේෂයෙන් ස්තූති කරනවා.
රංගනයට අමතරව තව මොනවටද ඔයා දක්ෂ?
මට හොඳට නටන්න, සින්දු කියන්න පුළුවන්. ඒ වගේම පාසලේ නිවේදන කටයුතුවලටත් දායක වෙනවා’. ලස්සනට වූල් ගොතන්නත් පුළුවන්. පාසලේ නාට්‍ය සංගමයේත් මම සාමාජිකාවක්.
ලූර්දුගේ විනෝදාංශ මොනවද?
සුරතල් සත්තු රැකබලා ගන්න මම ආසයි. මේ වෙද්දි මම ළඟ ටූබා, රෙක්ස් කියලා සුරතල් බලු පැටව් දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම සුදු කිටී, ටයිගර් කියලා පූස් යාළුවො දෙන්නෙක් වගේම එමී කියලා ඉබ්බෙකුත් ඉන්නවා. මල් වවන එකත් මගෙ ආසම විනෝදාංශයක්.
ලූර්දුගේ රංගනය ගැන ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
පාසලේ සහ ගමේ යාළුවෝ මම රඟපාන කතා බලලා කමෙන්ට් කරනවා. ඒ වගේම පාර තොටේදී දකින ප්‍රේක්ෂකයෝ මා එක්ක සෙල්ෆිත් ගන්නවා. හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඉදිරියේදී අපිට ලූර්දු දැකගත හැකි නිර්මාණ මොනවද?
ජීවන් කුමාරතුංග මාමාගේ “ජීවා” චිත්‍රපටයෙන්, මහේෂ් මාමාගේ “කාලි” චිත්‍රපටයෙන් වගේම ඉන්දියානු නිර්මාණයක් වන “මර්දානි 3” චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන්ට මගේ රංගනය දැක ගන්න පුළුවන්. ඒ වගේම ඉරිදියේදී අලුත් ටෙලි නිර්මාණයකට සම්බන්ධ වෙන්නත් මට ආරාධනා ලැබිලා තියෙනවා.
අනාගත බලාපොරොත්තුව මොකක්ද?
අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන මගේ කලා හැකියාවත් තව වර්ධනය කරගෙන ඉදිරියේදී දක්ෂ රංගන ශිල්පිනියක් වීම තමයි මගේ බලාපොරොත්තුව.