ප්‍රේක්ෂකයන් ආදේශ්ගේ අම්මා දකින්න හරි ආසාවෙන් හිටියා -තරුෂි පෙරේරා

gossiplanka image 1
   


 රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි තරුෂි පෙරේරා මේ වන විට තිර රචිකාවියක් මෙන්ම අධ්‍යක්ෂවරියක් ලෙසත් ප්‍රේක්ෂකයන් අතරට එනවා. මේ දිනවල බොහෝ දෙනාගේ ආදරේ ලබන රොන් සොයා ටෙලි නාට්‍යයේ ආදේශ්ගේ මවගේ භූමිකාවෙන් ඔබ හමුවට එන ඇය සමඟයි අද අපේ මේ කතාබහ.


මේ දිනවල ඔබේ කලා කටයුතු ගැන කතා කරනවානම්?


මේ දිනවල විකාශය වන ‘තරු කුමරු ආදරේ ගෙන්නලා‘ සහ ‘රොන් සොයා‘ නාට්‍යයවලට අලුතින් සම්බන්ධ වුණා. නීල පබළු නාට්‍යයත් දැන් නැවත විකාශය වනවා.


රොන් සොයා ආදේශ්ගේ අම්මාගේ චරිතය ගැන මොකද හිතෙන්නේ?


ඒක මට පොඩි අභියෝගයක් වුණු චරිතයක්. මොකද නීල පබළු පටන් ගැන්මේ සිට මම දර්ශනවල පෙනී හිටියා. නමුත් රොන් සොයා නාට්‍යයේ මේ අම්මා ගැන කාලයක් තිස්සේම තාත්තා සහ පුතා අතර විතරයි කතා බහ වුණේ. ප්‍රේක්ෂකයන් පවා ආදේශ්ගේ අම්මා දකින්න හරි ආසාවෙන් හිටියා. තාත්තයි පුතයි මේතරම් ආදරෙන් කතාවෙන අම්මා කෝ කියලා. රූපෙන් දකින්නේ නැතුව කතා කරපු වචනවලින් ප්‍රේක්ෂකයන් චරිතයක් මවාගෙන හිටියා. ඒ නිසා මම නෙවෙයි වෙන කවුරු ආවත් මේ රූපෙමද ප්‍රේක්ෂකයන්ගේ ඇහේ ඇඳුනු රුව කියන එක හිතෙනවා. ඒකයි මම කිව්වේ මේක අභියෝගයක් වුණු චරිතයක් කියලා. මම ඒ අභියෝගය ආසාවෙන් භාර ගත්තා. සුන්දර චරිතයක්. ආදරණීය ෆැමිලි එකක කතාවක්. මගේ සැමියා ලෙස චන්දික නානායක්කාරත් කඩවසම් පුතා ලෙස චතුරංග කොඩිතුවක්කුත් දායක වෙනවා.


ආදේශ්ගේ ආදර කතාවට අම්මා හරස් වෙයිද?


ඒකම තමයි ප්‍රේක්ෂකයන් බලන් ඉන්නෙත්. මොකද පුතාගේ හැම දේටම තාත්තා නම් හොඳ සහයෝගයක් දෙනවා. අම්මා මොන වගේ ප්‍රතිචාර දක්වයිද කියන එකේදී මම පරිස්සම් වෙන්න ඕනේ. ප්‍රේක්ෂකයන් බලන්නේ ආදරේ පැත්ත විතරනේ. අම්මෙක්ගේ පැත්තෙන් හිතලා බලන්නේ නැහැනේ. ඒ නිසා මට තියෙන දෙබස් හැසිරවීම පවා හරි කල්පනාවෙන් කරන්න ඕනේ. නැත්නම් මට බැණුම් අහන්න වෙනවා.


දැන් වැඩිය නිර්මාණවල දකින්න නැත්තේ ඇයි?


ගොඩක් අය හිතනවා මම රංගනයෙන් ඈත් වෙලා කියලා. එහෙම නැහැ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම භාර ගන්නවා. විවාහයෙන් පස්සේ නීලපබළු සහ දෙවැනි ඉනිම වගේ දෙයක් කරන්න තිබුණු හොඳ නාට්‍යවල චරිත කරන්න ලැබුණා. ආදරණීය මවකගේ, දුක් කම්කටොළු විඳින මවකගේ චරිත කරන්න ලැබුණු එක ගැන සතුටක්. හැමවිටම නිර්මාණ සීමිතව භාර ගත්තේ මගේ ජීවිතේ අංක එක මගේ දරුවා නිසා.


දැන් ඔබ රංගනයෙන් එහාට ගිහින් තිර රචනය සහ අධ්‍යක්ෂණයටත් පිවිසිලා?


ඔව්. මගේ ලොකුම හීනය වෙලා තිබුණේ නිර්මාණ අධ්‍යක්ෂණයට පිවිසෙන එක. තිර රචනයට නම් මම ගොඩක් කල් ඉඳන් ඇබ්බැහි වෙච්චි කෙනෙක්. ඒ හීන එක්ක මම කාලයක් ජීවත් වුණා. ඒ අනුව තමයි රෑනගල වලව්ව නිර්මාණය වුණේ. එතනදී මට තේරුම් ගියා මගේ අතින් ලියැවෙන රචනය මගේ ඇසින්ම කරන්න ඕනෙ කියන එක. මම චිත්‍ර කතා ලියපු කෙනෙක්. ඒ නිසා ඒ හැඟීම් මටම මතු කරන්න ගන්න ඕනේ වුණා. දෙවැනි නිර්මාණය සත් වර්ෂා. තුන්වෙනි එක 24 Love Story. දැනුත් ඒ බලාපොරොත්තු ඒ විදියටම තියෙනවා. අලුත් තිර රචනයකට යොමු වෙලත් ඉන්නවා. මේ වෙද්දී එයට අවශ්‍ය මූලික කටයුතු කරගෙන යනවා.


මේ හැමදේම කරන්න කාලය කොහොමද කළමනාකරණය කරගන්නේ?


ඒක නම් හරිම අමාරු වැඩක්. මොන වැඩ තිබුණත් පුතාගේ කෑම බීම හැමදෙයක්ම මමම කරනවා. ඒ නිසා මනසට විඩාපත් වෙන තැන් තියෙනවා. හැබැයි සතුටු වෙන්න පුළුවන් කාරණාත් තියෙනවා. මට ඉන්නේ එක පුතෙක්. ඒත් ඒක ලොකු වගකීමක්. මොකද මොන දේ කළත් මම සමාජයට දිය යුත්තේ හොඳ චරිතයක්. මම ඉගෙන ගත්ත දේවල් සමාජ අත්දැකීම් එක්ක මම ඔහුට කියලා දෙනවා. පුතා නිසා සහ මම මේ ක්ෂේත්‍රයේ ලබන දේවල් එක්ක මම ජීවිතේ සතුටින් ගත කරනවා.


පුතා කලාවට හැකියාවන් පෙන්නුම් කරනවා ද?


එයා මමම තමයි. මටත් වඩා වෙනස් විදිහට හිතනවා. මට එයාව නළුවෙක් කිරීමේ බලාපොරොත්තුවක් නැහැ. තව ටිකක් හිතන්න මම එයාට නිදහස දෙනවා. රංගනයට පමණක් නෙවෙයි එයා අධ්‍යක්ෂණයට පවා සහජ දක්ෂතා පෙන්නුම් කරනවා. මම කරන වැඩවලදී මේ පොඩි වයසට පවා අම්මා ඕක නම් ඔතන මෙහෙම වුණොත් නේද හරි කියන්න තරම් එයාට තේරෙනවා. එයා ගොඩක්ම බලන්නේ ඉංග්‍රීසි චිත්‍රපට. නළුවෙක් ගැන වුණත් ඉතිහාසය පවා හොයනවා. ෆිල්ම් එකක් බැලුවත් ඒක හැදුණු හැටි පවා හොයනවා. ඒක ගවේෂණය කරනවා. ඒ නිසා අනාගතයේෙදී එයා කැමති දෙයක් කරන්න නිදහස උපරිම දීලා තියෙනවා.


කලාවට ඇවිත් ලොකු කාලයක් වෙලත් ප්‍රේක්ෂක ආදරේ ඒ විදිහටම ලැබෙනවාද?


ඔව්. ඒකට මට කළ හැකි කලගුණ සැලකීම තමයි මම මේ නිර්මාණ හරහා කරන්නේ. අපි ජීවත් වෙන්නේ කලාව ඇතුළේ. දෙපාරක් මම මේ ක්ෂේත්‍රයෙන් අයින් වෙලා ආයේ ආවා. ඒ නිසා මම විශ්වාස කරනවා මට මේ කලාව කරන්න ආශීර්වාදය හිමි වෙලා තියෙනවා කියලා. ඒ නිසා මේ තුළ මම දෙයක් උපයලා ජීවත් වෙනවා වගේම මම ලබන අත්දැකීම් එක්ක තමයි ලියන්නේ. ඒ හරහා සමාජයට වැදගත් දෙයක් දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. මට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට මමත් නැවත මේ විදිහට ආදරේ දෙනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post