ගායිකාවක් වෙන්නයි ආසාවෙන් හිටියේ -මනෝහාරි විමලතුංග

gossiplanka image 1
 


පුංචි තිරයේ ‘බණ්ඩාර කිරිඅම්මා’ ට ආදරය නොකරන කෙනෙක් නොමැති තරම්. අනුන්ගේ දරුවන් වෙනුවෙන් කිරි එරෙන ඇය වැනි කතුන් තවමත් දුෂ්කර ගම්වල ඕනෑතරම් වෙති. ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යයේ බණ්ඩාර කිරිඅම්මා වූ ප්‍රවීණ රංගන ශිල්පිනී මනෝහාරි විමලතුංග එකී චරිතය ගැනත් සිය කලාදිවිය ගැනත් කතා කිරීමට ‘රසඳුන’හා මෙසේ එක්වූවාය.


‘බණ්ඩාර කිරිඅම්මා‘ චරිතය ගැන මොකද හිතෙන්නේ?


ඇය ගමක ‘මවු වත්කම‘ තිබෙන ගැහැනියක්. අසල්වැසියන්ට උදවු කරගෙන, තමන්ට දරුවෝ නැතත් අනිත් දරුවෝ තමන්ගේ දරුවෝ කියා සිතාගෙන ඒ දරුවෝ වෙනුවෙන් කිරි එරෙන , තමන්ට කන්න තියෙන දේ පවා ඒ දරුවන්ට දෙන හිත උණු වෙන අම්මා කෙනෙක්. අදටත් ඈත ගම්වල එවැනි අය ජීවත්වෙනවා. මේ චරිතය ඉදිරියට තවත් සංකීර්ණව දිවයනවා. චරිතය මට ලබාදීම වෙනුවෙන් අධ්‍යක්ෂ ලලිත් රෝහිත මල්ලිට ස්තුතිවන්ත වෙනවා


කොහොමද මේ චරිතයට ආරාධනා ලැබුණේ?


අධ්‍යක්ෂ ලලිත් මල්ලිම තමයි කතාකළේ. ඔහු මීට පෙර නිර්මාණය කළ ‘ ඉරගිනි මද්දහන’ ටෙලිනාට්‍යයේ කටුපොත ලොකු අම්මාගේ චරිතය කළේත් මම. එහි අවසන් කොටස් කිහිපයක විතරයි මම රඟපෑවේ. එහිදී මනෝහාරි අක්කාට සාධාරණයක් වුණේ නැහැ කියලා ඔහු කිව්වා. ඉන්පසු තමයි දොරකඩ දෙවොලේ ‘බණ්ඩාර කිරිඅම්මා’ ගේ චරිතය ලැබුණේ .


මේ චරිතය භාරගන්න ආස හිතුණේ ඇයි?


කතාව කියෙව්වම ආස හිතුණු නිසා. ඒ ගැමිකමටත්, මනෝහාරි අක්කාට මේ චරිතය දෙන්නම් කිව්වමත් ආස හිතුණා.


කුඩා දරුවන් එක්ක රූගත කිරීම් අත්දැකීම් මොනවගේද?


දඟකාර පැටවු ටික කොහොම හරි අන්බාන් කරගෙන රඟපෑවා. එයාලා එයාලගේ ලෝකේ ඉන්නේ. ඒ ලෝකෙන් මුදාගෙන එයාලව සූක්ෂ්ම විදිහට ගන්න ඕනේ. පොඩි පැටවු ටික මටත් හරිම ආදරෙයි. ගම්පෙරළිය ටෙලි නාට්‍යයේ ඉඳන්ම මට රඟපාද්දි දරුවන්ගෙන් නම් අඩුවක් තිබ්බේ නෑ


අධ්‍යක්ෂ ඇතුළු පිරිසගෙන් ලද සහය කොහොමද ?


ලලිත් මල්ලිගේ උපරිම සහය ලැබුණා. කැමරා අධ්‍යක්ෂ බුද්ධික මල්ලිගනුත් හොඳ සහයක් ලැබුණා. කැමරා ඇස අපි දකින්නේ නැහැනේ . සමහර දර්ශන බුද්ධික ගන්න විදිහ හරි කියා හිතුණා..ඔහුගේ කැමරා ඇස හරිම තියුණුයි . අවන්ති ඇතුළු සියලු දෙනාගෙන්ම හොඳ සහයක් ලැබුණා. අවන්තිගේ රඟපෑම මගේ රංගනයට පිටිවහලක් වුණා. පොඩි දරුවන්ගෙනුත් හොඳ සහයක් ලැබුණා


චරිතයක් භාර ගනිද්දී සලකා බලන්නේ මොනවාද?


පිටපතේ නමට විතරක් පෙනී සිටින අවස්ථා තිබෙනවා කියා සිතුණොත් චරිතය කරන්නේ නැහැ දැනෙන්න දෙයක් කරන්නෙ නැත්නම්. මම කලාවට ගරු කරනවා. මට ගැළපෙන වගේම මට සතුටක් දැනෙනවා නම්, ආත්ම තෘප්තියක් ලැබෙනවානම් රඟපානවා. මුදල් ගැනම සිතන්නේ නැහැ .


‘හිද්දලයා’ , චණ්ඩි කුමාරිහාමි’ නිර්මාණ තුළත් ඔබේ රංගනය පසුගිය දිනවල අපි දැක්කා?


‘රනිල් කුලසිංහගේ ‘හිද්දලයා’හි චරිතයට හරිම ආසයි. එය 1800 ගණන්වල ඓතිහාසික කතාවක්නේ . මෙය දොරකඩ දෙවොලට වඩා හාත්පසින්ම වෙනස් . රූගතකිරීමට නුවර වලව්වට ගියාම එතැන අමුතුම වෙනස් ලෝකයක්. චරිත් අබේසිංහගේ ‘චණ්ඩි කුමාරිහාමි’හි මගේ චරිතයත් ප්‍රේක්ෂකයා අතර ඉතා ජනප්‍රිය වුණා.


වතුර කරත්තෙන් නේද සිනමාවට ආවේ?


ඔව්. ඒත් තිරගත වුණේ 1982 දී. අධ්‍යක්ෂණය කළේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා. ඊට පස්සේ ‘රේල් පාර’ චිත්‍රපටයේ රඟපෑවා. එහි ජයන්තදාස් පෙරේරා සමඟ රඟපෑවේ. කඳපොළ කුමාරතුංගගේ ‘වාසිටි කෙල්ල’ චිත්‍රපටයේ රඟපෑවේ සනත් ගුණතිලකගේ පෙම්වතිය ලෙස. මේවා 1980 දශකයේ තිරගත වුණේ. මම රඟපානවාට අම්මා අකැමැති වුණා. පුංචි අම්මා, අම්මාට හොරෙන් ‘වතුර කරත්තේ’ චිත්‍රපටයේ ඉන්ටවිව් එකට මාව එක්ක ගියේ බණ අහන්න එක්ක යනවා කියලා. ඒ චිත්‍රපටය ගැන මට පණිවිඩය දුන්නෙත් පුංචියි බාප්පයි. කොහොම හරි මාව ‘වතුර කරත්තේ’ රඟපාන්න තේරුණා. පුංචි අම්මයි බාප්පයි නැත්නම් මම අද මෙතැන නැහැ. අදටත් සමහරු අහනවා ඇයි දිගටම චිත්‍රපට නොකළේ කියලා . ඔයා තවත් පුණ්‍යා හීන්දෙණිය කෙනෙක් වෙයි කියලා අපි හිතුවේ කියා සමහරු කියනවා .


වේදිකාවට නැග්ගෙත් 1980 දශකයේ නේද?


ඔව්. මගේ මුල්ම රංගනය ජයසේකර අපොන්සු හා රංජිත් අල්විස්ගේ ‘අහස කඩා වැටෙයි’ වේදිකා නාට්‍යය. ඉන්පසු හෙක්ටර් කුමාරසිරිගේ ‘උත්තමාචාර, සිල්ගත් කොක්කු’ වගේ නිර්මාණවලට එක්වුණා .


ගායිකාවක් වෙන්නත් ආසාවෙන් හිටියා නේද?


ඉස්සර මම ගායිකාවක් වෙන්නයි ආසාවෙන් හිටියේ. පාසල් කාලයේ ලතා, සුජාතා , ඇන්ජලීන් වගේ අයගේ ගීත ගයනවා. ඒ කාලයේ ඉස්කෝලේ වැඩවලදී මාව නැතිවම බැරි ගායිකාවක් වුණා . පළාත් , සමස්ත ලංකා තරග සෑම එකෙන්ම මම තමයි පළමු තැන ගන්නේ. ඒත් ගායනයෙන් ඉදිරියට යන්න බැරිවුණා. අද යම් යම් විශේෂ අවස්ථාවල ගීත ගායනා කරනවා .


සංස්කෘතික මණ්ඩලයකත් ඔබ ඉන්නවා ?


වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික මණ්ඩලයේ අපි කලාකරුවන් රැසක් එක්වී නිර්මාණ කරනවා. එහි ප්‍රාදේශීය ලේකම්වරිය හා කලා සංස්කෘතික කටයුතු අංශය භාර චමිලා රූපසිංහත් මේ මොහොතේ මතක් කරනවා. එහිදී අපි කෙටි චිත්‍රපටත් කරනවා . සති 02කට පමණ පෙර ‘සංයෝග’ නමින් කෙටි චිත්‍රපටයකුත් කළා. වෙසක්, අවුරුදු ,නත්තල් වෙනුවෙන් අපේ සංස්කෘතියට අදාළ වැඩසටහන් සිදුකරනවා .


ඉදිරි නිර්මාණ මොනවාද?


‘සසර යාත්‍රා’ සහ ‘සෙල්ලක්කාරයෝ’ නමින් ටෙලිනාට්‍ය දෙකක් එන්න තියෙනවා. ආකාස් තාරුක පුතාගේ වැඩකටත් දායකවෙන්න සිතාගෙන ඉන්නේ .


පවුලේ විස්තර කීවොත්?


මම අවිවාහකයි. අම්මා, තාත්තා ජීවතුන් අතර නැහැ. නංගිලා, මල්ලිලා ඉන්නවා. ඔවුන්ගේ දරුවන් මගේ සැප දුක සොයා බලනවා .

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
Previous Post Next Post