මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන බැද්ද අද්දර ටෙලිනාට්‍යයේ සිරිල්ගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා සිටින රංගජිත් අබේසූරිය නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙකි. මේ දිනවල බොහෝ සේ කතාබහට ලක්වන සිරිල් ගැන කතාකරන්නට ඔහු අප හා එක්වීය.
බැද්ද අද්දර ගැන මොකද හිතෙන්නේ ?
බැද්ද අද්දර කියන්නෙ සාපේක්ෂව වර්තමානයේ විවිධ නාළිකාවල විකාශනය වෙන ටෙලිනාට්‍ය අතරින් උඩින්ම තියන්න පුළුවන් විදිහෙ ලස්සන නිර්මාණයක්. සමන්ත කුමාර ගමගේ අයියගෙ පිටපත් රචනයත් එක්ක බුද්ධික ලොකුකැටිය අයියගෙ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ භූමිකා සංකලනය සාර්ථක නිරිමාණයක් විදිහට අද වෙද්දි ප්‍රේක්ෂකයෝ රසවිඳිනවා.
ටෙලි නාට්‍යය සමඟ එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොම ද ?
තිර රචක සමන්ත කුමාර ගමගේ අයියා හරහා තමයි ටෙලිනාට්‍යයත් සමඟ එකතු වෙන්න ලැබෙන්නේ. සමන්ත අයියව මම දන්නෙ මට වයස අවුරුදු 2 – 3 කාලෙ ඉඳලා. ඒ කාලේ ‘සමන්ත මාමා‘ දැන් සමන්ත අයිය වෙලා. ග්‍රාමීය පරිසරයත් එක්ක බද්ධ වුණු සමන්ත අයියගෙ රචනා ශෛලියට මම පෞද්ගලිකව කැමැතියි. ඉතින් සෑහෙන කාලෙන ඉඳන් ආසාවෙන් බලන් හිටිය ඔහුගේ රචනයක එන පොඩි චරිතයකට හරි පණ පොවන්න. ඔහු තමයි මාව අධ්‍යක්ෂක බුද්ධික ලොකුකැටිය අයියට හඳුන්වා දෙන්නේ. ඒ හරහා බුද්ධික අයියත් එක්ක ගොඩනැගුණු සම්බන්ධය තමයි අද වෙද්දි සිරිල් විදිහට බැද්ද අද්දර හරහා ප්‍රේක්ෂකයන් රසවිඳින්නෙ.
බැද්ද අද්දර ටෙලි නාට්‍යයේ ඔබේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොම ද ?
බලාපොරොත්තු නොවුණු විදිහට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ජනප්‍රිය රැල්ලට සාපේක්ෂව මේ වගේ නිර්මාණවලටත් ප්‍රේක්ෂක අවධානය යොමු වීම ගැන අවංකවම සතුටුයි. චරිතයට ලැබෙන ප්‍රතිචාර ගත්තොත්, නාට්‍යය පටන් ගත්ත කාලෙම ප්‍රේක්ෂක අවධානයක් මේ සිරිල් කියන චරිතයට ලැබුණෙ නැති තරම්. ටිකක් දුර යද්දි සුදු මහත්තයගෙ මැර වැඩ වලටයි, රාජගෙයි නෙලුම්ගෙයි ආදර කතාවට තුන්වැනි පාර්ශ්වයක් විදිහට මැදිහත් වීමත් එක්ක ඇත්තටම නාට්‍යය ඇතුළෙ සිරිල් කියන චරිතයට ලැබෙන ප්‍රතිචාර එන්න එන්නම වැඩි වුණා. චරිතයට පණ පොවන රංගන ශිල්පියාට නැතුව චරිතයට පමණක් ප්‍රේක්ෂකයො බණිනව කියන්නෙ රංගන ශිල්පියෙක් විදිහට මට සතුටු වෙන්න පුළුවන් කාරණාවක්. ඉතින් මම ඒ බැණුම් සතුටින් භාර ගන්නවා.
සිරිල්ගේ චරිතය ඔබට දැනෙන්නේ කොහොම ද ?
සිරිල් කියන චරිතය මේ නාට්‍යයේ මුල් ආකෘතිය අතුළෙ තිබුණු චරිතයක් නෙවෙයි. නාට්‍යයේ රූගත කිරීම් ආරම්භ වුණාට පසුව අධ්‍යක්ෂ සහ තිර රචක විසින් ගොඩනඟපු චරිතයක්.
මගේ සමාජ, දේශපාලන කියවීමත් එක්ක බලද්දි පහළ මධ්‍යම පාන්තික නූගත් තාරුණ්‍යය නියෝජනය කරන චරිතය තමයි සිරිල්. හාම්පුතා වෙනුවෙන් තමාගෙ තාරුණ්‍යය, හෘද සාක්ෂිය, තමාගෙ ආදරය වගේම තමාගෙ සමස්ත අනාගතයම කැප කරන විදිහෙ චරිතයක් විදිහට මට සිරිල්ව දකින්න පුළුවන්. කියන්න කනගාටුයි අදටත් එහෙම මිනිස්සු ඉන්නව මේ දේශපාලන තන්ත්‍රය ඇතුළෙ. ඉතින් චරිතයක් විදිහට සිරිල් විවිධ මානසික ස්ථර ඇතුළෙ දෝලනය වන සංකීර්ණ චරිතයක් විදිහට මම දකිනවා. ඇතැම් වෙලාවකට හාම්පුතාගෙ ගෝලයෙක්. වෙලාවකට බොළඳ ආදරවන්තයෙක්. වෙලාවකට ගමේ චණ්ඩියෙක්. වෙලාවකට හැඟීම්බර තරුණයෙක්. මේ සංකීර්ණතා එක්ක හරිම කැමැත්තෙන් මම සිරිල් වුණා.
අධ්‍යක්ෂවරයා ඇතුළු සෙසු රංගන ශිල්පීන්ගෙන් ඔබේ චරිතයට ලැබෙන සහයෝගය ගැනත් කියමු.
නාට්‍යයේ අධ්‍යක්ෂ බුද්ධික ලොකුකැටිය අයිය මේ චරිතය ගොඩනඟන්න ලොකු මැදිහත්වීමක් කළා. ඔහුගෙ අධ්‍යක්ෂ භූමිකාව ගැන කතා කළොත් හැම පොඩි චරිතයකට වගේම නිර්මාණය ඇතුළෙ පොඩි සිදුවීම්වලටත් අධ්‍යක්ෂවරයා විදිහට ලොකු මැදිහත්වීමක් කරනවා. ඒක ඇත්තටම රංගන ශිල්පීන් විදිහට අපිට පහසුවක්. ඒ වගේම මතක් කරන්න ඕනෙ සුදු මහත්තයව. චමීර ලියනගේ අයිය. සිරිල් කියන චරිතය ප්‍රේක්ෂකයො කොයි තරම් දුරට වැලඳ ගත්තද, ඒ සාර්ථකත්වයේ, ගෞරවයේ කොටස්කාරයෙක් තමයි චමීර ලියනගේ අයිය. ඒ වගේම මතක් කරන්න ඕනෙ මදාරා සෙව්වන්දිව, ශෙහාන් ලොකුකැටිය, මේධා ජයරත්න අපේ නන්දනී අක්කව. මේ අය තමයි දර්ශන තලයේදී සිරිල්ට ලොකු සහයෝගයක් වුණේ. ඒ වගේම බැද්ද අද්දර නාට්‍යයට රංගනයෙන් දායක වුණු සියලු ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ සහයෝගය නොමඳව ලැබුණා මට වගේම අනෙකුත් සියලු තරුණ රංගන ශිල්පීන්ට. ඒ හැමදේකම ප්‍රතිඵල තමයි බැද්ද අද්දර නාට්‍යය අද වන විට මෙතරම් ජනප්‍රසාදයකට පත් වීමට බලපාලා තියෙන්නෙ කියල මම විශ්වාස කරනවා.
ඔබ ඉදිරියේදී රගපෑමට කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවා ද ?
එහෙම විශේෂ චරිතයක් කියල නෑ. ප්‍රේක්ෂක රසවින්දනයට බලපෑමක් ඇති කරන්න පුළුවන් විදිහෙ ඕනෑම සංකීර්ණ චරිතයක් වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා. ලැබෙන චරිතය හාස්‍යෝත්පාදකද? රොමෑන්ටික්ද? සංවේදීද? බොළඳයිද? කියන කාරණාව මට එතරම් වැදගත් නෑ. ලැබෙන විවිධ චරිතවලින් ලබන අත්දැකීම් තමයි රංගන ශිල්පීන් විදිහට අපිව පෝෂණය කරන්නේ. ඉතින් රංගන ක්ෂේත්‍රය ඇතුළෙ නිසි අධ්‍යයනයකින් යුතුව ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා.
රංගන කටයුතු සාර්ථක කරගන්න පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු.
රංගන ජීවිතයට ඇත්තටම හයියක් වුණේ මගෙ පවුල තමයි. කවදාවත් මට මගෙ වැඩ කටයුතුවලට බාධාවක් ඇති වෙන විදිහෙ වචනයක්වත් කියන්නෙ නෑ. මම ඉතින් විනෝදයට බර කෙනෙක් නිසා ගෙදරින් එළියට පැන්නොත් අල්ලගන්න හරි අමාරුයි. මගෙ අයිය තමයි ඒ වෙලාවට මගෙන් පවුලට ඉටු වෙන්න ඕනෙ යුතුකම් කරන්නේ. අයිය මට ලොකු හයියක්. ඒ වගේම තමයි අම්මයි තාත්තයි දෙන්නම රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණයන් නිසාම හොඳ තේරුම් ගැනීමකින් අවබෝධයකින් මේ ක්ෂේත්‍රය ඇතුළෙ වැඩ කරන්න අවශ්‍ය අත්තිවාරම පොඩි කාලෙදිම මට ලැබුණා. අදටත් මගෙ රඟපෑම්වලට කාටත් කලින් ප්‍රතිචාර, ගුණ-දොස් ලැබෙන්නෙ මගෙ පවුලෙ අයගෙන්.
ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අලුත් වැඩ ගැනත් කියමු.
අලුත් ටෙලි නිර්මාණ කිහිපයක්ම පුංචි තිරය හරහා දැක බලා ගන්න ප්‍රේක්ෂකයාට අවස්ථාව උදා වෙයි. මේ අතරින් එස්. අයි. සමරක්කොඩි අයියගෙ ‘සෙල්ලක්කාරයෝ’ ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනි. ඒක වෙනස්ම විදිහෙ වැඩක් වගේම එස්. අයි. සමරක්කොඩි අයියගෙ කුලුඳුල් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. ඒ වගේම තවත් ටෙලි නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිල තියෙනවා. චිත්‍රපට, ටෙලිනාට්‍ය රචනය සහ අධ්‍යක්ෂණය ගැන මගෙ වැඩි නැඹුරුතාවක් තියෙනවා. බලමු ඉදිරියට. ඉගෙන ගත්තු දේවල් වලින් වැඩක් ගන්නත් එපැයි.