යුද හමුදාවෙන් ලැබූ පන්නරය රංගන ජීවිතයට ලොකු ශක්තියක් වුණා -ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

gossiplanka image 1
 

අද අපේ කතාබහට ලක්වන ඔහු රිදී තිරය, පුංචි තිරය මෙන්ම හඬකැවීම් ක්ෂේත්‍රය ද එකසේ ජයගත් දක්ෂ කලාකරුවෙකි. ‘ගුජුම්පියෝ’ චරිතය හරහා ප්‍රේක්ෂක හදවත් ගැඹුරින් ස්පර්ශ කළ ඔහු හොඳ වැඩේ, සිහින ගෙනෙන කුමාරියේ වැනි ටෙලිනාට්‍ය හරහාද ප්‍රේක්ෂකයාට බෙහෙවින් සමීප වීය. ඔහු නමින් ඉසුරු ලොකුහෙට්ටිආරච්චිය. මේ කතාබහ ඔහු සමඟිනි.


ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන චරිතය ගැන මුලින්ම කෙටි හඳුන්වාදීමක් කළොත්?


මගේ ගම මාතර, තංගල්ල. පාසල් කාලයේ ඉඳලම මම රංගනයට සම්බන්ධ වුණා. යුද හමුදාවට බැඳිලා ලුතිනන්වරයෙක් විදියටත් සේවය කළා. හමුදා සේවයෙන් පස්සේ විවිධ රැකියා කරන අතරතුර රංගනයටත් සම්බන්ධ වුණා. අද මම වෘත්තීය රංගන ශිල්පියෙක්. නිවේදකයෙක්. හඬකැවීම් ශිල්පියෙක් වගේම ගායකයෙක් විදියටත් කටයුතු කරනවා.


මේ දිනවල ඔබේ කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කොහොමද?


මේ දවස්වල සිනමාව සහ වේදිකාව එක්ක ටිකක් කාර්යබහුලයි. සූරිය සුළඟ සහ ඉරණම් කරණම් චිත්‍රපටවල වැඩත් අවසන් කළා. පුබුදු චතුරංග සහ ඉන්දික ෆර්ඩිනැන්ඩෝ අධ්‍යක්ෂණය කරන චිත්‍රපටවලටත් දායක වුණා. ඒ වගේම මිහිර සිරිතිලකගේ ‘කෝ කුක්කෝ‘ වේදිකා නාට්‍යයේ දර්ශන වාර 850ක් පමණ මේ වන විට කරලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ කලාකරුවන් එක්ක වැඩ කරන්න ලැබීම ලොකු අත්දැකීමක්. ඊට අමතරව “හවුස් ෆුල්” වැඩසටහන මෙහෙයවනවා වගේම ප්‍රියන්ත සෙනෙවිරත්න සමඟ බ්ලැක් කොමඩි එකකට සම්බන්ධ වුණා.


යුද හමුදා සේවය ඔබේ පෞද්ගලික සහ කලා ජීවිතයට බලපෑ අවස්ථා තියෙනවද?


ඇත්තටම හමුදා ජීවිතයෙන් පස්සේ මගේ ජීවිතයට ආපු කිසිම දෙයක් මම ලොකු අභියෝගයක් කියලා හිතන්නේ නැහැ. කලාව මට පවුලෙන් උරුම වුණ දෙයක් නෙවෙයි. රංගනයට පිවිසි මුල් කාලේ මට දෙබසක් කියන්න තියෙන චරිතයක් ලැබෙන්නත් අවුරුදු තුනක් විතර ගියා. ඒත් හමුදාවෙන් ලබපු පන්නරයත් එක්ක ඒ හැමදේටම ඉවසීමෙන් සාර්ථකව මුහුණ දෙන්න මට පුළුවන් වුණා.


ගුජුම්පියෝගේ චරිතයට හඬ කැවීමත් එක්ක ඔබ හඬකැවීම් ක්ෂේත්‍රයෙත් ගොඩක් ජනප්‍රිය වුණා. හඬකැවීම් ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කොහොමද?


හඬකැවීම කියන්නේ රංගන ශිල්පියෙක්ට හරිම වටිනා විෂයක්. වෙනත් කෙනෙක්ගේ හැඟීම් තමන්ගේ භාෂාවෙන් ප්‍රකාශ කරන එක හරි අමාරු කාර්යයක්. ගුජුම්පියෝ කියන්නේ ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැලඳගත් චරිතයක්. ඒ ගැන ගොඩක් සතුටුයි. කාර්යබහුලත්වයත් එක්ක මේ දිනවල නම් හඬකැවීම්වලට ලැබෙන අවස්ථා අඩුයි. ඒත් ලැබෙන හැම වෙලාවකම හඬකැවීම්වලට වගේම ගුවන්විදුලි නාට්‍යවලට සම්බන්ධ වෙනවා. ඒක හඬ වර්ධනය කරගන්න ලැබෙන ලොකු අවස්ථාවක්.


ඔබ රඟපෑ ටෙලි නාට්‍ය චරිත අතරින් වැඩිම ප්‍රතිචාර ලැබුණේ මොනවාටද?


හොඳ වැඩේ ටෙලි නාට්‍යයේ චරිතයට තරුණයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණා. ‘සිහින ගෙනෙන කුමාරියේ’ ජගත් වික්‍රමබාහුගේ චරිතයට දූවරු නාට්‍යයේ කොඩිකාරගේ චරිතයට සහ ගිනිඅවි සහ ගිනි කෙළි හි නාරාහේන්පිට පීටර්ගේ චරිතයට මම ගොඩක් කැමතියි වගේම ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ලැබුණා.


කලාවට පිවිසෙද්දී ගෙදරින් ලැබුණු සහයෝගය මොනවගේද?


පාසල් කාලේ යෞවන සම්මාන උලෙළ හරහා තමයි මම මුලින්ම පන්නරය ලැබුවේ. පසුව ප්‍රවීණ අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස් හරහා වෘත්තීය රංගන ශිල්පියෙක් විදිහට පිවිසීමේ මඟ විවර වුණා. මගේ අයියා ගයාන් ලොකුහෙට්ටිආරච්චිත් මට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම මම අනතුරකට ලක් වුණ වෙලාවේ මගේ අම්මා, තාත්තා මගේ ළඟින්ම හිටියා.


ඔබ ලබපු පන්නරයෙන් ක්ෂේත්‍රයට එකතු වන නවකයන්ට යමක් කියනවා නම්?


ඕනෑම කෙනෙක්ට විවිධ මාර්ගවලින් මේ ක්ෂේත්‍රයට එන්න පුළුවන්. ඒත් මෙතැන රැඳී ඉන්න නම් රංගනය කියන විෂය ඉගෙන ගන්නම ඕන. මේක දවසින් දවස අලුත් වෙන, ඉගෙනගෙන ඉවර කරන්න බැරි තරම් ගැඹුරු විෂයක්. ඉගෙන ගනිද්දී තමයි තේරෙන්නේ මේක කොච්චර අමාරු දෙයක්ද කියලා. ඒ නිසා මේ ක්ෂේත්‍රයට එන ඕනම කෙනෙකුට මං කියන්නේ මෙහි රැඳී ඉන්න නම් මේ විෂය හැදෑරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.


ඔබටත් කලාවේ අනාගත බලාපොරොත්තු ඇති?


ජීවිතයේ නම් ලොකු බලාපොරොත්තු නැහැ. රංගන ශිල්පියෙක් විදිහට ගත්තොත් මට දැනෙන චරිත කරන්න කැමතියි. වීරයා, දුෂ්ටයා, ආදරවන්තයා වගේ හැම චරිතයක්ම කරලා තියෙනවා. පැවිදි චරිතයක් හෝ මානසික ආබාධයක් තියෙන කෙනෙකුගේ වගේ වෙනස් චරිතයක් කරන්න ලැබෙනවා නම් මම ගොඩක් කැමතියි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post