ඉතාම කෙටි කලකින් පුංචි තිරය, රිදී තිරය මෙන්ම වේදිකාවද එකසේ ජයගත් සුධීක්ෂා සමාධි පෙරේරා මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇති රංගන ශිල්පිනියකි. ඒ මායාවී ටෙලි නිර්මාණයේ මංගේෂ්වරී මෙන්ම මේ දිනවල සාර්ථකව තිරගත වන සුර දෙටුවෝ සිනමාපටයේ සුවිශේෂී රංගනය හේතුවෙනි. මේ දිනවල ඇය කෝඩුකාරී සහ මුතුසාලේ ටෙලි නිර්මාණ ඔස්සේද ඔබ හමුවට එන්නීය. ආදරණීයම චරිත ඔස්සේ ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කළ ඇය සුර දෙටුවෝහි විලන් චරිතයකට පණ පොවමින් පළමුවරට රිදී තිරයේ පෙරළියක් කරමින් සිටින්නීය. පුංචි තිරයේ මංගේෂ්වරීට හාත්පසින්ම වෙනස් රිදී තිරයේ රශ්මි ගැන කතාකරන්නට ඇය අද අප හා එක්වූවාය.
සුධීක්ෂා සමාධි කියන්නෙ මේ දිනවල පුංචි තිරයේ හැමදාම දකින චරිතයක්. මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?
සුපුරුදු විදිහටම මායාවී ටෙලි නිර්මාණයේ වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව කෝඩුකාරී සහ මුතුසාලේ ටෙලි නිර්මාණ දෙකෙත් වැඩ කෙරෙනවා. කෝඩුකාරී සතියේ දිනවල සවස 5.55ට වගේම මුතුසාලේ සති අන්තයේ සවස 5.55ට දෙරණ නාළිකාවේ විකාශය වෙනවා. සතියේ දවස් හතේම ඒ වෙලාවට මාව දකින්න පුළුවන්. ඇත්තම කිව්වොත් දැන් දෙරණ නාළිකාවේ සවස 5.55 බෙල්ට් එක මගේ වෙලා. ඊට අමතරව සුර දෙටුවෝ සිනමාපටයත් මේ දිනවල ප්‍රදර්ශනය වෙනවා.
සුර දෙටුවෝත් මේ දිනවල සාර්ථකව තිරගත වෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඔව්. සුර දෙටුවෝ ගැන විශේෂයෙන්ම කතා කළ යුතුයි. එක එක කාලවල එක එක තේමාවන්ගෙන් විවිධාකාරයේ නිර්මාණ බිහිවෙනවා. ප්‍රධාන වශයෙන් කුඩා දරුවෙක් වටා ගෙතුණු මෙම සිනමාපටය පවුලේ සැමට එකට ඉඳන් නැරඹිය හැකි චිත්‍රපටයක් විදිහට මේ දිනවල බොහෝ ප්‍රතිචාර ලබනවා. එදා ජෙනරේෂන් එකට සූරිය අරණ, සමනල තටු වගේ සිනමා නිර්මාණ හැදුණට ගොඩක් කාලෙකින් මෙදා ජෙනරේෂන් එකට ඒ වගේ සිනමාපටයක් නිර්මාණය වෙලා තිබුණෙ නැහැ. ඒ නිසා සුර දෙටුවෝ අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂක මතකයේ රැඳෙන චිත්‍රපටයක් වේවි.
‘සුර දෙටුවෝ’ කාලීන පණිවුඩයක් සමාජගත කරන්න දරන උත්සාහක් කියල කිව්වොත්?
ඇත්තටම ඔව්. සෝෂල් මීඩියා පරිහරණය කරන්නේ කොහොමද? සමාජයේ මනුසත්කම නිර්මාණය වෙන්න ඕනෙ කොහොමද කියන එක ගැන තමයි සුර දෙටුවෝ ඔස්සේ කියන්න උත්සාහ කරන්නේ. ඒ වගේම සුර දෙටුවෝ කවුද? හොර දෙටුවෝ කවුද? කියල තෝරාබේරගෙන හඳුනාගන්නෙ කොහොමද කියන එක ගැනත් මෙහි කතාබහට ලක්වෙනවා. ලකාගෙයි සිකාගෙයි කුලුඳුල් සිනමා නිර්මාණය වුවත් එහි කුලුඳුල් බවක් දකින්න තිබුණෙම නැහැ. මීට කලින් ඔවුන් මේ වගේ නිර්මාණ යූටියුබ් නාළිකාවලට නිර්මාණ කරල තිබුණට ඔවුන් සිනමාවට සම්බන්ධ වුණේ පළමුවතාවට. මට ආරාධනා ලැබෙන්නේ සුනෙත් මාලිංග අයියාගෙන්. මේ වගේ නිර්මාණයකට දායක වෙන්න මමත් හරිම වාසනාවන්ත වුණා.
ඔබ විලන් කැරැක්ටර් එකකට දායක වෙන පළමු අවස්ථාව. ඒ අත්දැකීම කොහොමද?
ඔව්. පළමු වතාවට මං රශ්මී කියන බ්ලැක් කැරැක්ටර් එකට දායක වෙනවා. ඇත්තටම සීමා මායිම් ඇතුළෙ ඉඳගෙන චරිතය කළු ද සුදු ද කියලා හිත හිත ඉන්නවට වඩා ඉන් ඔබ්බට ගිහින් වෙනස්ම රංගනයක් ඉදිරිපත් කරන්න ලැබෙන අවස්ථාවක් නිසා මං ඒ චරිතය කැමැත්තෙන්ම භාර ගත්තා. පුංචි තිරයේ වගේම රිදී තිරයේත් චරිතාංග නිළියක් වෙන්නයි මට ඕන. ඒ නිසා මම වෙනස් වෙනස් අභියෝගාත්මක චරිත කරන්න කැමැතියි. මංගේෂ්වරී වගේම ප්‍රේක්ෂකයන් මේ වන විට රශ්මිවත් ආදරෙන් වැලඳගෙන තියෙනවා කියල හිතෙනවා. හොඳ ප්‍රතිචාර ලබනවා විතරක් නෙවෙයි, ඇතැම් සිනමාශාලා මේ වෙද්දි හවුස්ෆුල් ලේබලයෙන් දුවනවා. සමාජයට ආදර්ශයක් ලබාදෙන්න දායක වුණු තවත් චරිතයක් විදිහට රශ්මිව හඳුන්වලා දෙන්න පුළුවන්.
මංගේෂ්වරීත් දැන් දැන් සාමාන්‍ය ගැහැනියක ලෙස සමාජගත වෙන්න උත්සාහ කරනවා නේද?
ඔව්. ඔව්. මංගේෂ්වරී කියන්නේ පුද්ගලයන් වර්ගීකරණය කරද්දී සමාජය විසින්ම පැත්තකට දාල තිබුණු චරිතයක්. මහේෂ් රත්සර මද්දුමආරච්චි අයියා ඒ චරිතය ආදර්ශවත් විදිහට ලියලා තියෙනවා. බොහෝ දෙනෙක් මෙගා නාට්‍යවලට බණින්නෙත් කිසිම ආදර්ශයක් දෙන්නෙ නෑ. ගතයුතු කිසිවක් නෑ කියලනේ. මායාවී කියන්නේ ඒ මතයට අභියෝග කරන මෙගා නාට්‍යයක් කියලත් හඳුන්වන්න පුළුවන්. ප්‍රේක්ෂකයන්ට ලොකු රසාස්වාදයක් වගේම ලොකු ආදර්ශයක්, පණිවුඩයක් ලබාදෙනවා. අපි පැත්තකට දාල තියෙන චරිතවලත් ගතයුතු දෙයක් තියෙනවා කියන එක පැහැදිලිවම පෙන්වනවා. සැබෑ ජීවිතේ සියලු දේ තේරුම්ගත හැකි, හොඳ බුද්ධි මට්ටමක් තියෙන, රැකියාවක් කරන කෙනෙකුට වඩා එහා මට්ටමට ගිහින් මනසේ අඩු වර්ධනයක් තියෙන මේ වගේ කෙනෙකුගේ සිතුවිලි බොහෝවෙලාවට විහිළුවක්, තේරුමක් නැති දෙයක් කියලත් මිනිස්සු හිතනවා ඇති. නමුත් ඒ චරිත ඇතුළෙත් අනෙක් කෙනෙකු හා සාපේක්ෂව බැලුවොත් වෙනස්ම දැක්මක් තියෙනවා. අන්න ඒ ඇත්ත කතා කරන ටෙලි නාට්‍යක් මායාවී කියන්නේ. මංගේෂ්වරී තුළ ඉඳගෙනම පියවරෙන් පියවර සාමාන්‍ය ගැහැනියක විදිහට ජීවිතය ජයගන්න විදිහ චරිතයට කිසිම හානියක් නොකර හරි ලස්සනට ගලාගෙන යන්න සලස්වනවා. මහේෂ් අයියාට, සඳුන් අයියාට වගේම ලලිත් වසන්ත නිෂ්පාදකතුමාටත් විශේෂ ස්තුතියක් පිරිනමනවා. ඔහු තමයි මට ඒ චරිතය සඳහා ආරාධනා කරන්නේ. මායාවී ටීම් එකේම සපෝට් එකෙන් තමයි මට ඒ විදිහට මගේ හැකියාව එළියට ගන්න අවස්ථාව ලැබුණේ.
පවන්සිරිගේ ආදරය නිසා මැරෙන්න ගිය මංගේෂ්වරී සපුමල් නිසා අද මවු පදවියටත් සූදානම්. එය කොතරම් දුරට තාත්විකද කියල ඇහුවොත්?
පවන්සිරිට ආදරේ කළා වුණත් හරිම සාධාරණ විදිහට ජීවිතේ ගලාගෙන යද්දි කොතරම් බුද්ධියෙන් අඩු කෙනෙක් වුණත් ජීවිතේ අවස්ථාවන් හරිහැටි තේරුම් ගත්තොත් ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියන එක මේකෙන් හරිම සූක්ෂ්ම විදිහට පෙන්නලා දෙනවා. බුද්ධියෙන් අඩු වුණා කියලා ඇය එකතැන නතර වෙන්න අවශ්‍ය නැහැ කියන එක වගේම ඇයටත් සාමාන්‍ය ගැහැනියක ලෙසින් ජීවිතයට මුහුණ දෙන්න හැකියාව, අයිතිය තියෙනවා කියන එකත් පැහැදිලි වෙනවා. මංගේෂ්වරී දිහා බලාගෙන ඉන්න. ඉදිරියටත් ඔබ නොසිතන බොහෝ දේවල් සිදුවේවි.
කෝඩුකාරී කියන්නෙ ඊටත් වෙනස් ටෙලි නිර්මාණයක්. ඒ අත්දැකීම කොහොමද?
කෝඩුකාරී තිළිණ බොරලැස්සගේ නිර්මාණයක්. ඔහුත් එක්ක මං කලින් රාජිනී එකේ වැඩ කරලා තියෙනවා. කෝඩුකාරී එකේ මම සුදීස්නා. තමන්ව අතෑරලා ආව තමන්ගේ පෙම්වතාව හොයාගෙන ඔස්ට්‍රේලියාවේ ඉඳන් එන තරුණියක්. මංගේෂ්වරීත් එක්ක බලද්දි අහසට පොළොව වගේ. ඇත්තටම මට අවශ්‍ය වුණේ එක පැත්තකින් මංගේෂ්වරී වගේ චරිතයක් යද්දි අනෙක් පැත්තෙන් ඊට හාත්පසින්ම වෙනස් සුදීස්නා වගේ චරිතයක් කරන්න. ඒ නිසා මං හරිම කැමැත්තෙන්ම ඒ චරිතය භාර ගත්තා. මංගේෂ්වරී කියන්නෙ බියුටි එකක් ඇත්තෙම නැතුව ලස්සන, සුන්දරත්වය කියන එක සම්පූර්ණයෙන්ම අත්හැරලා රඟපාන චරිතයක්. කෝඩුකාරී ඊට හාත්පසින්ම වෙනස්. කතා විලාසය, හැසිරීම, ඇවිදීම පවා වෙනස්. එකම කාලයේ අන්ත දෙකක චරිත දෙකක්.
එතකොට මුතුසාලේ මොන වගේද?
ජී. නන්දසේනගේ මුතුසාලේ ටෙලි නිර්මාණයේ සුබාත්මා කියන්නේ ගමක හැදුණු ගැහැනු ළමයෙක්. ඇය ගුරුවරියක්. නගරයට ගිහිල්ලා හොස්ටල් එකක නැවතිලා ඉගෙන ගැනීමත් එක්ක ඇය ගොඩක් සෝෂල් වෙනවා. ඇය ගුරුවරියක් විදිහට පත්වීම ලබන්නේ උපන් ගමටම වුණත් ඇයගේ නාගරික ස්වභාවයත් එක්ක ගමෙන් ඇයට සුහද පිළිගැනීමක් ලැබෙන්නෙ නැහැ. ඒ පීඩනය හමුවේවත් ඇය වෙනස් නොවන චරිතයක්. මොන බලපෑම ආවත් වෙනස් නොවන එකම රාමුවක ජීවත් වන චරිතයක්. එකිනෙකට වෙනස් චරිත තුනක් ඔස්සේ මේ දවස්වල මාව පුංචි තිරයේ දකින්න පුළුවන්.
ඉදිරියේ දී ඔබට දකින්න ලැබෙන නිර්මාණ මොනවද?
දැනට විකාශය වන ටෙලි නිර්මාණ තුනට අමතරව තවත් ටෙලි නිර්මාණ තුනකට සම්බන්ධ වෙලා ඉන්නවා. එක ටෙලි නිර්මාණයක් 2022 අපි ෂූට් කරපු නිර්මාණයක ඉතිරිය මේ දිනවල රූගත වෙනවා. ඒක එරංග තිලකරත්නගේ. එහි මං වෛද්‍ය ශිෂ්‍යාවක්. ඊට අමතරව සුරංග අල්විස්ගේ HEAD OR TAIL ටෙලි නිර්මාණයේ වැඩකටයුතුත් කරගෙන යනවා. ඒක ආත්ම දෙකක කතාවක්. ප්‍රේක්ෂකයාටත් වෙනස්ම අත්දැකීමක් වේවි. ඒකෙ මං මියගිය ආත්මයක්. මේක්අප් එක දාලා කණ්ණාඩියෙන් දැකපු සමහර අවස්ථාවල මගේ හිතත් ගැස්සුණු අවස්ථා තියෙනවා. ඒක ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් වේවි කියල හිතනවා.
සුධීක්ෂා සමාධි කියන නම මේ දිනවල සම්මාන උලෙළවලිනුත් නිතර අහන්න ලැබෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඔව්. සම්මාන උලෙළවලට ආරාධනා ලැබෙනවා. නිර්දේශ වීම් තියෙනවා. සම්මානත් ලැබෙනවා. ඒ දේවලුත් වෙනවා. ඒ නිසා මේ කාලය ගොඩක් සුබයි කියලා හිතෙනවා. සම්මානවලටත් එහා ගිය ප්‍රේක්ෂක අගැයීම තමයි මං සියයට සීයක්ම සජීවීව ලබන දේ. කොහෙ ගියත් මංගේෂ්වරීට ආදරේ ලැබෙනවා. සපුමල් බැන්දට අදටත් පවන්සිරියි මංගේෂ්වරියි එකට දකින්න තමයි ප්‍රේක්ෂකයන් ගොඩක්ම කැමති. තනි තනිව දකිද්දි ලැබෙන ආදරයට වඩා අපි දෙන්න එකට ඉද්දි ලැබෙන ආදරය දෙතුන් ගුණයකින් වැඩියි කියලත් දැනෙනවා. ඔවුන් කැමති අපි දෙන්න එකට ඉන්නවා දකින්න. අනෙක් චරිතවලටත් ආදරය ලැබෙනවා. මේ ප්‍රතිචාර මේ ආදරේ මට පුදුමාකාර සතුටක්. ඒ ආදරේට මාත් ආදරෙයි වගේම ගරු කරනවා.