ඩිලූෂි ‘සිහින වර්ෂා’ එක්ක පුංචි තිරයට ඇවිත්?
ඔව්, ‘සිහින වර්ෂා’ කියන්නෙ සමීර අයියගෙ දෙවැනි ඩ්‍රාමා එක. කතාව ලියන්නෙත්, නිෂ්පාදනය කරන්නෙත් සිතාරා අක්කා. මියුසික් කරන්නෙ ජේ. ආර්. අයියා. ඉතිං හොඳ සුසංයෝගයක් වගේම මට කලින් වැඩකරන්න අවස්ථාව ලැබුණ පිරිසක් එක්කම මේ වතාවෙත් වැඩකරන්න ලැබිල තියෙනව.
‘සිහින වර්ෂා’, ඔබට දැනෙන්නෙ කොහොමද?
මම හිතන්නෙ මේක මට ලැබුණ ඉතාමත් හොඳ අවස්ථාවක් කියල. මොකද මෙතෙක් කරපු හැම චරිතයකටම වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි මට දැන් ලැබිල තියෙන්නෙ. ඒ වගේම මට හදාගන්න වගේම ඉගෙන ගන්න දේවල් තියෙනව. ‘සිහින වර්ෂා’ කියන්නෙ ඒ හැමදේමත් එක්ක කරන්න තියෙන වැඩක්.
‘අනූ’ට සාධාරණයක් කරනව කියල දැනෙනවද?
මුලින්ම ඩ්‍රාමා එක බලද්දි මට දැණුනෙ මම තවත් චරිතයට අනුගත වෙන්න ඕන කියල. ඉතිං ඒ අදහසත් එක්ක මම සෑහීමකට පත්වෙන්නෙ නැහැ මම උපරිමය කරනව කියල. අපේ කණ්ඩායමේ සහයෝගයත් එක්ක ඉදිරියේදී අඩුපාඩු හදාගන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරනව.
වෙනස්ම පරිසරයක අත්දැකීමක්?
ඔව්, අපි නිතර දකින කොළඹ නාගරික පරිසරය නෙමෙයි, වෙරළබඩ පරිසරය කියන්නෙ. ඒකෙ අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙනව. ඒ පරිසරය, ඒ සමාජය හැම කෙනෙක්ම අත්විඳින්න ඕන කියලයි මම හිතන්නෙ.
ඒ මිනිස්සු හරි එකමුතුයි. නමුත් ඔවුන් රණ්ඩුසරුවල් වෙන එක පවා වෙනස්ම අත්දැකීමක්. සාමාන්‍ය විදිහට කෑගහනව නෙමෙයි, මන්නය අරගෙන තමයි පටන් ගන්නෙ.
වෙනස් වැඩකටයුතු මොනවද?
මේ වෙනකොට නාට්‍ය දෙකක රූගතකිරීම් පටන් අරගෙන තියෙනව. ඒ වගේම මගේ උසස් අධ්‍යාපන වැඩකටයුතුත් කරගෙන යනව.
ක්‍ෂේත්‍රයට ආවෙ හැදෑරීමක් එක්කද?
ඇත්තටම මම රංගනය පැත්තෙන් හැදෑරීමක් කරල ක්‍ෂේත්‍රයට ආපු කෙනෙක් නෙමෙයි. නමුත් මේ වනවිට වේදිකා නාට්‍ය ගැන ඉගෙනගන්න පටන් අරගෙන තියෙනව. ඒ වගේම චරිත වෙනුවෙන් මට තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව. ඒ වෙනුවෙන් පුළුවන් හැමදේම මම කරනව.
උපාධිය අවසන් වුණාට පස්සෙ ඩිලූෂිගෙ වෘත්තියේ වෙනසක් වෙයිද?
ඉගෙනගන්නෙ මට තියෙන ආසාවට. මොකද මම විශ්වාස කරනව කෙනකුට මැරෙනතුරුත් ඉගෙනගන්න දේවල් තියෙනව කියල. අද වන විට රංගනය තමයි මගේ මූලිකම වෘත්තිය.ඊට අමතරව නිරූපණය වගේම ඉන්ෆ්ලුවෙන්සින් කරනව. ඉදිරියේදී ව්‍යාපාරික ක්‍ෂේත්‍රයකට යන්න පුළුවන් වුණොත් ඒ ගැනත් සලකා බලනව.
ඩිලූෂි දිගටම රඟපාන එකක් නැද්ද?
රඟපෑම වෘත්තියක් විදිහට කරනව නම් අපිට වෙනත් මූල්‍යමය ශක්තියක් තියෙන්න ඕන. එහෙම නැති වුණොත් තමන්ට සුදුසු නිර්මාණ තෝරාගන්න බැරි වෙනව. ඒ ස්ථාවරත්වය හදාගන්න ඕන කියන දේ මම මුල ඉඳන්ම තේරුම්ගත් දෙයක්. එහෙම නොවුණොත් හැමදේකටම කතාකරන කාලෙදි අපිට කාලා බීලා ඉන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණ කාලෙදි රටම දන්න කලාකරුවෙක් වුණත් ගෙදර කන්න බොන්නවත් නැතිවෙයි.