හැමෝම කියන්නේ බෝරිං නැතුව බලන්න පුළුවන් හොඳ බයිස්කෝප් එකක් කියලා -ලක්මාල් වීරසිරි සහ ශාන් අරෝෂ

gossiplanka image 2
 

ලක්මාල් වීරසිරි සහ ශාන් අරෝෂ කියන්නේ මෙරට ඉතාම ජනප්‍රිය වුණු ලකයි සිකයි යූටියුබ් නාළිකාවේ හිමිකරුවන්. සමාජ මාධ්‍යයෙන් ඔබ්බට ගිය ලක්මාල් වීරසිරි තම කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය සුර දෙටුවෝ නමින් පසුගියදා තිරගතවීම ආරම්භ කළා. ඒ ගැනයි අද අපේ කතාබහ.


කොහොමද ලකා සුර දෙටුවෝ සිනමාපටයට ලැබෙන ප්‍රතිචාර?


ඉතාම හොඳයි. හැමෝම කියන්නේ බෝරිං නැතුව බලන්න පුළුවන් හොඳ බයිස්කෝප් එකක් කියලා. ලැබෙන අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර විඳිමින් ඉන්න කාලයක් මේක.


සිනමාව කියන්නේ ඔබේ සිහිනයක් සැබෑ වීමක්ද?


ඔව්. වීඩියෝ කන්ටෙන් කරන අය විදිහට අපිට මේ ක්ෂේත්‍රයේ යා හැකි ඉහළම තැන තමයි සිනමාව‍. ඒ ආසාව මටත් ඒ විදිහටම තිබුණා. ඒකට සෑහෙන කාලයක් සිහින මැවුවා. අද වෙද්දී සුර දෙටුවෝ හරහා ඒ සිහිනය සැබෑ වෙලා තියෙනවා.


සුර දෙටුවෝ කියන්නේ පවුලේ සැමට නැරඹිය හැකි සිනමාපටයක්ද?


ලකයි සිකයි යූටියුබ් චැනල් එක බලන ප්‍රේක්ෂකයන් අපේ නිර්මාණ බලන්නෙම පවුල් පිටින්. අපි නිර්මාණ කරන්නෙත් පවුලේ සැමට එකට බලන්න හැකි විදිහට. ඒ නිසා සිනමාවට ආව කියලා ඒක වෙනස් වෙන්නෙ නෑ. මේක බය නැතුව පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන්.


සුර දෙටුවෝ කාගේ අදහසක්ද?


කතාව සහ තිර රචනය සුනෙත් මාලිංග ලොකුහේවා, ප්‍රියනාත් විදානපතිරණ සහ මම.


සුර දෙටුවෝ හි රංගන දායකත්වය ගැනත් මතක් කරමු?


මම, ශාන් අරෝෂ, නෙතිනි වීරසිරි, දිල්හානි ඒකනායක, සනත් ගුණතිලක, අජිත් වීරසිංහ, දර්ශන් තවරාජා, සුහන්දි වෝසදි, ශාලිකා නදීශානි, සුදීක්ෂා සමාධි, ගීත්මා බණ්ඩාර, සෙනිති වීරසිරි, මෙතිනි වීරසිරි, ධනංජය සිරිවර්ධන, මනේජ් සංජය, දිනේෂ් තරංග, කනිෂ්ක අතුකෝරළ, මිහිත ජයකොඩි සහ වර්නි ෆඩිනැන්ඩෝ රංගනයෙන් දායක වෙනවා.


මේක ලක්මාල්ගේ පවුලේ නිර්මාණයක් කිවුවොත්?


මෙහෙමයි ලකයි සිකයි යූටියුබ් චැනල් එකට නිර්මාණ කළත් කාන්තා චරිතයට මගේ බිරිය ශාලිකා නදීශානි සුදුසු නම් මම ඒ සඳහා ඇයව යොදා ගන්නවා. දරුවන් සුදුසු නම් ඔවුනුත් යොදා ගන්නවා. එතනදි වෙන්නේ ඔවුන් සුදුසු නිසා යොදා ගැනීමක්. ඒ වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, නවකයන් දක්ෂයින් නම් ඒ සියලු දෙනාම සම්බන්ධ කරගන්නවා. සුර දෙටුවෝහි චරිතවලට ඔවුන් ගැන හිතේ තියාගෙනමයි අපි තිරපිටපත ලිවුවේ. පිටපත ගැන කිවුවම ඒ අය බොහොම කැමත්තෙන් භාර ගත්තා.


චූටි දූටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද?


ඇත්තෙන්ම ඔව්. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතුවෙත් නැහැ මගේ චූටි දුව මේ තරම් දක්ෂයි කියලා. ඇය ඒක හොඳට කරපු බව මං ෂූට් එකේදිත් දැක්කා. අද පුළුල් තිරේ දකිද්දි හරිම ආඩම්බරයි.


ඔබට ඉන්න අතිවිශාල යූටියුබ් ඕඩියන්ස් එක සිනමාශාලා වෙත ගෙන්න ගන්න පුළුවන් වෙයි ද?


අපේ උත්සාහයත් ඒකම තමයි. යූටියුබ් එකේ මේ වෙද්දී ලක්ෂ 15කට වැඩි පිරිසක් ඉන්නවා. ෆේස් බුක් එක ගත්තොත් මිලියනයකට ආසන්නයි. අතිබහුතරයක් සිනමාශාලා වෙත ගෙන්න ගන්න පුළුවන් වුණොත් එය සමස්ත සිනමා කර්මාන්තය වෙනුවෙන්ම කරන දෙයක් වෙනවා. අපිට ලැබෙන කමෙන්ට් එක්ක සුබ ලකුණක් තියාගන්න පුළුවන්.


මෙතනින් එහාට නිර්මාණ ගැන හිතලා තියෙනවද?


මේ වැඩේ දිහා බලද්දි මට ලොකු විශ්වාසයක් තියෙනවා හොඳ දෙයක් කරලා තියෙනවා කියලා. නමුත් ප්‍රේක්ෂකයන් ඒක කොයි විදිහට ද වැලඳ ගනීද කියන එක දිහා තමයි මේ කාලේ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නේ. ඒකත් එක්ක තමයි තීරණය කරන්නේ ඉදිරියටත් අපි සිනමා නිර්මාණ කරනවද නැද්ද කියන එක.


මෙහි නිෂ්පාදනයට දායක වෙන්නෙත් ඔබේ රසිකයෙක් නේද?


ඔව්. සුර දෙටුවෝ නිෂ්පාදනයට සහය වෙන්නේ සුදේෂ් මුතුනවගොන්න. ඇත්තම කීවුවොත් ඔහු අපේ ලකයි සිකයි හොඳ රසිකයෙක්. ජීවත් වෙන්නේ කැනඩාවේ. මුලින්ම ඔහු අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කැනඩාවේ ලකයි සිකයි ලයිව් ඉන් කොන්සර්ට් එකක් කරන්න. ඒ කතා බහ අතරේ ටික කාලයක් යද්දී මම නිකමට වගේ සුදේශ් අයියගෙන් ඇහුවා මෙහෙම චිත්‍රපටයක් කරන්න ඉන්නවා කැමතිද නිෂ්පාදනය භාරගන්න කියලා. ඔහු දෙපාරක් හිතන්නේ නැතුව වැඩේට කැමැති වුණා. ඔහු අපි කෙරෙහි තබපු විශ්වාසය ඒ විදිහටම රකින්න අපිටත් පුළුවන් වුණා කියල හිතනවා.


ලකා සිකා කියන්නේ එකටම යන නම් දෙකක්. ලකා උත්තර දෙද්දි පැත්තකට වෙලා හිටපු සිකාට ජීවය දෙන ශාන් අරෝෂ එක්කත් කතා නොකළොත් අඩුවක් වන නිසා අවසානයේ අපි ඔහුත් අපේ කතාබහට සම්බන්ධ කරගත්තා.


මේ වෙද්දි සිනමාවටත් සම්බන්ධ වෙලා ඉන්න ශාන් කොහොමද සිකා වුණේ කියල විතරක් කියමුකෝ?


ලොකු අම්මගේ පුතාගේ යූටියුබ් වැඩේට ශාන් එකතු වෙන්නෙත් ටික කාලයකට පසුව, අද වෙද්දී ලකා අයියා නිසාම මල්ලිට සිනමා නළුවෙක් වෙන්නත් පුළුවන් වෙලා, ඒ ගැන මොකද හිතෙන්නේ


ලක්මාල් කියන්නේ මගේ ලොකු අම්මගේ පුතා. මුලින්ම මං යූටියුබ් වැඩේට එන්න හිතලා තිබුණෙත් නැහැ. අහම්බෙන් වගේ තමයි ලොකු අයියා කතා කරලා මේ ලකයි සිකයි වැඩේට සම්බන්ධ වුණේ. ආව දවසේ ඉඳන් කැපවීමෙන් වැඩ කළා. අද සිනමාවටත් සම්බන්ධ වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. මේක තමයි අපේ හීනය

gossiplanka image 1
Previous Post Next Post