අනූපමා කියන්නේ අම්මත් නැතිව පොඩි කාලේ ඉඳන්ම තාත්තගේ ඇසුරේ හුරතලේට හැදෙන ගැහැනු ළමයෙක් -අංජලී වත්සලා

gossiplanka image 2
 නිරූපණ ශිල්පිනියක් ලෙස කලාවට පිවිසි ඇය මේ වන විට පුංචි තිරය මෙන්ම රිදී තිරයද ජයගෙන සිටින්නීය. 2023 හිරු අවුරුදු කුමරිය වීමත් සමඟින් රංගනයට පිවිසි ඇය ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ කෝලම් කුට්ටම ටෙලි නිර්මාණයෙන් කුලුඳුල් රංගන අත්දැකීම ලැබුවාය. එහි වත්සලා ද සිකුරු ඇවිත්හි අංජලී ද වූ ඇය සැබැවින්ම අංජලී වත්සලා ජයසිංහ වූවාය. මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන රුවන් කුඩලිගමගේ KNOCK OUT ටෙලි නිර්මාණයේ අනූපමා ලෙසින් ඔබ හමුවට එන ඇය අප සමඟ කතාබහට එක්වූවාය.


මේ දිනවල ඔබ KNOCK OUT ටෙලි නිර්මාණයේ අනූපමා. ඒ ගැන මොකද හිතෙන්නේ?


ඒක මට අලුත්ම අත්දැකීමක් වුණා. අනූපමා කියන්නේ අම්මත් නැතිව පොඩි කාලේ ඉඳන්ම තාත්තගේ ඇසුරේ හුරතලේට හැදෙන ගැහැනු ළමයෙක්. ඇයට අශාන් නමින් පෙම්වතෙක් ඉන්නවා. ඔය අතරේ අහම්බෙන් ඇයට ෂෝන් කියන තරුණයාව හමුවෙනවා. මේ තුන්දෙනාගේ කතාව තමයි ගලායන්නේ. තවම විකාශය වෙලා තියෙන්නෙ කොටස් කිහිපයක් වුණාට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේක ෆිල්ම් ආකෘතියකට කරපු වෙනස් වැඩක්.


අනූපමා කියන්නේ ටෙනිස් ක්‍රීඩිකාවක්?


ඔව්. අනූපමා කියන්නේ ටෙනිස් ප්ලේයර් කෙනෙක්. පාසල් යන කාලෙ මං ටේබල් ටෙනිස් කරල තිබුණට ටෙනිස් ක්‍රීඩාව මට අලුත් අත්දැකීමක් වගේම අභියෝගයක් වුණා. එතනදි රුවන් අයියාත් එක්ක කතා කරලා ටෙනිස් ප්‍රැක්ටිස් සෙෂන් කිහිපයක් දාගෙන ප්‍රැක්ටිස් වෙලාම තමයි චරිතය කරන්න පටන් ගත්තේ. මගේ ප්‍රතිවාදියා වුණේ ටෙනිස් ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවක්. එයාගේ වේගෙටම මටත් ප්ලේ කරන්න වුණ එක තමයි ලොකුම අභියෝගය වුණේ.


අංජලී ඉදිරියේදී දකින්න ලැබෙන්නේ මොන වගෙ නිර්මාණවලින්ද?


කරපු ටෙලි නිර්මාණ දෙකක් ඉදිරියේදී විකාශනය වෙන්න තියෙනවා. ඒ වගේම මගේ කුලුඳුල් සිනමා සිත්තම ගැනත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.


ඔබේ කුලුඳුල් සිනමා අත්දැකීම ගැන කතා කරනවා නම්?


උදයකාන්ත වර්ණසූරිය කියන්නේ ක්ෂේත්‍රයේ ගොඩක් ජනප්‍රිය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ මේඝ වර්ෂා සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයට ආරාධනා ලැබෙනවා කියන්නෙම මට හීනයක් වගේ. ඒක මගේ වාසනාව. දමිත් විජේතුංග සහ චතුර රාජපක්ෂ අයියලා මාත් එක්ක ප්‍රධාන චරිතවලින් එකතු වෙනවා. මං තාම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දෙකක් දෙකහමාරක් වගේ. මේක මගේ පළමුවැනි සිනමා අත්දැකීම. ඒ නිසා මට මේ හැම අත්දැකීමක්ම අලුත්. ඔවුන් මේ ක්ෂේත්‍රයේ ගොඩක් අත්දැකීම් ලබලා තියෙනවා. ඔවුන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා.


උදයකාන්ත වර්ණසූරිය කියන්නේ සිනමාවේ දැවැන්තයෙක්. ඒ වගේ කෙනෙකුගෙන් සිනමාවේ පළමු අත්දැකීම ලබාගන්න හැකිවීම ගැන මොකද හිතෙන්නේ?


උදයකාන්ත සර්ගේ වැඩක් කිව්වම ඇත්තටම මුලින්ම මට බය හිතුණා. මොකද ඔහු ක්ෂේත්‍රෙය් නම ගිය ප්‍රවීණයෙක්. අත්දැකීම් බහුල කෙනෙක්. මේ වෙද්දි ඔහු චිත්‍රපට තිහකට ආසන්න ප්‍රමාණයක් කරල තියෙනවා. මුලින්ම ඒ වගේ කෙනෙක් එක්ක වැඩකරන්න බය හිතුනා. පළමුවැනි දවස සෙට් එකට ගියේ හරිම බයෙන්. දවස දෙක යද්දි ටික ටික බය නැතුව ගියා. පස්සේ පස්සේ ගානක් නැතුව ගියා.


මේඝ වර්ෂාහි වර්ෂා කියන්නෙත් ක්‍රීඩිකාවක්. අංජලීට ක්‍රීඩාව එක්කත් ලොකු බැඳීමක් තියෙනවා වගේ නේද?


ඒක නම් ඇත්ත. මේ දවස්වල විකාශය වෙන KNOCK OUT ටෙලි නිර්මාණයේත් මං ටෙනිස් ක්‍රීඩිකාවක්. ඒ වගේම විකාශය නිමවුණු ලවර්ස් ස්ලිප් ටෙලි නිර්මාණයේ වුණත් හරිම ක්‍රියාශීලී කඳු නඟින තරුණියක්. ඒ වගේම මගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන මේඝ වර්ෂාහි වර්ෂා කියන්නෙත් බාස්කට් බෝල් ක්‍රීඩිකාවක්. එතැනදි ලොකු ප්‍රැක්ටිස් සෙෂන් එකකට නම් යන්න බැරි වුණා. ඒකත් මට අභියෝගයක් නොවුණා කියන්න බෑ. එතනදි මට අධ්‍යක්ෂවරයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.


ඔබට බොහෝ අවස්ථාවල ගැටෙන්න ලැබෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පී චතුරංග කොඩිතුවක්කු එක්ක. ඔහුගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


ඔව්. අපි යාළුවො විදිහට ගොඩක් කල් ඉඳන් දන්නවා. මගේ මුල්ම මියුසික් වීඩියෝ එක කරන්නෙත් චතුරංග අයියත් එක්ක. ඊට පස්සේ අපි ජුරාලියා ටෙලි නිර්මාණයේදීත් හමුවුණා. මේ දිනවල විකාශය වන KNOCK OUT ටෙලි නිර්මාණයේ දී නැවත හමුවෙනවා. ඔහුත් එක්ක වැඩකරන එක හරිම ලේසියි. ඔහුට අත්දැකීම් බහුල නිසා ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒක මට ලොකු සපෝට් එකක්.


මෙවර රයිගම් ටෙලීස් නිර්දේශ නාම අතරට ඔබේ නමත් එකතු වෙලා තියෙනවා. ඒ ගැනත් කතා කරමු?


ඔව්. ලවර්ස් ස්ලිප් ටෙලි නිර්මාණයේ ආන්‍යාගේ චරිතයට නැඟී එන නිළිය විදිහට නොමිනේට් වෙලා තියෙනවා. ආන්‍යා කියන්නේ හරිම සංකීර්ණ කැරැක්ටර් එකක්. ඒ වගේම ප්‍රවීණයන් රැසක් එක්ක කටයුතු කරන්න ලැබුණු අවස්ථාවක්. ඒක ගිය අවුරුද්දෙ මුල ෂූට් කළේ. ඒ වෙද්දි මටත් ලොකුවට අත්දැකීම් තිබුණෙ නැහැ. ප්‍රවීණයන් ගොඩක් එක්ක ගැටෙන්න තිබුණු නිසා ටිකක් බයෙන් හිටියේ. නමුත් සෙට් එකට ගියහමයි තේරුණේ ඔවුන් කොයිතරම් හොඳයිද කියලා. ඔවුන්ගෙන් ගුරුහරුකම් ගොඩක් ලැබුණා. විශේෂයෙන්ම ශ්‍යාම් ප්‍රනාන්දු අයියා සිහිපත් කළ යුතුමයි. මගේ සීන්ස් නැතත් ඔහු මට කියනවා ඇවිත් අනෙක් අය දිහා බලන් ඉන්න කියලා. මං ඒව බලලා ලොකු දැනුමක් එකතු කරගත්තා. ඇත්තටම ලවර්ස් ස්ලිප් මට රංගන පාසලක් වගේ වුණා. අධ්‍යක්ෂණය රනිල් කුලසිංහගේ. ඔහුගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. එහි තිර රචනය රසික සුරවීර. එය මගේ රංගන ජීවිතේ සුවිශේෂී කඩයිමක් කිව්වත් හරි.

gossiplanka image 1
Previous Post Next Post