ගීතය හීයක් වගේ වේගෙන් ඇවිත් මල් පෙත්තක් වගේ හදවත් සිපගන්න ඕනෑ තරින්ද ගුණවර්ධන

gossiplanka image 2
 


වචන එක්ක හරඹ කරන තරින්ද ගුණවර්ධන නම් නව පරපුරේ ගේය පද රචකයා අපට විශේෂ වන්නේ ඔහුගේ රචනා ශෛලිය නිසාය. ඔහු රචනා කළ ගීත එකිනෙකට වෙනස්ය. ඒ සුවිශේෂත්වය නිසාම අද අපි ඔහු අපේ කතාබහට එක්කර ගත්තෙමු.


“අපේ රටේ හොඳම ගායක ගායිකාවන්ට ගීත ලියන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨයන්ගෙන් ලැබෙන සහාය, අගය කිරීම මට මගේ නිර්මාණ කාර්ය ඉදිරියට ගෙන යන්න ලොකු ශක්තියක්. මගේ ගමන දෙස ආපසු හැරිලා බලන විට මට සතුටක් දැනෙනවා.“


මෙහෙම කියන්නේ තරින්ද ගුණවර්ධන. පසුගියදා රාජ්‍ය සංගීත උලෙළේදී ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අගැයීමට ලක් වූ සිඤ්ඤෝරින ගීතයේ රචකයා වුණේ තරින්ද.


“මම ඉගෙන ගත්තේ කොළඹ අශෝක විද්‍යාලයේ. පාසලේ සංගීත විෂය ඉගැන්වූ ලෙස්ලි විජේවික්‍රම, ධම්මිකා කරුණාරත්න ගුරුවරු තමයි මට මේ ගමන එන්න මඟ පෙන්නුවේ. දිරිමත් කළේ. දර්ශන වික්‍රමසිංහත් මගේ පාසලේමයි. ඉස්සර පාසලේ අවුරුදු උත්සවවල අපි පුළුවන් විදිහට ගී පද ලියනවා. දර්ශන වික්‍රමතුංග තමයි සංගීතවත් කරන්නේ. ‘උදාර‘ සංගීත වැඩසටහනට සහභාගි වෙන්න ලෙස්ලි සර් අපට අවස්ථාව ලබා දුන්නා.“ පාසලෙන් ලැබූ සහාය ගැන තරින්ද පවසන්නේ එලෙසිනි. නීතිඥයකු ලෙසද කලක් කටයුතු කළ තරින්ද පසු කලෙක විදෙස් ගතවන්නේය. 2021 වසරේදී “හිතේ හැංගි හැංගි“ ගීතය රචනා කරමින් ඔහු යළිත් ලියන්නට පටන් ගන්නේය.


‘හිතේ හැංගි හැංගි‘ ගීතය ගායනා කරන්නේ ආචාර්ය වික්ටර් රත්නායක. සංගීතය දර්ශන වික්‍රමතුංගගේ. ඒ ගීතයෙන් ලොකු රසික පිරිසක් මා වටා එක් වෙනවා. ඒ ගැන මට සතුටුයි. ඉන් පසුව මම ඉන්දික ලියනගේ වෙනුවෙන් ‘වැස්ස නුඹ වැහැපන්‘ ගීතය ලියනවා. එය සංගීතවත් කරන්නෙත් දර්ශන වික්‍රමතුංග. මේ ගීත දෙක මගේ නිර්මාණ ජීවිතයේ සන්ධිස්ථාන බවට පත්වෙමින් බොහෝ දෙනෙක් මා ගැන දැන හඳුනා ගන්නවා. ඉන් ටික කලකට පස්සේ විරහ ගීතයෙන් ඈත්වෙන්න හිතලා ‘මගේ කොමල පැටවුන්ගේ අප්පච්චි‘ ගීතය රචනා කරනවා. එයත් සංගීතවත් කරන්නේ දර්ශන වික්‍රමතුංග.


හෙමින් හෙමින් ගමනක් යන තරින්ද අර්ථවත් ගීත ලියන්නට හැම විටම උත්සාහ දරන්නෙකි. ගෙවුණු කාල සීමාවේදී නවක නිර්මාණකරුවකුට යා හැකි උපරිම දුරක් යන්නට ඔහුට හැකි විය. ඒ, ප්‍රවීණ ගායන ශිල්පින්ට තමන්ගේ ගී පද රචනා ගායනා කරන්නට දීමෙනි. ඔහුගේ ගමන ඇරඹෙන්නේ වික්ටර් රත්නායකගෙනි. ප්‍රවීණ ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලකට තම නිර්මාණ දායකත්වය ලබා දීමට හැකි වීම ගැන ඔහුට ඇත්තේ සතුටකි.


නවකයකුට බොහෝවිට නොලැබෙන අවස්ථා මට ලැබුණා. වික්ටර් රත්නායක, ඩෙස්මන්ද සිල්වා, මරියසෙල් ගුණතිලක, ලක්ෂ්මන් හේවාවිතාරණ, නිලක්ෂි හැලපිටිය, ඉන්දික ලියනගේ සිට ‘රමියා ‘ දක්වා ගීත ලියන්න ලැබුණා. අද දවසේ ගීත රචකයා හොඳ කියවීමක් ඇතුව යාවත්කාලීන විය යුතුයි කියලයි මට හිතෙන්නේ. අලුත් ගීත රචකයන් තමන්ගේ නිර්මාණය ගැන වගේම අනෙක් පද රචකයන්ගේ නිර්මාණ, ලෝක නිර්මාණ ගැන චිත්‍රපට සංගීතය ගැන හැදෑරීමක් කළ යුතුයි. ඒ වගේම පද රචකයන් සමතික්‍රමණය කරනවා මිස අතික්‍රමණය නොකළ යුතුයි. එදා හිටිය ගී පද රචකයෝ වගේ නොවෙයි අද ඉන්න ඇතැම් අය. ඔවුන්ට භාෂාව ගැන පුළුල් දැනුමක් නෑ. පැරණි සාහිත්‍ය ගැන දන්නේ නැහැ. පොතපත කියවන්නේ නැහැ. ඔවුන්ට දැනෙන්නේ රිද්මය පමණයි. අපි පෙර පරම්පරාවේ නිර්මාණ අධ්‍යයනය කළ යුතුයි. 1970 සිට 1990 දක්වා කාලය තුළ නිර්මාණය වුණ ගීත අරන් බැලුවොත් භාෂාව, ගීත රචනා කලාව පිළිබඳ බොහෝ දේ අවබෝධ කරගන්න පුළුවන්.


මම ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. ඒ වුණත් මම මගේ මවු රටේ ඉන්න නිර්මාණකරුවන්, සංගීත ශිල්පීන් ගායක ගායිකාවන් සමඟ සමීප සබඳතා පවත්වනවා. නිර්මාණයක් කරන්න යෑමේදී ජ්‍යෙෂ්ඨයන්ගෙන් වගේම අනෙක් හැම දෙනෙකුගෙන්ම ලැබෙන සහාය මට ගොඩක් වටිනවා.“


ගීත රචනා කිරීමෙන් නව පරපුරේ ශිල්පීන් අතර නමක් දිනා සිටින තරින්ද ගීතය මෙසේ විය යුතු යැයි කියන්නේ තම සිතට එකඟවමය. “ගීතය පිළිබඳ මට කියැවීමක් තියෙනවා. ගීතය කියන්නේ හීයක් වගේ වේගෙන් ඇවිල්ල මල් පෙත්තක් වගේ හදවත් සිප ගන්න ඕන. මෙන්න මේ හදවත සිප ගන්නා තැන ගීත රචකයා වගේම සංගීතඥයාත් ගායකයාත් හඳුනගන්න ඕන. පසුගිය කාලේ ගීත කීයක් නම් සමාජ මාධ්‍යවල හිට් වුණාද ඒත් අද කෝ ඒවා. මීට අවුරුදු පනහකට ඉස්සෙල්ලා ගැයුණු ගීත කියක් නම් අදටත් රියැලිටි වේදිකාවල ගැයෙනවද? මෙන්න මේකට තමයි කියන්නේ හීයක් වගේ වේගයෙන් ඇවිත් මල් පෙත්තක් වගේ හදවත සිප ගන්නවා කියලා. ඒ වගේම ගීතය කියන මාධ්‍යයත් වෙනස් වෙන්න ඕන කියන තැන මම ඉන්නේ. අද ගීතයට රූප රචනය කියන්නෙත් අත්‍යවශ්‍යම අංගයක් වෙලා. පදමාලා ගත්තොත් කාලෙන් කාලෙට සිංහල ගීතයේ පද මාලා වෙනස් වෙලා තියෙනවා. කරුණාරත්න අබේසේකරගේ පද මාලා, හැඩය නොවෙයි ධර්මසිරි ගමගේ ගේ නිර්මාණවල හැඩය. අජන්තා රණසිංහගේ පදමාලා හැඩය ඊටත් වෙනස්. බන්දුල නානායක්කාරවසම් හෝ වසන්ත කුමාර කොබවක ඊටත් වඩා වෙනස්. ඒ කුලකයේම කෙනෙක් වන කුලරත්න ආරියවංශගේ පදමාලා හැඩය තවත් එකක්. පසු කාලීන ගී පද රචකයකු වූ කැළුම් ශ්‍රීමාල්ගේ හැඩය වෙනස්ම එකක්. ඉතින් ඉදිරියට යනවා කියන්නේ මේ වෙනස්වීම හොඳ සිහියෙන් යුතුව සමතික්‍රමණය කිරීමයි.

gossiplanka image 1
Previous Post Next Post