සමහරු මට කතා කරන්නෙ ‘ගරු නැන්දම්මා’ කියලා -මාලී ජයවීරගේ

gossiplanka image 2
 


වසර 33කට පෙර ‘දඬුබස්නාමානයේ’ රණාට පෙම් බැඳි කුසුමාවතී අදටත් රූපවාහිනී ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳී තිබේ. එදා කුසුමාවතීට ආදරය කළ ප්‍රේක්ෂකයා මේ දිනවල ‘ඉස්කෝලේ’ සහ ‘ඇවිත් යන්න’ ටෙලි නාට්‍යවල ආදරණීය ආච්චි අම්මාට ආදරය කරන බව පෙනී ගොස් ඇත. එදා මෙදා මතකයන් සමඟ සිය කලා නිර්මාණ දිවිය ගැන කතා කරන්නට මාලී ජයවීරගේ රසඳුන හා එක්වූවාය.


මේ දිනවල විකාශය වන ‘ඉස්කෝලේ’ ආච්චි අම්මාට හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද?


ඇත්තෙන්ම මම එළියට ගියාම ගොඩක් අය මාව දැක්කම ‘ගරු නැන්දම්මා‘ කියලා කතා කරනවා . එතකොට තේරෙනවා ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ආච්චි මිනිසුන් අතරට ගිහින් කියලා.


කොහොමද චරිතයට ආරාධනා ලැබුණේ?


මෙහි අධ්‍යක්ෂ දිලුක ප්‍රසාද් සමඟ මම කලින් වැඩ කරලා තියෙනවා . ඔහු තමයි මට ඉස්කෝලෙට ආරාධනා කළේ . ඔහු හොඳ අධ්‍යක්ෂවරයෙක් වගේම හොඳ මනුස්සයෙක්. මම ඒ ආරාධනාව පිළිගත්තා. ආරම්භයේ සිට මේ දක්වා මම මෙහි රඟපානවා. දැන් අධ්‍යක්ෂණය කරන්නේ සාලින්ද රත්නායක.


‘ඉස්කෝලේ’ රඟපෑමේදී කුඩා ළමයි එක්ක ලබන රංගන අත්දැකීම් මොන වගේද?


එයාලා හරිම ආදරණීයයි .එහි මගේ දරුවන්ට අමතරව රඟපාන අනිත් දරුවනුත් මාත් එක්ක හරි ආදරයෙන් වැඩ කටයුතු කරනවා . ෂූටින් ගිය ගමන් උදෙන්ම කරන්නේ මාව බදාගෙන ඉඹින එක තමයි. මම ඒ ආදරයට හරිම ආදරෙයි.


‘ඔබ එන්න’ ටෙලියේත් ඔබ ආච්චි අම්මා කෙනෙක් නේද?


චාමර ජයවීරගේ ‘ඔබ එන්න’ ටෙලි නාට්‍යයට මට කතා කළේ වසන්ත . එහිත් ආච්චිගේ චරිතයට තමයි මට කතා කළේ . ඒකත් හරිම ආදරණීය චරිතයක් . තමන්ගේ දරුවාගේ දරුවාට පණ වගේ ආදරේ කරන ආච්චි අම්මා කෙනෙක් . ඒ චරිතයත් මම හරිම ආදරයෙන් රඟපාන්නේ .


ඒ චරිතයටත් හොඳ ප්‍රතිචාර ඇති?


ඔව්, ඒ ආච්චිටත් හුඟක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මිනිස්සු ඇයට හරිම ආදරෙයි. පුතාව ආදරයෙන් බලා ගන්න එකට මිනිස්සුත් හරිම සතුටක් ලබනවා . රමිත්ගේ ආච්චි අම්මා කියලයි හැමෝම කතා කරන්නේ.


එදා පුංචි තිරයේ ‘රණා’ගේ පෙම්වතිය කුසුමාවතීට තිබූ ප්‍රේක්ෂක ආදරය අදටත් වෙනස්වී නැහැ කීවොත්?


ඒකනම් ඇත්ත. මම ඒ කුසුමාවතී චරිතය කළේ මීට අවුරුදු 33 කට විතර කලින්. එතකොට මම තරුණ වයසේ . නමුත් අදටත් යූටියුබ්වලින් ‘දඬුබස්නාමානය’ නරඹන ප්‍රේක්ෂකයෝ ඉන්නවා . ඔවුන් මාව මුණ ගැසුණාම ඒ ගැන කතා කරනවා. වේදිකා නාට්‍ය අරන් විදෙස් රටකට ගියවිටත් හුඟාක් අය ටෙලි නාට්‍යය ගැනත් කුසුමාවතී ගැනත් කතා කරනවා. පැරණි ටෙලි නාට්‍ය දැක්කම ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. ඒ නිර්මාණ මිනිස්සු හරිම ආසාවෙන් අදටත් නරඹනවා. ඒවා දීර්ඝ ටෙලි නාට්‍යයත් නෙවෙයිනේ. කොටස් 17,18, 20 වගේනේ තිබ්බේ. මේ ළඟකදිත් ‘දඬුබස්නාමානය’ නැරඹූ ප්‍රේක්ෂකයෙක් මට ටීවී එකෙන් පින්තූර ගහලා ඒවා තිබුණා.


පසුගියදා චිත්‍රපටයකට දායක වුණා නේද ?


ඔව්, මම විශාල චිත්‍රපට සංඛ්‍යාවක රඟපා නැහැ. ඒත් මට ගැළපෙන චරිතයකට කතා කළොත්, මම ඒ චරිතයට කැමති වුණොත් ගොඩාක් ආසාවෙන් වැඩ කරනවා. වී. සිවදාසන් අධ්‍යක්ෂවරයාගේ පුතා වන රයේ සිවදාසන් අමෙරිකාවේ ඉඳලා ඇවිත් පසුගියදා චිත්‍රපටයක් කළා. එහි මවගේ චරිතයට මට ආරාධනා කළා. ඒ චරිතය මා ඉතා ආසාවෙන් රඟපෑවේ. මේ වසර ඇතුළත එය තිරගත වේවි.


කාලයක් සිනමාව ගැන ප්‍රේක්ෂක උනන්දුව අඩුවුණා වගේ දැනුණා. දැන් මෙරට සිනමාවේ යම් ප්‍රබෝධයක් තිබෙනවා නේද ?


ඔව්, ඒක හැමෝටම සතුටක්. පසුගිය කාලයේ තිරගත වූ චිත්‍රපට රැසක්ම ඉතා සාර්ථක වුණා . ආදායම් අතිනුත් සාර්ථකයි. එහෙම තත්ත්වයක් තුළ චිත්‍රපට කර්මාන්තය ගැන ප්‍රේක්ෂක බලාපොරොත්තු සුබවාදි වෙනවා.


වේදිකා නාට්‍ය කිහිපයක් එක්ක මේ දිනවල රට වටේම යනවා නේද?


මගේ කලා දිවියේ ප්‍රධාන තැන දෙන්නේ වේදිකා නාට්‍යවලටයි. මගේ ආසාවත් ආදරයත් වේදිකාවටයි . දැන් අවුරුදු 12ක් තිස්සේ එක දිගටම ‘ලෝරන්ස්ගේ මනමාලි’ ත් එක්ක රට වටා ගිහින්, ලෝකෙ වටේත් ගිහින් ඇවිත් ඉන්නේ. ඊට අමතරව ජයනාත් බණ්ඩාරගේ ‘රෝමියෝ ජුලියට්’ සමඟත් ලංකාවේ හා පිටරටවලත් සංචාරය කළා. මංගල සේනානායකගේ ‘ගුරු ගීතය’ සමඟත් වැඩ කරමින් යනවා.


රඟපෑ චරිතවලින් වඩාත් කැමැතිම චරිතය මොකක්ද?


ඇත්තම කිව්වොත් මම මෙතෙක් රඟපෑ චරිත අතරින් ආසම චරිතය වෙන්නේ මගේ පළවැනි වේදිකා නාට්‍යය වූ ‘පුන්තිලා’ හි ‘ලයිනා’ නම් මෙහෙකාරියගේ චරිතයටයි. ‘දූදරුවෝ’හි ‘එමිල්ඩා’ත්, ‘දඬුබස්නාමානයේ’ ‘කුසුමාවතී’ත්, ‘චලෝ’හි ‘සීතා ටීචර්’ත් අමතක නොවන මා කැමැතිම චරිතයි.


නිර්මාණයක් භාරගනිද්දි සලකා බලන්නේ මොනවාද?


මුලින්ම නම් බලන්නේ ඒක මට ගැළපෙනවාද, කරන්න පුළුවන්ද කියන එකයි . එසේම නිර්මාණයේ අධ්‍යක්ෂවරයාවත් මට වටිනවා . ඒ ගැනත් බොහෝ දුරට සිතනවා .


අද තරුණ , නවක පිරිස සමඟ වැඩ කරන ඔබට ඔවුන් ගැන සිතෙන්නේ මොනවාද?


මම රඟපාන්නේ වැඩිහිටි චරිත නිසා අලුත්, නවක පරපුර එක්ක තමයි වැඩි හරියක්ම වැඩ කරන්න ලැබෙන්නේ. අලුත් පරම්පරාවේ කා එක්කවත් මම ප්‍රශ්නයක් ඇති කරගෙන නැහැ . ඔවුන් හැමදාම මට ආදරයෙන්, ගෞරවයෙන් සලකා තිබෙනවා . මමත් ඒ අයට ඒ ආදරය, ගෞරවය ලබාදෙනවා . එක එක්කෙනාගේ හැසිරීම් අනුව එක එක වෙනස්කම් සිද්ධ වෙනවා . හුඟාක් අය කැපකිරීම් කරන්න ටිකක් කම්මැළියි . අදිමදි කිරීමක් කරනවා. එනිසා වේදිකාවේ රැඳී සිටීමට දක්ෂ දරුවන්ට බැරිවෙනවා . ඒක හරිම අපරාධයක් . ඉක්මනින් ජනප්‍රිය වෙන්න, ඉක්මනින් සල්ලි හොයන්න යෑමෙන් හුඟාක් තරුණ ජීවිත විනාශ වුණු අවස්ථා තිබෙනවා . ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්, අපරාධයක්. ඉවසීමෙන් යුතුව මේ ක්ෂේත්‍රය තුළ වැඩ කළ හැකි නම් ඔහු හෝ ඇයට වරදින්නේ නැහැ .


ඉදිරි නිර්මාණ ගැන යම් ඉඟියක් දුන්නොත් ?


මීට අවුරුදු ගණනාවකට කලින් කළ ඩී. කීරගලආරච්චිගේ ‘උරුවිසි’ වේදිකා නාට්‍යය නැවත වතාවක් නව නිෂ්පාදනයක් ලෙස එළිදක්වන්න සූදානම් වෙනවා . ඒ වෙනුවෙන් මේ දිනවල පුහුණුවීම් වෙනවා.ඉතා ඉක්මනින් එය වේදිකාගත වේවි.

Previous Post Next Post