මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන විසේකාරි ටෙලි නාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට එන අෂාන් හේවාවසම් ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා ගත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙකි. ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘දඩස්’ චිත්‍රපටය හරහා ද ඔහු ප්‍රේක්ෂකයන් අතරට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින ඔහු අද අප හා කතාබහට එක්වීය.
මේ දිනවල ජනප්‍රිය විසේකාරි ටෙලි නාට්‍යය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මේ වෙද්දි ලංකාවේ ඉහළම ප්‍රතිචාර ලබන ජයප්‍රියම ටෙලි නාට්‍යයක් විදිහට විසේකාරි ඉහළින්ම තියෙනවා. මේ වෙලාවේ මේ වගේ නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන හරිම සතුටුයි. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
සමාජ මාධ්‍යවල විකාශය වන මගේ රඟපෑම් සහිත වීඩියෝ දැකලා එහි සහය අධ්‍යක්ෂක රංග මුණසිංහ අයියා තමයි මට ඒ චරිතයට ආරාධනා කළේ.
විසේකාරි ටෙලි නාට්‍යයේ ඔබේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ලැබෙන ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. හොඳ කියන පිරිසට වඩා බණින පිරිස තමයි ගොඩක්ම වැඩි. කොහොමත් බණින්න හිතෙන වැඩ කරන චරිතයක් නිසා ලැබෙන black feedback වැඩියි.
අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?
ඇත්තටම මේ වෙනකොට මට හමුවුණු හොඳම, නිහතමානිම අධ්‍යක්ෂවරයෙක් තමා විසේකාරි එකේ අධ්‍යක්ෂක. එතුමාවත් ඒ වගේම විසේකාරි crew එකත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. මොකද හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබෙනවා. අමිල අයියා, චානුක නිතරම මට අඩුපාඩු හදාගන්න ඕන තැන් කියලා දෙනවා. ඒ වගේම සචින් මල්ලිත් ලොකු සහයෝගයක් දෙනවා.
රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවාද?
ඔව්. හාමුදුරු කෙනෙකුගේ චරිතයක් කරන්න ආසාවක් තියෙනවා.
රංගන කටයුතු සාර්ථක කර ගන්න පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
මං විවාහකයි. බිරිඳ ආයුර්වේද වෛද්‍යවරියක්. පොඩි දුවෙක් ඉන්නවා. මට ව්‍යාපාරයකුත් තියෙනවා. රඟපෑමට වගේම ව්‍යාපාරික කටයුතුවලටත් බිරියගෙන් ලොකු සහයක් ලැබෙනවා. ඒ සහයෝගය නැත්නම් කිසි දෙයක් කරගන්න ලැබෙන්නේ නෑ කිව්වොත් හරි.
බොහෝදුරට ඔබට ලැබෙන්නේ දුෂ්ටයාගේ චරිතය රඟපාන්න. හේතුවක් තියේද?
ලංකාවේ නම ගිය ප්‍රතිවීර නළුවෙක් එහෙමත් නැත්නම් නම ගිය විලන් කෙනෙක් වෙන්න මගේ ලොකු ආසාවක් තියෙනවා. ඒක තමා මගේ හීනය. ගොඩක් අය ආස නෑ කළු, දුෂ්ට චරිත කරන්න. ඒත් මං ආසයි. මගේ ඇඟේම ඒ හැකියාව තියෙනවා කියලා හිතනවා.
පහුගියදා ඔබට සම්මානයකුත් ලැබුණා නේද?
ඔව්. Raena creation සම්මාන උලෙළේ නවක නැඟී එන නළුවාට හිමි සම්මානය ලැබුණා. මම තාම මේ ක්ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් නෑ. ආපු කෙටි කාලය තුළ නවකයෙක් හැටියට සම්මානයක් හිමි වීම ගැන ඇත්තටම සතුටුයි.
ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?
නිරෝශන් ඉලේපෙරුමගේ අලුත් නාට්‍යකට කතා කළා. ඒක මේ අවුරුද්දේ පටන් ගනියි. කරපු නාට්‍ය තුනක් තියෙනවා. මගේ පළවැනි චිත්‍රපටය චාමර රාජපක්ෂගේ ‘දඩස්‘ෆිල්ම් එකත් මේ අවුරුද්දේ එන්න තියෙනවා. ඩබින් ඔක්කොම ඉවරයි. ඒ වගේම මියුසික් වීඩියෝ කිහිපයකම වැඩකටයුතු කරගෙන යනවා.
අශාන් හේවාවසම්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මොකක් ද කියන්න තියෙන්නේ ?
මුලින්ම කියන්න ඕනේ දුෂ්ට චරිත රඟපෑවට ඇත්තටම මම එහෙම නෑ කියලා. මාව ආශ්‍රය කරන අය ඒක දන්නවා. මට යාළුවෝ ගොඩක් ඉන්නවා. මගේ වටේ ඉන්න පිරිස දවසින් දවස වැඩි වෙනවා. ඒ හැමෝටම මං ආදරෙයි.