දොරකඩ දෙවොල ටෙලි නාට්‍ය නරඹන ප්‍රේක්ෂක ඔබට එහි සිටින “චණ්ඩි මැණිකේ” නම් අමතක විය නොහැකිය. “ඉරගිනි මද්දහනේ” අහිංසක දැරියකගේ චරිතයෙන් රංගනයට අවතීර්ණ වූ ඇය නමින් නිල් නෙතු සෞන්දර්යා එදිරිසිංහයි. මනා රංග ප්‍රතිභාවක් පෙන්වමින්, තම පියාගේ නොමඳ ආශීර්වාදයත් සමඟ කලා ලොවේ දිගු ගමනක් යෑමට පෙරුම් පුරන ඇය සමඟ කළ කතාබහයි මේ.
සෞන්දර්යා කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල නම් අධ්‍යාපන කටයුතුත් එක්ක තමයි ජීවිතේ ගෙවෙන්නේ. මට වයස අවුරුදු 13 යි. නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ අට වසරේ ඉගෙනගන්නේ. පහුගිය කාලේ දොරකඩ දෙවොල ටෙලි නාට්‍යයේ රූගත කිරීම් එක්ක කාර්යබහුල වුණා. මම හරි ආසාවෙන් ඒ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. ඒක මගේ තාත්තා ලලිත් රෝහිත එදිරිසිංහගේ අධ්‍යක්ෂණයක්.
සෞන්දර්යා රංගනයට එන්නෙ කොහොමද?
මම මුලින්ම ඉරගිනි මද්දහන ටෙලි නාට්‍යයේ සමන්තාගේ දුවගේ චරිතය රඟපෑවා. ඒක තමයි මගේ පළමුවැනි රංගන අත්දැකීම. කොරෝනා කාලේ කොවිඩ් එන්නත්කරණය වෙනුවෙන් හදපු දැන්වීමක උමා අසෙනි නැන්දා එක්ක රඟපෑවා. සිරස ටීවී එකේ සමනළ සිරස වැඩසටහනේ ළමා නිවේදිකාවක් විදිහටත් අවුරුදු ගාණක් වැඩ කළා. මට ලස්සනට සින්දු කියන්නත් පුළුවන්, හඬ කවන්නත් පුළුවන්.
දොරකඩ දෙවොල මැණිකේ ගැන කියනවා නම්?
දොරකඩ දෙවොල ටෙලි නාට්‍යයේ ඩාවිත්ගේ දඩබ්බරම දුව මැණිකේගේ චරිතයට මම දායක වෙනවා. තාත්තා මාව මේ චරිතයට තෝර ගත්තේ මම එයාගේ දුව වීම නිසා නෙවෙයි. පුංචි කාලෙ ඉඳන්ම මගේ හැකියාව එයා දැකලා තිබුණා. මේක ටිකක් පිරිමි ළමයකුගේ ස්වරූපයට බර චරිතයක්. ඉස්කෝලේ යන්නේ නැතුව කට්ටි පනින, අක්කලා නංගිලාට ගහන දඩබ්බර චරිතයක්. චරිතය කරනවට අමතරව මම නාට්‍යයේ දෙවෙනි සහාය අධ්‍යක්ෂ විදිහටත් වැඩ කළා. අනෙක් ශිල්පීන්ට මම දෙබස් දුන්නා, කට්ටියව ලෑස්ති කළා. අනෙක් සහාය අධ්‍යක්ෂ මාමලා එක්කමයි මමත් වැඩ කළේ. ?
හරිම ලස්සන ලොකේෂන් එකක් නේද?
ඔව්. මහව, යාපහුව, ගල්ගමුව කියන ප්‍රදේශවල තමයි ෂූට් කළේ. තද අව්ව එහේට. ඒත් මම නම් අව්වේ ඉන්න ආසයි. ඒ වගේම ගෙදරදි කන කෑමවලට වඩා ටිකක් වෙනස් කෑම එහෙදි කන්නත් ලැබුණා. අපේ තාත්තගේ ගම නිකවැරටිය නිසා ගමේ පරිසරය අපිට නුපුරුදු නෑ. ඉස්කෝලේ නිවාඩු කාලේට අපි හැමෝම නිකවැරටියට යනවා. ගමේ භාෂාව, අව්ව ඒ නිසා අපිට පුරුදුයි. මම ගසුත් නඟිනවා. මගේ නංගිත් මේ නාට්‍යයේ රඟපානවා. ඒ නිසා අපි දෙන්නට පාළුවක්, තනිකමක්, බයක් දැනුණේ නෑ. අනික තාත්තාත් හිටියනේ.
මැණිකෙගේ චරිතය සාර්ථක කරගන්න අනෙක් ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය ගැනත් කියමු?
මම නාට්‍ය කණ්ඩායමේ හිටපු නැන්දලා, මාමලා, අයියලා, අක්කලා හැමෝටම ගොඩක් ආදරෙයි. උමා අසෙනි නැන්දා, දසුන් මාමා තමයි නාට්‍යයේ මගේ අම්මටයි, අප්පච්චිටයි හිටියේ. ඒ දෙන්නා මට ගොඩක් උදවු කළා. රඟපාන හැටි කියලා දුන්නා. ඇත්තටම අම්මයි, තාත්තයි වගේ මට දැනුණා. දසුන් මාමා හැමදාම අපිට ටොෆි, චොක්ලට් මල්ලක්ම ගෙනත් දෙනවා. අපි ඉතින් එළි වෙනකම් ඒවා කනවා. ඉතුරු වුණොත් පහුවදාටත් කනවා. සම්පත් ජයවීර මාමාත් මතක් කරන්න ඕන. මට සම්පත් මාමා එක්ක රණ්ඩු කරගන්න තිබුණා. එයා මට ගහනවා. මාත් ගහනවා ඉතින්. දුමී අක්කත් මට ලොකු සහයක් දුන්නා. නාට්‍යයේ සම්පූර්ණ රූගත කීරීම් ඉවර වෙලා ගෙදර යන දවසේ මට ඒ හැමෝම දාලා එන්න බැරි තරම් දුකක් දැනුණා. බුද්ධික මංගල මාමා තමයි ටෙලි නාට්‍යය කැමරා කළේ. බුද්ධික මාමා, අමිල මාමා වගේම අපිට කෑම හදලා දුන්න තරංග මාමවත් මතක් කරන්න ඕන.
රඟපානකොට සිද්ධ වුණු අමතක නොවන සිදුවීම් එහෙමත් තියෙනවද සෞන්දර්යා?
මම කරන්නේ දඩබ්බර චරිතයක් නිසා මගේ අම්මට ඉන්න උමා නැන්දා නිතර මට ගුටි දෙනවා. කෝටුවෙන් ගහනවා, අතින් කම්මුලටත් ගහනවා. ඒ සීන්වලට ගහනකොට මට ඉතින් රිදෙනවා. ඒත් කාගෙන ඉන්නවා. එහෙම ඉඳලා මටත් වෙලාව ආවම මාත් ගහනවා ඉතින්. මගේ ලොකු අක්කට, යාළුවට එහෙමත් මම ගැහුවා ඒ සීන්වලට. සසංකටත් මම වැටෙන්න ගහලා තියෙනවා. නාට්‍යයට එහෙම අපි රණ්ඩු වුණාට ඇත්ත ජීවිතේදී අපි හොඳ යාළුවෝ.
සෞන්දර්යාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කියලත් අපිට ආරංචියි?
ඔව්. මම චූටි කාලේ ඉඳලා චිත්‍ර අඳිනවා. චිත්‍ර 3D කරන්න මම ගොඩක් දක්ෂයි. අම්මයි තාත්තයි හරි සතුටුයි මගේ ඒ දක්ෂකමට.
සෞන්දර්යාගේ රඟපෑමට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රේක්ෂකයෝ මඟතොටේදී හම්බුණාම මාව අගය කරනවා. මේ මැණිකේ නේද කියලා අහනවා. මගේ රංගනයට ෆේස්බුක් එකෙන් ලැබෙන ප්‍රතිචාර අම්මගෙයි තාත්තාගෙයි ෆෝන්වලින් මමත් බලනවා. හරිම සතුටුයි මට.
ඉස්සරහටත් රඟපාන්න ආසද?
ඔව්. ඒත් තාත්තා කියලා තියෙන්නේ අධ්‍යාපන කටයුතු හරියට කරගෙන විභාගෙන් හොඳට ලකුණු ගත්තොත් තමයි රඟපාන්න දෙන්නෙ කියලා. ඒ නිසා මේ දවස්වල මම ගොඩක් මහන්සි වෙලා පාඩම් කරනවා. තාත්තා ඉස්සරහට අලුත් නාට්‍යයක් කරන්න බලාගෙන ඉන්නේ. ඒ නාට්‍යයට මාව ගනීද දන්නේ නෑ. විභාගේ ලකුණු අඩු වුණොත් ඉතින් රඟපාන්න ලැබෙන්නෑ. මට තවත් වෙළෙඳ දැන්වීමකට, ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් තාත්තාගේ වැඩි කැමැත්තක් නෑ. ඉගෙන ගන්න එක හරියට කළොත් ඉදිරියට තාත්තා අවසර දෙයි.
අනාගත බලාපොරොත්තු මොනවද?
ඔලිවියා කියලා මම ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් ලියලා තියෙනවා. ඒක අධ්‍යක්ෂණය කරන එක තමයි මගේ ලොකුම හීනේ. තාත්තා මට ඒකට උදව් කරයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. හොඳ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න මම ගොඩක් ආසයි. රඟපාන එකත් නතර කරන්නෙ නෑ. ඒ වගේම විද්‍යාඥයෙක් වෙන්නත් කැමතියි.