මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කළ "කැලෑ හඳ" චිත්‍රපටයේ ජෝන් ජයපාල ඔහුය. නුදුරේදීම කැලෑ හඳ චිත්‍රපටය නැරඹීමේ හැකියාව ලැඛෙනු ඇත. මේ ජෝන් ගැනත්, තමන් ගැනත්, රවීන් කනිෂ්ක කියූ කතාවයි.
"කැලෑ හඳ" ප්‍රධාන චරිතය රඟපාන්නට ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ...?
මම සිනමාවට මුලින්ම අඩිය තියන්නෙත් සුනිල් සර් (සුනිල් ආරියරත්න) නිසයි. ඒ "ක්ෂිර සාගරය කැලඹිණ " සිනමාපටය හරහායි. ඒ චිත්‍රපටියේ මගේ චරිතය මම හරිම ආසාවෙන් කළා. මෙතෙක් කල් මගෙන් හඳුනාගෙන නොතිබුණු,මගේ වෙනස් පැතිකඩක් ඔහු මගෙන් දැක්කා. බොහෝ දෙනාට බොහෝ දේවල් හිතන්න මේ අවස්ථාවක් වුණා. ඒ අවස්ථාව මගේ ජීවිතය හැරවුමක් උණා. චිත්‍රපට පසුබිම් ගායනයට මට අවස්ථාව දුන්නෙත් සුනිල් සර්මයි. ඒ "කදිර දිව්‍යරාජ" චිත්‍රපටයෙන්. ඇත්තම කිව්වොත් "කැලෑ හඳ" නව නිර්මාණයෙහි ගීතයක් ගායනා කරන්න මට සුනිල් සර් මුලින්ම කතා කළා. ඒ ගීතය ගායනා කර අවසන් වෙද්දිම "ඔය චරිතයත් ඔහොමම කරන්න" කියලා කිව්වා. ඒක මට පුදුමයක්. සුනීල් සර් හැමදාම මාව පුදුම කළා. මේකත් ඒ වගේ තවත් පුදුම කිරිමක්.
කැලෑ හඳ චිත්‍රපටය රෑගත කිරීම් කරද්දි ලබපු අත්දැකීම් කොහොමද...?
කැලෑ හඳ චිත්‍රපටය කියන්නෙ මගේ ජීවිතේ මම කරපු බරම රඟපෑමයි. ඒ වෙනුවෙන් අපි සෑහෙන කාලය තිස්සේ බොහෝ කැපකිරීම් කළා. බොහෝ අත්දැකීම් ලැබුණා. එහි සාර්ථකත්වයක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා.
කැලෑ හඳ කියන්නේ ප්‍රතිනිර්මාණයක්. නවකතාවක් පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ හැදුණු පළමු සිංහල චිත්‍රපටය මෙයයි, 1953 වසරේ දී මුලින්ම ප්‍රදර්ශනය වුණු ඒ මුල් පිටපත අද දකින්නට ලැබෙන්නේ නැහැ...?
ඔව්... මුල් චිත්‍රපටියෙ සම්පූර්ණයෙන් පිටපත මේ වෙද්දී කාටවත් බලන්න අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ අතරින් පොඩි කොටස් කිහිපයක් පමණක් ඉතිරි වෙලා තියෙනවා. වාසනාවට මුල් සිනමා පටයෙ ගීත ටික ඉතුරු වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය නැරඹලා තිබුණේ අපේ අම්මලාගේ ආච්චිලාගේ වයස්වල ඉන්න පරම්පරාවයි. ඒ හැර අපේ පරම්පරාවේ කාටවත් ඒක නරඹන්නට වාසනාව ලැබුණේ නැහැ. චිත්‍රපටය නැරඹූ වැඩිහිටියන් මේ මතක අලුත් කරගන්නට ආසාවෙන් ඉන්නවා. ඒ අය තරුණ කාලයේදී දැක්ක කැලෑ හඳ එක්ක අලුත් කැලෑ හඳ බලලා ඒ අත්දැකීම් විඳගන්න ආසාවෙන් ඉන්නවා. චිත්‍රපටියෙ මම රඟපෑවේ ජෝන් ජයපාලගේ චරිතයයි. ඒ කාලේ ජෝන් ජයපාල ඒ පරම්පරාවේ අය තුළ ජීවත් වුණු චරිතයක්. ඒ හදවත්වල ජීවත් වුණු චරිතය රඟපාන්න පොඩි බයක් තිබුණා. ඒ අයගේ මුල් චිත්‍රපටිය දකිද්දී ලබපු වින්දනය මේ චිත්‍රපටය තුළිනුත් ලබල දෙන්න ගොඩක් මහන්සි වුණා. සුනිල් සර් ඇතුළු කණ්ඩායම අපිව හොඳට හසුරුවලා ඒ මුල් චිත්‍රපටිය රසය ලබා දුන්නා යැයි මම විශ්වාස කරනවා.
කැලෑ හඳෙන් රංගනයට වගේම ගායනයටත් සම්බන්ධ වෙන්න රවීන්ට අවස්ථාව ලැබුණා නේද..?
ඔව්... නව කැලෑ හඳ සිනමා පටයෙ සංගීතය රෝහණ ආචාර්ය වීරසිංහ සර්ගෙන්. චිත්‍රපටයේ ගීත ගායනා කරන්න මට අවස්ථාව ලැබුණා. මම වගේම තනුර මදුගීත් මල්ලිත් අදිත්‍යා වැලිවත්ත
නංගීත් ගීතවලට සාධාරණ ය ක් කරන්න වෙහෙසක් ගත්තා. මේවා අපි අලුතින් ගායනා කරන ගීත නොවේ. දශක හතළිහකටත් ඒහා මිනිසුන්ගේ ලේ නහරවල තිබුණු ගීතවලට අඩුපාඩුවක්, කරන්න, අසාධාරණයක් කරන්න අපිට බැහැ.
ඒ නිසා ඒ ගීත ගායනා කිර්ම ලේසි වුණේ නැහැ. ආචාර්ය රෝහණ වීරසිංහ සර් අපට මේ ගීත පටිගත කරද්දි වචනයෙන් වචනයට අකුරෙන් අකුරට කියලා දීලා අවධානයෙන් හැමදේම කියලා දුන්නා. ඒ නිසා කැලෑ හඳ වෙනුවෙන් අපි ගොඩක් වෙහෙසක් ගෙන කටයුත්ත ආසාවෙන් නිම කළා.
බොහෝ මිනිසුන් අතරේ හිටපු,අපි නොදැකපු ජෝන් ජයපාලට
රඟපෑම අභියෝගයක් නේද...?
ඔව්... අනිවාර්යයෙන්ම. ජෝන් ජයපාල කියන්නේ මගේ සැබෑ ස්වරූපයෙන් ගොඩක් ඈතට යන වෙනස් හැඩයක කෙනෙක්. එයා කාලෙන් කාලෙට වෙනස්. වෙලාවකට ඔහු සංවේදී පොඩි දරුවෙක් වගේයි.තවත් වෙලාවකට ඔහු ආවේගශීලි, තරහින් කේන්තියෙන් කෑ ගසන කෙනෙක්. තවත් වෙලාවක නිහඬ හැඟීම් මැරුණ කෙනෙක්. ඒ වගේම ඔහු ලොකු පාරාසයක දිවෙන චරිතයක්. ඔහු උප්පත්තියෙන් ධනවත් රදළ පෙළපතක හැදුණු කෙනෙක්. එවැනි පරසරයක හැදුණු කෙනෙකුගෙ යම් ලක්ෂණ තියෙනවා. ඒවා මට විශේෂයෙන් අධ්‍යයනය කරන්නට සිදුවුණා. ජෝන් ජයපාල සිගරට් බොන කෙනෙක්.ඒක මට නුහුරු අත්දැකීමක්. බොහෝ කැපකිරීම් කරලා කරපු නිර්මාණය දකින්නට බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂවරයෙක් විදියට ඔබ දකින්නේ කොහොමද...?
සුනිල් ආරියරත්න කියන නම ඇසූ පමණින් ඕනෑම කෙනෙකුට ලොකු පුරාවෘත්තයක් වැනි හැඟීමක් ඇතිවෙනවා. ඔහු පිටුපස ලොකු කතාවක් තියෙනවා. ලංකාවේ කලාව වෙනුවෙන්, ලංකාවේ මිනිසුන් වෙනුවෙන් ඔහු බොහෝ දේවල් කරල තියෙනවා. අපි පාසල් යන කාලයේදී මහාචාර්ය සුනිල් ආර්යරත්න නම කියද්දීම ලොකු ගෞරවයක් හිතට ඇතිවෙන මැවෙනවා. ප්‍රපාතවත් චරිතයක් ඒ ප්‍රපාතවත් බව සදාකාලෙකටම පවතිනවා. නමුත් ඔහු එක්ක වැඩ කරද්දී, මිත්‍රශීලි වී ඉඳිද්දී මේ ප්‍රපාතවත් චරිතය ඇතුළේ අපේ වයසට සමගාමීව නිදහස්, සැහැල්ලු, අදහස් තියෙන විහිළු තහලුවෙන් ඉන්න, තරුණ කෙනෙකුගේ හැඟීම් තියෙන, පොඩි දරුවෙක් වගේ කෙනෙක් ජීවත් වෙන බව දැනෙනවා. කැලෑ හඳෙන් වැඩි කාලයක් එතුමා ළඟින් ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබුණා. මමත් කවදා හරි ඒ වගේ වයසට ගියහම ඒ විදිහට සැහැල්ලුවෙන්, හිනාවෙලා, පොඩි දරුවෙක් වගේ නිහතමානීව ජීවත් වෙනවා කියලා මටත් හිතුණා. එතුමාගේ ජීවිතයෙන් අපට ගත යුතු දේවල් බොහෝයි.
රවීන් මුලින්ම බොහෝ දෙනා හඳුනා ගත්තේ ගායකයෙකු විදිහටයි. අද ගායකයෙක්.නළුවෙක් සහ නිවේදකයෙක්. මේ චරිතවලින් වැඩියෙන්ම කැමති කාටද...?
අද වෙද්දී මේ චරිත තුන හරහාම මට බොහෝ දේවල් ලැබුණා. ලංකාව පුරාම, ලෝකය පුරාම, සිටින ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට මාව දැනෙන විදි තියෙනවා. සමහරු මම ගායකයෙක් වෙනවාට කැමතියි. තවත් සමහරු මම රංගන ශිල්පියෙක් වෙනවාට කැමතියි. ඒ ඒ හැඩතලත් එක්ක ඒ සමාජයට මම ගිහින් තියෙන නිසා ඒක මම ලබපු ලොකු භාග්‍යයක්.
ප්‍රේකලාකරුවෙකු වීම පුංචි කාලයේ රවීන් දැකපු හීනයක්ද...?
කලාකරුවෙකු වෙන්න, මිනිසුන් දන්න කෙනෙක් වෙන්න, අවධානය ආකර්ෂණය ගන්න මට ඕන වුණේ නැහැ. අදටත් මම එහෙමයි. ලොකු සද්ද බද්ද තියෙන, සෙනඟ වැඩිපුර ගැවසෙන, තැන්වලට මම එච්චර කැමති නැහැ. මේ එකම දෙයක්වත් මම හඹාගෙන ගිහින් ගත්ත දේවල් නොවෙයි. හැබැයි මම තනියම පැත්තකට වෙලා මගේ පාඩුවේ ඉන්න කැමතියි. මිනිසුන් දන්නේ කෙනෙක් වීම මගේ දෛවයේ කොතැනක හරි ලියැවිලා තියෙන්න ඇති.
රවීන් පුංචි කාලේ ඉඳන්ම වාහන එකතු කරන්න ආස කළාද..?
මං මගේ ජීවිතය ආස ඒවාට විතරමයි. පුංචි කාලේ මම ඒවාට ආස කළා. අද වෙද්දී මම කොහොම හරි ඒ හීනවල තිබුණු මෝටර් බයිසිකල් මගේ කරගෙන තියෙනවා. පොඩි කාලේ ඉඳන් මම තාත්තාගේ මෝටර් සයිකල් පැද්දා. සමහර වෙලාවට ළඟට යන්න කියලා තාත්තාගේ මෝටර් සයිකලේ අරගෙන ලොකු දුරවල් ගිහින් තියෙනවා. මගේ අතට සල්ලි හම්බවෙලා මෝටර් සයිකලයක් ගන්න හදද්දීම මට ගෙදරින් ගන්න දුන්නේ නැහැ. ඒ වයසෙදි මට එදා මෝටර් සයිකලයක් ගත්තා නම් අද මෙහෙම කතා කරන්න කෙනෙක් ඉන්න එකක් නැහැ. දැන් වගකීමක් තියෙන,හිතන්න පුළුවන් වයසේ ඉන්න නිසා බයිසිකලයක් ගත්තාට හිතුමතේට පදින්නේ නැහැ.
ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද..?
මට ලොකු ලොකු බලාපොරොත්තු හිතේ නැහැ. ලංකාවේ මෙතෙක් මට ආදරේ කරපු ආදරණීයන් වෙනුවෙන් යමක් කරලා ගෞරවනීය කලාකරුවෙක් විදිහට මේ ලෝකයගෙන් යන්න තිබුණා නම් ඒ හොඳටම ඇති.
ආදිශානි ජයමාලි