ගමේ කොයි කාටත් උදව් කරන, හැබැයි කාගෙන්වත් හොඳක් නොඅසන චුට්ටේ කියන්නේ - මේ දවස්වල දොරකඩ දෙවොලේ ප්‍රේක්ෂකයන්ට නැතුවම බැරි චරිතයක්. දොරකඩ දෙවොලේ කාගෙන්වත් ආදරයක් සෙනෙහසක් නොලැබුණාට මොකද, මේ වෙනකොට පුංචිතිරයේ ප්‍රේක්ෂකයන් ගෙන් නම් හිතහොඳ චුට්ටෙට ලැබෙන්නේ මෙච්චරයි කියලා ඉවර කරගන්න බැරි තරම් ආදරයක්. ඒ ආදරේ නිසාම අපි හිතුවා මෙවර “සදැල්ල” කතාබහට චුට්ටේව හොයන් යන්න. චුට්ටේගේ චරිතයට පණ පොවන ඔහු නමින් දිනේෂ් විජේසිංහ. මේ ඔහු අපි සමග කළ කතාබහයි.
අපිමේ කතාව චුට්ටෙගෙන්ම පටන් ගමු?
"ඇත්තටම චුට්ටේ මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධයි. දොරකඩ දෙවොලේ ප්‍රේක්ෂකයන් ගෙන් චරිතයට හිතුවටත් වඩා ලොකු ප්‍රතිචාර ලැබෙනවා. චුට්ටේ සහ මගේ චරිතය අතර ඇත්තටම සමානකම් ගොඩක් තියෙනවා. විශේෂයෙන් මම ආස දේවල්. චුට්ටේ කියන්නෙ හැමෝටම උදව් කරන, හැබැයි කිසිම වෙලාවක සමාජයෙන් හොඳක් අහන්නෙ නැති චරිතයක්. ඒ වගේම චුට්ටේගේ පසුබිම ගත්තහම එයා එක ගමක ඉඳන් තව ගමකට ආපු කෙනෙක්. එතකොට එයාට කාත් කවුරුවත් නැහැ. එයාට ආදරේ කරන්න, එයාව බලාගන්න කෙනෙක් නැහැ. ගොඩක් වෙලාවට එයා හරිම අසරණ තරුණයෙක්. හැබැයි චුට්ටේ කියන්නේ හරි හොඳ මනුස්සයෙක්. ඒ නිසා චුට්ටේ කියන චරිතයට දිනේෂ් විජේසිංහ විදිහට මාත් හරි කැමතියි. ඒ වගේම චරිතයක් විදිහට ගත්තහම මේ දවස්වල මාර විදියට ආදරය ලැබෙන චරිතයක් තමයි චුට්ටේ කියන්නේ. ඒ ගැන හරිම සතුටුයි."
දිනේෂ් ගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණ චුට්ටේගේ චරිතය දිනේෂ්ට ලැබෙන්නේ දොරකඩ දෙවොලේ අධ්‍යක්ෂක ලලිත් රෝහිත එදිරිසිංහ වෙතින් බව කියූ ඔහුට - ලලිත් රෝහිත එදිරිසිංහ හමුවීමම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් බව පැවසුවා.
රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය සහ මාව නළුවෙක් විදිහට පත්තු වුණේ මේ වැඩේදි, චුට්ටේ කියන චරිතයෙ දී. හැබැයි මම හිතන්නේ ලලිත් රෝහිත එදිරිසිංහ මට හම්බෙන එකම තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. ඔහු එක්ක මම දොරකඩ දෙවොලට කලින් ඉඳලම වැඩ කරලා තියෙනවා. ඔහු මීට කලින් කරපු ඉරගිනි මද්දහන නිර්මාණයේත් මම සිසිර කියලා චරිතයක් කළා. ඒකත් එක්ක තමයි මට මේ වැඩේට ආරාධනාව ලැබෙන්නේ. ඒ වගේම මීට කලින් ITN එකේ විකාශය වුණා මම සහ ඔබ කියල නාට්‍යයක්. ඒකේ මැණික්කාරයෙක් ගේ පුතෙක්ගේ චරිතයක් මම කරනවා. හැබැයි මිනිස්සු නළුවෙක් විදිහට මාව හරියටම හඳුනා ගත්තේ දොරකඩ දෙවොල හරහා. ඒනිසා නළුවෙක් විදියට මගේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නෙ දොරකඩ දෙවොලේ චුට්ටේගේ චරිතය කියලා මම හිතනවා."
අද ඔබ ඉන්න තැනට එන්න පසුකළ බාධක අභියෝග සුළුපටු නැහැ. ඉතින් ඒ අතීතයත් අපි එක්ක බෙදා ගන්න ඔහු අමතක කළේ නැහැ. “මට පොඩිකාලෙ ඉඳලම නළුවෙක් වෙන්න ඕනේ කියලා හීනයක් තිබ්බා. හැබැයි මට ඒක කරන්න වෙන්නෙ අධ්‍යාපන කටයුතු නිමවුණාට පස්සේ. ඇත්තටම නළුවෙක් වෙන්න මාර අභියෝග ගොඩකට මුහුණ දුන්නා.මම ඒ වෙනුවෙන් 2009 වසරට කලින් ඉඳන්ම උත්සාහ කළා.2007/2008 වගේ කාලෙදි ඔඩිෂන් හොයාගෙන ගිහින් තියෙනවා. ඒ දවස්වල විස්තර දන්නේ නැහැ ඉතින් පත්තරවලින් හොයා ගෙන තමයි යන්නේ. නළුවෙක් වෙන්න ඕනි කියන හීනේ තිබ්බට ඒක කරන්නේ කොහොමද කියලා මගේ ළඟ අදහසක් තිබ්බේ නැහැ. එහෙම ඉද්දී 2009 දී මම යනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට. ඒත් රඟපාන්න තියෙන ආසාවත් එක්ක එක දිනයක් නොදන්වා නිවාඩු යනවා. හමුදා නීතිය අනුව ඊට දඬුවම් වශයේ දින අසූවක් සෙල් එකක ඉන්න මට සිදුවෙනවා. කොහොම නමුත් ඒ දඬුවම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වෙනවා. නළුවෙකු වීමේ සිහිනය සැබෑවක් කර ගැනීමට ලොකු පිටුවහලක් වෙනවා. එය සිදුවුණේ මෙහෙමයි.”
මේ වෙනකල්ම මම කළේ උත්සාහ කරපු එක තමයි. ඒ උත්සාහය අතරේ මට එක රස්සාවට යන්න බැරි වුණා. මම මේසන් වැඩ කළා, බස් ස්ටෑන්ඩ් වල නිදාගත්තා, පන්සල්වල, බෝඩින් වල නැවතිලා හිටියා. ඒ කොයි වෙලාවකවත් මේ හීනේ අතාරින්න ඕනේ කියලා මට හිතුණේ නැහැ. හැබැයි සමහර වෙලාවට මට හිතුණා මට මේක කරගන්න බැරි වෙයිද වගේ එකක්. එහෙම මනස හෙල්ලුණු වෙලාවල් තිබ්බා. ඒ වුණාට ඉතින් මම මේක මැරෙනකල්ම අතාරින්නෙ නැහැ කියලා තමයි ඉතින් හිතන් හිටියේ."
එවැනි බාධක මතින් ඔහු පැමිණ තිබෙන දුර ගැන, හිමිවෙන ප්‍රේක්ෂක ආදරේ ගැන අද ඔහුට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්. සිහිනය සඵල කර ගැනීමට හැකිවීම ගැන විශාල සතුටක්.
"පොඩි කාලේ ඉඳන් නළුවෙක් වෙන්න හීන දැක්කට අපේ අම්මලා තාත්තලගෙ ඉඳලා අහල ගමකවත් මම දන්න තරමේ කලාකරුවෙක් හිටියේ නැහැ. ඒ වගේම මට අවුරුදු පහේදි වගේ මගේ අම්මයි තාත්තයි වෙන් වෙනවා. ඊට පස්සේ මම ඉන්නෙ ආච්චි ළඟ. ඉතින් මට එහෙම ලොකු පසුබිමක් සහයෝගයක් තිබුණෙම නැහැ. මම තනියෙන් කොළඹට ඇවිල්ලා ගහපු මැච් එකක් මේක. ඉතින් එහෙම කට්ටක් කාලා ඇවිත් අද මම ඉන්න තැන ගැන ගත්තොත් ඇත්තටම මට මාරම සතුටුයි. නළුවෙක් විදිහට මාව මිනිස්සු අඳුන ගත්තහම, ප්‍රේක්ෂකයෝ මට ආදරේ කරන විදිහ, ප්‍රේක්ෂකයොන්ගෙන් ලැබෙන ඒ ආදරණීය ප්‍රතිචාර මම කලින් ඉඳන්ම මවාගෙන තිබ්බා. ඉතින් ඒක මට අද සැබෑවටම ලැබෙනවා. ඉතින් පොඩි නෙමේ ලොකු සතුටක් මම අද අත්විඳිනවා."
නළුවෙක් වෙන්න හීන දැකපු - කට්ට කාපු ඔහු, ලේඛකයෙක් ද වෙන්නේ නොසිතු ආකාරයකට. ඔහුගේ ලේඛන සම්ප්‍රාප්තිය සිදුවූ ආකාරයත්, අනාගතයේ එළිදැක්වීමට යෝජිත කෘතීන් ගැනත්, අපි ඔහු ගෙන් විමසීමක් කළා.
"මම කවි ලිවීමට අතීතයේ කීපවිටක්ම උත්සාහ කරලා තිබුණත්, ලේඛකයෙක් විදියට පොතක් එළි දක්වන්න පුළුවන් වෙන්නෙ නොසිතුව විදියට. මට ඒ කාලේ ප්‍රේම සම්බන්ධයක් තිබ්බා. මගේ වැරැද්දක් හේතුවෙන් මට ඇය අහිමි වෙනවා. ඒ අහිමිවීමේ දුක දරාගන්න බැරුව මානසික අවපීඩනය හැදිලා මට බෙහෙත් ගන්න වෙනවා. ඒ කාලේ මට සියදිවි නසාගන්න පවා අනන්තවත් හිතුණා. නළුවෙක් වෙන්න තිබූ ආසාව නිසාම ඒ අදහස අනුක්‍රමයෙන් නිශේධ වුණා. මම හිත හදාගෙන ජීවිතේ ඉදිරියට ගෙනියන්න ඕනෑයි තීන්දු කළා. ඒ අනුව මුලින්ම මම අනුරාධපුරේ කැලේ මැද ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා දින14ක් විතර හාමුදුරු කෙනෙක්ගෙ මග පෙන්වීම යටතේ භාවනා කරන්න යොමු වුණා. ඒ දින14 නිමා වුණාම මගේ මනස සෑහෙන දුරකට ශක්තිමත් වුණා. ඒ ලබාගත් අත්දැකීම් කැටි කරලයි 'ඒහි පස්සිකෝ' කෘතිය රචනා කළේ. එහි පිදුම සිදුකර ඇත්තේත් මගේ අතීත ආදරවන්තියටයි. ඇත්තටම ඇය මම වෙනුවෙන් එදා ලොකු කැප කිරීමක් කළා. ඊට ඇයට කෘතවේදීත්වය දක්වන්නයි එසේ කළේ."
"මේ අතරේ පොතක් ලියන්න මට ආරාධනාවක් කළා තරංගා දිසානායක අක්කා. ඇය මට ආදරණීය අම්මා කෙනෙක් වගේ ක්‍රියා කරන සහෝදරියක්. ඇය තමයි දොරකඩ දෙවොලෙ සහ ඉරගිනි මද්දහනේ තිර රචිකාවිය සහ ලේඛිකාව වෙන්නෙත්. ඉතින් ඇයගේ ඒ ආරාධනාව එක්ක මම තව පොතක් ලියන්න පටන් අරන් තියෙන්නේ. මේ දවස්වල ඇත්තටම චිත්‍රපටි දෙකක් ලියන්න භාර අරගෙන පොඩ්ඩක් හිරවෙලා ඉන්නවා. හැබැයි මම උත්සහ කරනවා මේ අවුරුද්ද අවසාන වෙද්දී ඒ පොත ඉවර කර ගන්න."
"ඉදිරි බලාපොරොත්තුව හොඳ නිර්මාණ කාර්යයන් කීපයකට සහභාගී වෙන්න. සිනමාව තමයි මගේ හීනය, ලංකාව ඇතුළෙම විතරක් නෙමෙයි එළියට හෝ ගිහිල්ලා හොඳ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න ඕනේ කියන තැන මම ඉන්නවා.'
කෞශල්‍යා ලක්ෂානි