ඇය හුදෙක් තිරය හැඩකරන තවත් එක රුවක් පමණක්ම නොවේ. රංගනයට අත්පොත් තබන කාලයේම ප්‍රේක්ෂක හදවත් ‘ග්‍රේස්’ ගෙන් මන්මත් කළ රංගන ශිල්පිනියකි. දෙරණේ ‘මල් පිපෙන කාලේ’ සිට ස්වාධීන රූපවාහිනියේ ‘සසංකාරා’ දක්වා ඇය කළ රංගනය, අවසානයේ ඇයව සම්මානනීය නිළියක බවට පත් කළේය. මේ සම්මානනීය රංගන ශිල්පිනී අප්සරා ගුණතිලක සමඟ දිග හැරෙන ‘හාට්’ හෘදයාංගම සංවාදයයි.Sri Lanka Latest News
කවුද මේ අප්සරා. අප්සරා ගැන කියලම කතාව පටන් ගමු…
මං අප්සරා ගුණතිලක, මම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රාසාංගික කලා විශේෂ උපාධිය හදාරනවා. ඒත් එක්කම රංගන කටයුතු වලටත් සම්බන්ධ වෙලා ඉන්නවා මේ දවස් වල.
ඉතිං මේ දවස්වල මොනවද වෙන්නේ?
විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය හදාරන ගමන් චන්දන ඉරුගල් බණ්ඩාර අයියගේ ”පිරිනිවන් කඳු පාමුල” නාට්‍යයේ ප්‍රධාන චරිතයකට සම්බන්ධ වෙලා ඉන්නවා.”සසංකාරා නාට්‍යයේ ” අධ්‍යක්ෂතුමාගේ අලුත් නිර්මාණයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.
අප්සරා රංගනයට පිවිසෙන්නේ කොහොමද?
2021 පාසල් යන කාලේ, ස්වර්ණවාහිනී අවුරුදු කුමරි අවසන් 7 අතරට එනවා. මුලින්ම සම්බන්ධ වෙන්නේ දෙරණ නාලිකාවේ ”මල් පිපෙන කාලේ” කියන ටෙලිනාට්‍යයේ චරිතයකට. එහි සහාය අධ්‍යක්ෂවරයා උදය ප්‍රසන්න අයියා තමයි මාව මේ ක්ෂේත්‍රයට ගේන්නේ.
හැදෑරීමක් කරලද මේ ක්ෂේත්‍රයට ආවේ?
ඔව් මම පාසල් යන කාලයේ සිටම නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. උසස් පෙළින් පසුත් විශ්වවිද්‍යාල උපාධිය හදාරන්නෙත් නාට්‍ය හා රංග කලාව සම්බන්ධයෙන්.
රංගනයේදී අප්සරාට සීමාවන් තියෙනවද?
රංගනය වෘත්තියක් විදිහට කරනවනම් එහෙම සීමාවන් තියෙන්නත් බැහැ. රංගනය කියන්නේ යම්කිසි සිදුවීම් සමාරෝපණය කරගෙන වේදිකාවක හෝ කැමරාවක් ඉදිරියේ නිරූපණය කරන එකට. පුද්ගලික කැමැත්ත අනුවනම් මගේ වයසට අනුව කරන්න පුළුවන් උපරිමයක් තියෙනවානේ ඒ උපරිමය කරනවා…. එතනින් එහාට මට කරන්න බෑ වගේනම් මං ප්‍රතික්ෂේප කරයි. ඒත් මගෙන් බලාපොරොත්තු වෙන උපරිමය කරන්න මම උත්සාහ කරනවා.
සසංකාරාහි ග්‍රේස් වෙන්න ලැබුණේ කොහොමද?
කෝලම්කුට්ටමේ නිරූපණය කරපු චරිතයක් දැකලා තමයි ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්මයා සසංකාරා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට ආරාධනා කරන්නේ. සසංකාරා ග්‍රේස් තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ‍්‍යය. ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් ලැබුණා. දැනටත් ලැබෙනවා. ප්‍රේක්ෂකයෝ මාව අඳුරන්නෙත් ග්‍රේස් කියන නමින්. කාලයක් බැන්නා. පස්සේ ආයෙත් ආදරය කරන්න ගත්තා.
ග්‍රේස්ට සම්මානයක් ලැබෙයි කියලා හිතුවද?
ඔව්, පොඩි බලාපොරොත්තුවක් තිබ්බා. මේකප් ආටිස්ට් , ප්‍රියන්ත අයියා, සසංකාරා නිෂ්පාදක තුමා ඇතුළු කණ්ඩායම සහ මගේ ළඟ හිටපු රංගන ශිල්පීන් ගොඩක් කිව්වා ඒ චරිතය සම්මානයකට නිර්දේශ වෙයි කියලා.
සම්මානය ලැබුණට පස්සේ මොකද හිතුණේ?
සම්මානේ හම්බවුණාට පස්සේ මට නිහතමානී ආඩම්බරයක් දැනුණා. ලොකු කැපකිරීමක් කරලා තමයි මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ… මහව වගේ කාෂ්ටක පළාතක තමයි අපි රූගත කිරීම් කළේ. ප්‍රධාන චරිතය කරපු පළමුවැනි නාට්‍යයෙන්ම සම්මානයක් හිමිවීම ගැන ලොකු සතුටක් තියෙනවා…
සිනමාවෙනුත් දැන් ආරාධනා ලැබිලා ඇති?
ඔව් සිනමාවට ආරාධනා ලැබිලා තියෙනවා. මේ දවස්වල ඒ පිළිබඳව හැදෑරීමක් කරනවා.
කලාවට සම්බන්ධ නොවුණ නම් අප්සරා කියන්නේ කවුද?
එහෙනම් අනිවාර්යයෙන්ම මම ගුරුවරියක් වෙනවා… නාට්‍ය හා රංග කලාව ගුරුවරියක් වෙන්න තමයි මගේ බලාපොරොත්තුව තිබ්බේ.
ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?
රංගන කටයුතු සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු කරගෙන ,සිනමාවටත් දැන් ආරාධනා ලැබිලා තියෙනවා.ඒ වැඩ කටයුතු කරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා..