කොහොමද ඉතින් දුලාන්ජ්?
හොඳින් ඉන්නවා. මේ දිනවල නම් ගුරු වෘත්තියේ කටයුතු සමග තමයි කාලය ගතකරන්නේ.
අපි කැමැතියි ඔබ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු විදිය දැනගන්න?
මගේ අම්මට තමයි ලොකුම වුවමනාවක් තිබුණේ කලාවට මාව සම්බන්ධ කරන්න. අම්මා මාව නැටුම්වලට එහෙම සම්බන්ධ කරලා මගේ ගමන ආරම්භ කරන්න සිහින දැක්කා. මම පාසල් ගියේ බෝපිටිය මහා විද්‍යාලයට. උසස් අධ්‍යාපනය සඳහා හෙන්ඩියගල රතනපාල විද්‍යාලයට ගියා. ගීතානි සිරිවර්ධන ගුරුතුමියගේ මගපෙන්වීම යටතේ රංගන කලාව හදාරලා සරසවියට පිවිසුණා. කැම්පස් කාලේ යාළුවෝ එක්ක එකතු වෙලා වේදිකා නාට්‍ය කළා. පසුව මම රංගනය හදාරන්න ඉම්පාස් ආයතනයට සහ කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ ප්ලේ හවුස් රංග පාසලට සම්බන්ධ වුණා. ඔය විදියට තමයි මගේ ගමන පටන් ගත්තේ. නාට්‍ය හා රංග කලාව මට උගන්වපු ගීතානි සිරිවර්ධන මිස් මට මේ පාර හදලා දුන්නේ නැත්නම් ඉතින් අද මම මේ වගේ තැනක ඉන්නෙ නැති වෙන්න පුළුවන්.
මුලින්ම ඔබව අපට ටෙලිනාට්‍යයකින් දැකගන්න ලැබුණේ ‘හාරකෝටිය’ හරහා නේද?
වේදිකා නාට්‍යවල වැඩකරන කාලයේ මට පොඩි ආශාවක් ආවා ටෙලිනාට්‍යයක රඟපාන්න. ඒ නිසාම තමයි මම රංගනය හැදෑරුවේ. පස්සේ තමයි ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘හාරකෝටිය’ ටෙලිනාට්‍යයේ ‘කුලේ’ චරිතය රඟපෑවේ. ඒ චරිතය මම හොඳට කළා කියලා සද්ධා සර් කිව්වා. පස්සේ තමයි කුලේ චරිතය ‘කෝටිපතියේ’ ටෙලිනාට්‍යය දක්වා දිගටම කරගෙන යන්න මට අවස්ථාව ලැබුණේ.
පසුකාලීනව ඔබව ගොඩ දෙනෙක් දැනහඳුනා ගත්තේ නන්දසිරි චරිතය හරහා?
නන්දසිරි කියන්නේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයකුගේ චරිතයක්. ‘නාඩගම්කාරයෝ’ හරහා තමයි මාව ගොඩ දෙනෙක් දැනහඳුනා ගත්තේ. ඒ වගේම පාරක බැහැලා යන්න බැරි තරමට පුදුමාකාර ප්‍රේක්ෂක ආදරයක් මටත් ලැබුණා. ඒ තරමට ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය ගොඩක් ජනප්‍රියවුණා. මගේ රංගන ජීවිතයේ අමතක නොවන සිදුවීම් රැසක් නන්දසිරි මල්වත්තගේ චරිතය සමග මතකයන් තියෙනවා. මට ඒ චරිතය දැනුණේ ලංකාවේ ඉස්සර සහ වර්තමානයේ හිටපු මන්ත්‍රීවරයෙක්. සමාජයේ දකින චරිතයක්. සැබෑ චරිතයක්. මගේ චරිතය හරහා පෙන්වන්න උත්සාහ කරපු චරිතයක් විදියට මම දකින්නේ.
දුලාන්ජ් පුංචි තිරයට නැතුවම බැරි චරිතයක් බවට දැන් පත්වෙලා නේද?
මම එහෙම හිතන්නේ නැහැ. මම නැතුව බැරුව ඇති කියලා. ලැබෙන චරිතත් සමග ටෙලිනාට්‍ය කලාවේ උපරිමව රැඳිලා ඉන්න මම උත්සාහ කරනවා. ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව.
‘සසංකාරා’ ටෙලිනාට්‍යයේ ලෙස්ලි චරිතය හරහා ඔබේ රංගනයේ සුවිශේෂ බවක් අපට දැකගන්න ලැබුණා.
ඇත්තටම මම නිරූපණය කරපු ලෙස්ලි චරිතය සංකීර්ණ වගේම වගකීම් වැඩි බැරෑරුම් චරිතයක් ලෙස මට දැනුණා. ඒ වගේම හොඳ අධ්‍යක්ෂවරයකු සමග මට වැඩකරන්න ලැබුණා. ප්‍රියන්ත ප්‍රනාන්දු අයියා මාව ගොඩක් විශ්වාස කළා. මේ වගේ සංකීර්ණ චරිතයක් මම කරපු පළමු අවස්ථාව තමයි මේ. සියලු දෙනා සමග තිබුණු බැඳීමත් සමග නිර්මාණය ලස්සනට කරගෙන යන්න ලැබුණා.
නෝනා සමග බැඳුණු ආදරය නැවත ලැබෙයි කියලා ඔබ විශ්වාස කරනවද?
හදවතට දැනුණු ආදරයක් කොහොම අමතක කරන්නද? උක්කු අයියා ඒ ආදරය නෝනාගෙන් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඇත්තටම මට ‘පට්ටිගෙදර’ ටෙලිනාට්‍යයේ උක්කු අයියා චරිතය ලැබෙන්නේ රෙබෙකා දිල්රුක්ෂි හරහා. අහිංසක ආදරණීය පෙම්වතෙක්ගේ චරිතයක් තමයි මම රඟපාන්නේ. පට්ටිගෙදර දැන් පවුලක්. ‘සසංකාරා’ ටෙලිනාට්‍යයේ වගේම මටම දැනුණු ආදරණීය චරිතයක් තමයි උක්කු අයියා චරිතය.
එදා රෑ සමග ගෙවන ජීවිතය?
සුන්දර විදියට එදා රෑ සමග ජීවිතය ගතකරනවා. අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන එදා රෑ චිත්‍රපටයේ මිල්ටන් මල්ලවාරච්චිගේ සහෝදරයෙක් විදියට තමයි මම රඟපාන්නේ. මිල්ටන් මල්ලවාරච්චිගේ චරිතය රඟපාන්නේ රොෂාන් රවීන්ද්‍ර. මේක මගේ රංගන ජීවිතයට ලැබුණු වටිනාම අවස්ථාවක්. මම ආශාවෙන් ඉන්නවා එදා රෑ චිත්‍රපටය සමග පුළුල් තිරයේ දකින්න.
ඔබ මෙතෙක් රඟපාපු ටෙලිනාට්‍යවල චරිත සමග කොටු වීමක් වුණාද?
විශේෂයෙන්ම මගේ පෙනුමත් එක්ක තමයි මේ වගේ චරිත ලැබෙන්නේ. හැබැයි එකිනෙකට වෙනස් චරිත විදියට මම දකින්නේ. මගේ මේ පෙනුම නිසා තමයි මට මේ තරම් දුරක් එන්න ලැබුණේ. එදා රෑ චිත්‍රපටයේ සනා පට්ටිගෙදර ටෙලිනාට්‍යයේ චරිතවල මම වෙනසක් දකිනවා. මේ හැම චරිතයක්ම අපිට සමීපයි. ඒ හැම චරිතයක්ම මම උපරිමව ජීවමාන කිරීමට උත්සාහ කළා.
ඔබ රංගන ශිල්පියෙක් වගේම ගුරුවරයෙක්. ඉතින් ඔබගේ රංගන කටයුතු සඳහා බාධාවක් වෙන්නේ නැද්ද ගුරු වෘත්තියේ කටයුතු කරන එක?
බාධාවක් නම් නැහැ. හැබැයි පාසල සහ කලාව තැන් දෙකක තියෙන නිසා කරගෙන යන්න යම් අපහසුවක් දැනෙනවා.
වසන්ත විතාරණගේ