මෙරට කලා ක්ෂේත්‍රය තුළ බිහි වූ දක්ෂතා පිරිපුන් කලා ශිල්පිනියන් අතර ඉහළින්ම ඇති නාමයක් ලෙස දුලීකා මාරපන හඳුන්වා දිය හැකිය. පියවරෙන් පියවර වේදිකාව, පුංචි තිරය, සිනමාව යන ත්‍රිත්වය ජය ගනිමින් මනා රංග පෞරුෂයකට හිමිකම් කියූ ඇය පසුගිය කාලය පුරාම දැඩි නිහඬතාවකින් පසුවිය. ජාතික රූපවාහිනිය මඟින් සතියේ දිනවල රාත්‍රි 8.30ට විකාශය වන ‘සති’ හෙවත් කලාත්‍රයේ ගැහැනිය ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙන ඇය සමඟින් හදගැස්ම අපි මෙලෙසින් අදහස් බෙදා ගන්නෙමු.
ඔබ මේ දිනවල රංගනයෙන් දායකවන ‘සති’ හෙවත් කලාත්‍රයේ ගැහැනිය පිළිබඳ කතා කරමු?
සති ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන්නේ ගමේ අම්මා කියන චරිතය. බොහොම රළු, සැර පරුෂ, ඒ කියන්නේ කිසිම කෙනකුට අවනත නොවන අම්මා කෙනෙක් තමයි ගමේ අම්මා කියන්නේ. ඇයට එහෙම වෙන්න හේතු කාරණා බොහොමයක් තිබෙනවා. ඇය හොඳ පෙළැන්තියක් තිබෙන දරුවන් ටික තනියම හදා ගන්න, තමන්ගේ දරුවන් වෙනුවෙන් පෙනී සිටින ගැහැනියක්. ඒ කියන්නේ අපේ සමාජයේ ඉන්න සාම්ප්‍රදායික ශක්තිමත් අම්මා කෙනෙක් තමයි මේ චරිතය තුළ ජීවත් වෙන්නේ.
මේ චරිතය සඳහා හොඳ ප්‍රතිචාර ලැබෙයි කියා ඔබ සිතනවාද?
මේ ටෙලි නාට්‍යයේ මුල් කොටස් කිහිපයේ මම නැහැ. මම මේ නාට්‍යයට අවතීර්ණ වෙන්නෙ හරියට බෝම්බයක් පුපුරනවා වගේ හිතපු නැති මොහොතක. ඒ තමයි ඒ චරිතයේ ස්වභාවය. තම දියණියට සිදුවන අසාධාරණයක් වෙනුවෙන් තමයි මේ අම්මා ඉදිරිපත් වෙන්නෙ. මේ චරිතය කාලෙකට පස්සෙ මට ලැබුණු වෙනස්ම චරිතයක්. ඒ නිසා මම හිතනවා මේ චරිතයටත් මම රංගන දායකත්වය ලබාදුන් අනෙක් චරිතවලට වගේම ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙයි කියලා.
ඔබට ලැබෙන කළු, සුදු, අළු ඕනම චරිතයකට හරි ඉක්මනින් වගේම ආවේගශීලීව ප්‍රවිෂ්ට වීමට හැකියි. එහි රහස කුමක්ද?
නිර්මාණි පිටපත තුළ මට ලැබෙන චරිතය ප්‍රේක්ෂකයන්ට මතක හිටින අපූරු චරිතයක් බවට පත් කරන එක රංගන ශිල්පිනියකගේ වගකීමක්. එහිදී අධ්‍යක්ෂවරයා අපූරු නිර්මාණයක් කරනවා හා සමානවම මගේ චරිතය ප්‍රේක්ෂකයන්ට අමතක නොවන චරිතයක් බවට පත් කිරීම මගේ වගකීම බව මම තරයේම විශ්වාස කරනවා. එහිදී මට ලැබුණු චරිතය කළුද, සුදුද, අළුද කියන එක මට අදාළ නැහැ. චරිතයට ආවේණික වූ ලක්ෂණයන් සමඟ චරිතය ප්‍රතිනිර්මාණය කිරීම තමයි වැදගත් වන්නේ.
‘ඉන්දික ධර්මතිලක’ හෙවත් සතිහි අධ්‍යක්ෂවරයා ගැන කතා කළොත්?
මේ මම ඉන්දික ධර්මතිලක කියන අධ්‍යක්ෂවරයා සමඟ වැඩ කරන පළමු අවස්ථාව. ඔහු හරිම සොඳුරු ආදරණීය පුද්ගලයෙක්. ඔහු අපිට චරිතය ලබාදීලා ඔහුත් සමඟ එම චරිතය පිළිබඳ කතාබහ කළාට පසුව එම චරිතය අපට අවශ්‍ය පරිදි ප්‍රතිනිර්මාණය කිරීමට අවස්ථාව ලබා දෙනවා. ඒ තමයි මම ඔහු තුළින් දැකපු සුවිශේෂීම ගුණාංගය. ඒ වගේම ඔහු බොහොම තරුණ අධ්‍යක්ෂවරයෙක්. මට මීට පෙර හමුවූ බොහෝ අධ්‍යක්ෂවරු පරිණතයි. එවැනි පරිණත අධ්‍යක්ෂවරයකු හා සමානවම මොහු තුළත් හොඳ දැක්මක්, ඉවසීමක්, තමා කරන විෂය පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. සාර්ථක ගමන්මඟක් ඉදිරි දැක්මක් ඇති අධ්‍යක්ෂවරයකු ලෙස ඉන්දික ධර්මතිලක හඳුන්වන්න පුළුවන්.
සති හෙවත් කලාත්‍රයේ ගැහැනිය නිර්මාණය වෙන්නෙ ශාන්ති දිසානායකගේ ‘අඳුන්ගිර’ පොත පාදක කර ගනිමින්. ප්‍රවීණ රංගවේදිනියක් ලෙස ශාන්ති දිසානායකගේ කෘති පිළිබඳ ඔබේ අදහස?
ශාන්ති දිසානායකගේ පොත් කීපයක්ම ටෙලි නිර්මාණයන් ලෙස ඇවිත් තිබෙනවා. ඒ නිර්මාණ අතිශය සාර්ථක නිර්මාණයන් බවට පත්වූ අවස්ථා බොහෝයි. කෘතියක් ඇසුරින් ටෙලි නාට්‍යයක් හරි සිනමා පටයක් හරි කරන විට කෘතියේ රසය නිර්මාණයේ නැතිව යන අවස්ථා බොහොමයක් තිබෙනවා. ඇතැම් විට කෘතියේ නැති රසයක් නාට්‍ය හෝ සිනමා පටය තුළ අලුතෙන්ම නිර්මාණය වෙනවා. ශාන්ති දිසානායක කියන්නේ අපේ මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳ හරි රහට ලියන කෙනෙක්. මට කිහිප වතාවක්ම ඇය මුණගැහිලා තිබෙනවා. මේ මහ පොළොවේ තිබෙන චරිත හරි අපූරුවට ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව මම ඇයගෙන් දුටුවා.
පහුගිය කාලයේදී ඔබ රංගනයෙන් ඈත් වුණා කියලා කිව්වොත් එය නිවැරැදිද?
ඔව්. ඒ කතාවේ ඇත්තක් තිබෙනවා. මම මගේ අම්මගෙ අසනීප තත්ත්වයත් සමඟ සියලු රඟපෑම් කටයුතුවලින් දුරස් වුණා. අම්මා අසනීප වීමත් සමඟ මම එයා බලා ගන්න නතර වෙන්න ඕන කියල මම සිතුවා. මොකද අම්මා බලා ගන්න වෙන කෙනෙක් නැහැ. ඒ වගේම කෙනෙක් මැරුණට පස්සෙ අපි සෝ ගී කියලා වැඩක් නැහැ. අපේ අම්මා නැති වුණේ හරිම සතුටින්. ඒකට හේතුව මම පැය 24ම අම්මට පේන්න හිටියා.
කලා ක්ෂේත්‍රය තුළ දීර්ඝ ගමනක් පැමිණි ඔබට මේ ක්ෂේත්‍රයන් ත්‍රිත්වය පිළිබඳ මනා කියැවීමක් ඇති ඒ පිළිබඳ කියමු?
මුල් කාලයේ හොඳ පුහුණුවක්, සංයමයක්, විනයක් මෙම ක්ෂේත්‍ර ත්‍රිත්වයේම තිබුණා. ඒ වගේම හැදෑරීම කියන දේ වඩාත් හොඳ මට්ටමක තිබුණා. වර්තමානය වන විට ඉහත කියපු කිසිම දෙයක් මේ තුළ නැහැ. එයට හේතුව ලෙස මම නම් දකින්නේ හැදෑරීමෙන් තොර පුහුණුවීමෙන් තොර පිරිසක් මේ තුළ සැරිසැරීමයි.
මේ අයුරින් පුහුණුවක් නැති බව හැදෑරීමක් නැති බව තිබෙන්නේ රංගන ශිල්පීන් තුළද?
මේ ප්‍රශ්නය තිබෙන්නෙ නළු නිළියන් තුළ පමණක් නොවෙයි. මෙය සමස්ත නිර්මාණ කණ්ඩායම තුළම තිබෙන ගැටලුවක්. ඉස්සර පිටපතක් ලැබෙනවා. ඒ පිටපත මාස දෙකක් විතර හොඳට කියවනවා. ඉන්පසුව එම චරිතය පිළිබඳව අධ්‍යක්ෂවරයා සමඟ කතාබහ කරලා චරිතයට අවශ්‍ය ප්‍රවිෂ්ට හදා ගන්නවා. දැන් එහෙම නැහැ. දින තිබෙනවාද අහනවා. ගාන කීයද අහනවා. රූගත කිරීමේ දිනය ළංවෙනකොට පිටපතක් දික් කරනවා. ඒ තරම් පටු ස්ථානයකට නිර්මාණකරුවන් පත්වෙලා. ඒකට හේතුව කාලය සහ මුදල් සමඟ කරන අරගලය. නමුත් නිර්මාණකරණය තුළට එය පැමිණීම එතරම් සුබ ලකුණක් නෙවෙයි.
මේ වන විට සිදුවන නිර්මාණ කාර්යයන් කෙරෙහි ඔබ තෘප්තිමත්ද?
පටු පරමාර්ථ සමඟ මෙය ආක්‍රමණය කරන පිරිස වැඩියි. එහිදී සිදුවන්නේ සමස්තයක් ලෙස මේ කලාව ඉතාමත් නරක තැනකට ගමන් කිරීමයි. එසේ නොවන්න නම් මෙය වෙනස් විය යුතුයි. කාලයෙන් කාලයට එක එක රැලි එනවා. එහෙම එන රැලි මිනිසුන්ට අප්‍රසන්න තත්ත්වයට පත් වෙන්න ඕන. එහෙම අප්‍රසන්න වෙන මොහොතකදී මෙය වෙනස් වෙනවා.
රංගන ශිල්පියකුට වඩාත් වැදගත් වෙන්නෙ ප්‍රේක්ෂක ප්‍රතිචාරද? සම්මානනීය වීමද?
අපි හොඳ නිර්මාණයකට දායක වුණොත් ප්‍රේක්ෂකයන් අපිව ඇද බැඳ තබා ගන්නවා. ඒ වගේම සම්මානනීයත්වයටත් පත් වෙනවා. ඒ වුණාට වර්තමානයේ සම්මානයේ වගකීම බොහෝ අයට අමතක වෙලා. ඒ නිසා තමයි සම්මානය ලැබුණු ගමන්ම ඇඳ ගන්නෙ. ජනප්‍රිය නිළිය සම්මානය ගන්නවා ප්‍රේක්ෂකයෝ දන්නෙත් නැහැ එයා මොහොකද හිටියේ කියලා. කාගෙන් හරි අහල තමයි ඒ ගැන දැන ගන්නෙ. මේ වන විට සම්මාන උළෙලවල් ගොඩාක් තිබෙනවා. හුඟක් ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාරයෙන් ගන්නා ලාභයට ආදායම් බදු ගෙවීම නවත්වා ගන්න තමයි සම්මාන උළෙලවල් පවත්වන්නේ. ඒක ඇත්තක් කියලා වර්තමාන සමාජයේ ජීවත් වෙන ඕනම කෙනෙක් දන්නවා. එහෙම වුණාම සම්මාන උළෙලවල ප්‍රමිතියක් නැහැ. එතැනදි වෙන්නෙ උසස් තත්ත්වයේ ජර්මන් ප්‍රොඩක්ට් එකක් වෙනුවට බාල තත්ත්වයේ චීන ප්‍රොඩක්ට් වෙළෙඳපොළේ තිබීම වැනි දෙයක්. සම්මානයක වටිනාකමක් තිබෙන්නෙ එය දුර්ලභ වුණාම. එසේ දුර්ලභ වීම තුළ එම සම්මානයට හිමිවන තැන සහ වටිනාකම වැඩියි. මේ මොන දේ වුණත් රංගන ශිල්පීන් ලෙස අපි මතක තියාගත යුතුම දේ සම්මාන ලැබුණත් නොලැබුණත් තමන්ගෙ කාර්ය හරියට ඉෂ්ට කළ යුතුයි.