නිශිනි ඇතුළේ හැඟීම් ගොඩක් තියෙනවා-සැන්ඩ්‍රා මැක්

gossiplanka image 1
සැන්ඩ්‍රා මැක් දෙවැනි ස්වර්ණමය යුගයක් අබිමුව සිටින සිංහල සිනමාවට පෑයූ අලුත්ම තාරකාවියයි. අලුත් මෙන්ම, අලුත් තරමට දිස්නයද දෙන ඇගේ රංගන ප්‍රතිභාව කොතරම්ද යන්න මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන ආයු  සිනමාපටය නැරැඹීමෙන් අවබෝධ කරගත හැකියි. ප්‍රථම වතාවට හදගැස්ම අපි ඇය සමඟ සම්බන්ධ වූයේ ආයුහි නිශිනි ලෙසින් ඇය පෙන්නූ ඒ අපූරු රංගනය පිළිබඳව පිළිසඳරක යෙදීමටයි.


ආයුහි නිශිනි ලෙසින් සිදුවුණු ඔබේ සිනමා ආගමනය ගැන කියලම කතාව පටන් ගමු?


මුලින්ම මම ගැන කිව්වොත් මම සැන්ඩ්‍රා මැක්. ආයු කියන්නේ මගේ පළමුවැනි චිත්‍රපටය. මට මේ වෙනුවෙන් ආරාධනාවක් ලැබුණේ චත්‍ර වීරමන්ගෙන්. ඔහු මේ විෂය ගැන දන්න අති දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ආයු හි නිශිනි කියන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක්. මේක ආදර කතාවක්. නමුත් මේ ආදර කතාව ඇතුළේ තවත් කතා කිහිපයක්ම තියෙනවා. නිශිනි කියන මේ චරිතය යමක් හොයාගෙන යන කෙනෙක්. ඒ ගමනේදී ඇයට ඇයවම හමුවෙනවා. ආදරය හමුවෙනවා. මේ කතාව ඇතුළේ ආදරය වගේම ආදරය නිසා කරන අතහැරීමත් තියෙනවා. මම මේ චරිතයට කැමැති වුණේ මම මේ කතාවට කැමැති නිසා. මේ ෆිල්ම් එකේ මුල ඉඳන් අගටම තියෙන්නේ විවිධ පරාසයන්ගෙන් යුතු හැඟීම් නිරූපණයක්. ඒක මට ලොකු අභියෝගයක් වුණා.


ඔබේ පළමු සිනමාපටයෙන්ම ඔබට ක්ෂේත්‍රයේ දැවැන්තයන් රැසක් සමඟ රංගනයේ යෙදෙන්න හැකි වුණා. ඒ ගැනත් කියමු?


මට මේ චිත්‍රපටයේ රඟපාන්න ලැබුණේ ලංකාවේ දැවැන්ත චරිත එක්ක. විශේෂයෙන් කියන්න ඕන මාලිනී ෆොන්සේකා මහත්මිය මෙහි මගේ මවගේ භූමිකාව නිරූපණය කරන්නේ. මම පොඩි කාලයේ ඉඳන් ඇගේ රසිකයෙක්. ඉතින් ඇය සමඟ රංගනයේ යෙදෙන්න ලැබීම මට විශාල දෙයක්. ඒ වගේම ජගත් මනුවර්ණ, අශාන් ඩයස් වගේම අනෙකුත් චරිත සියල්ලක්ම පාහේ මේ ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත. එවැනි චරිත අතර මොහොතකටවත් මම නවකයෙක් කියලා දැනුණේ නැත්තේ ඔවුන්ගේ රංගන හැකියාවන් සහ වෘත්තීමයභාවය නිසා. මම එයාලත් එක්ක රඟපාපු නිසා මට මගේ චරිතය වඩාත් හොඳට කරන්න පුළුවන් වුණා. මට රංගනයට යම් කිසි හැකියාවක් තිබුණා නම් ඒක ඔවුන් සමඟ වැඩ කිරීමෙන් තවත් වැඩි දියුණු වුණා. ඒ වගේම තමයි අධ්‍යක්ෂවරයා. ඔහු සමඟ වැඩ කිරීම ඉතාමත් පහසුයි. ඔහු ඔහුට අවශ්‍ය දේ අපිට කියලා ඒ භූමිකාවට පණ පොවන්න විශාල නිදහසක් දුන්නා. චත්‍ර වීරමන් ඇතුළු මුළු කණ්ඩායමම මගේ මේ චරිතයට පණ පොවන්න විශාල උදව්වක් වුණා. ඒ නිසා තමයි මට මේ මට්ටමින් රඟපාන්න හැකි වුණේ.


ඔබේ රංගනයට ඉතාමත් ඉහළ ප්‍රතිචාර හිමි වෙනවා. මේ තරම් තාත්විකව රඟපෑම එතරම් පහසු නොවෙන්න ඇති?


ඇත්තටම ලොකු අභියෝගයක් තමයි ඒක. සිනමාව පිළිබඳව මම දන්නේ බොහොම පොඩ්ඩයි. ඒ දන්න පොඩි ප්‍රමාණය තුළ මගේ අදහස තමයි සිනමා නිර්මාණයකදි අඩුවෙන් රඟපාන්න ඕන කියන දේ. මොකද තිරයේ අපිව විශාලව පේන්නේ. එතැනදි අපි අනවශ්‍ය විධියට ලොකුවට රඟපාන්න ගියොත් ඒක හොඳට පේනවා. හැබැයි ආයු රූගත කිරීම් කරද්දි චත්‍ර වීරමන්ගේ මඟපෙන්වීම උපරිමයෙන් ලැබුණා. මට මගේ උපරිම දායකත්වය දෙන්න හැකි වුණේ ඒ මඟ පෙන්වීම නිසා.


මෙය සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙන් නිර්මාණය වූ චිත්‍රපටයක්. එතැනදී සැන්ඩ්‍රාට නිශිනිව දැනුණේ කොහොමද?


එක්තරා සත්‍ය සිදුවීමක් තමයි මේ ආයු චිත්‍රපටයට මූලික වෙලා තියෙන්නේ. මට ඇත්තටම ඒක ලොකු අභියෝගයක් වුණා. නිශිනිගේ චරිතය ඇතුළේ හැඟීම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ තරම් හැඟීම් විශාල ප්‍රමාණයක් නිරූපණය කරන්න තියෙන්නේ ඇය ඇගේ ජීවිතයේදී මුහුණ දෙන විවිධ අත්දැකීම් නිසා. විවාහය තුළ බිරියක් විධියට, දුවෙක් විධියට, වෛද්‍යවරියක් විධියට සමාජය ඇයගෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. මට තේරුණු විධියට කාන්තාවන් විධියට නිශිනිලා අපිට ජීවිතයේ එක එක තැන්වලදි හමුවෙනවා. ඇය අපි අතරත් ඉන්නවා. ඒ වගේම ජීවිතයේ මොනම හෝ අවස්ථාවකදි අපිට ඇයව ස්පර්ශ වෙනවා. හැබැයි මෙතැන ප්‍රධානම දේ තමයි අවසානයේ ඇය යන ගමන. ලොකු බරක් තියාගෙන වුණත් ඇය හරිම සැහැල්ලුවෙන් ඉදිරියට යනවා. නිශිනිගේ මම කැමැතිම දේ ඒක.


ඔබ රංගනය පිළිබඳව අවබෝධයක් තිබෙන කෙනෙක්. ඒ අත්දැකීම් ගැන කතා කළොත්?


මීට කලින් මම බූඩි කීර්තිසේනගේ සත්‍යය ටෙලි නාට්‍යයට දායක වෙලා තියෙනවා. ඒ වගේම කෙටි චිත්‍රපටයක් උදෙසාත් දායක වෙලා තියෙනවා. නමුත් මම හිතන්නේ මට රංගන හැකියාව එන්න ඇත්තේ පොඩි කාලේ ඉඳන් මට ඉංග්ලිශ් තියටර් එකට තිබුණු සම්බන්ධය නිසා වෙන්න ඇති. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම වේදිකාවට සම්බන්ධ වුණා. පසුකාලීනව බිට්‍රිෂ් කවුන්සිල් එකේදි විවිධ වැඩමුළුවලට සම්බන්ධ වෙලා විවිධ වේදිකා නිර්මාණ සඳහා දායක වුණා. ඔය විධියට මම ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කිහිපයකටම දායක වෙලා තියෙනවා.


ආයු චිත්‍රපටය රූගත කිරීම් කරලා වසර ගාණක් වුණත් මේ ප්ලොට් එක හරිම කාලානුරූපයි. සිනමාවේ වර්ධනයට මේ වගේ අලුත් ප්ලොට් මොන තරම් වැදගත්ද ?


අලුත් ප්ලොට්වලට වඩා ඒකට ගැළපෙන්නේ රෙලෙවන්ට් ප්ලොට් කියන වචනය. ඒ කියන්නේ තිර රචනයක් වුණාම මොන තරම් කාලයක් ගියත් ඒක ප්‍රේක්ෂකාගාරයට අදාළ වෙන, ඔවුන්ට සම්බන්ධ කරන්න පුළුවන් එකක් වෙන්න ඕන. මගේ අදහස නම් ඕනෑම නිර්මාණයකදී ජීවිතය පොඩ්ඩක් හරි ස්පර්ශ කරන්න පුළුවන් නම් ඒක පරණ වෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයෝ විධියට අපිට චිත්‍රපටයක් දැනෙන්නේ ඒක අපේ ජීවිතයේ පොඩි හෝ තැනක් ස්පර්ශ කරනවා නම්. ආයු නිර්මාණයක් විධියට සාර්ථක වෙන්න හේතුව ඒක.


ආයු සාමාන්‍ය සිංහල සිනමාපටයකට එහා ගිය වයිබ් එකක් දෙන මූවි එකක්. ඒ ගැනත් කියමු?


මාලිනී ෆොන්සේකා මහත්මිය එක්තරා අවස්ථාවකදී ආයු නරඹලා කියනවා “මේක ශ්‍රී ලංකාවේ හදපු ශ්‍රී ලංකාවේ නොවන ආකාරයේ චිත්‍රපටයක් කියලා.” ඇත්තටම ආයු චිත්‍රපටයේ වෙනම වයිබ් එකක් තියෙනවා. එතැනදි, තිර රචනය, අධ්‍යක්ෂණය, කැමරාකරණය, සංගීතය, සංස්කරණය මේ සියලුම දේවල් විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඒ හැම දෙයක්ම වෙනස් විධියට කරන්න ඔවුන් කටයුතු කරපු නිසා තමයි අවසානයේ මෙවැනි නිර්මාණයක් එළියට ඇවිත් තියෙන්නේ.


අවසන් වශයෙන් ප්‍රේක්ෂකයන්ට දිගටම සැන්ඩ්‍රාව සිනමාවේ දැකගන්න ලැබෙයිද කියලත් කියමු?


අනිවාර්යෙන්ම අවස්ථාවක් ලැබුණොත් රඟපාන්න කැමැතියි. ආයු රූගත කිරීම් කරලා ඒක එළියට එන්න වසර ගාණක් ගියා. දැන් ඒක තිරගත වෙලා ප්‍රේක්ෂකයන්ගේ අදහස් ලැබෙන්නේ. දැන් තමයි තේරෙන්නේ ඒකේ වටිනාකමක් තියෙනවා කියන දේ. මම මේ ඉන්ඩස්ට්‍රී එකට ආසයි. ඒ නිසා අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යෙන්ම හිතලා බලනවා.


අක්ෂි මාපා වීරසිංහ

gossiplanka image 2
Previous Post Next Post