තව අඟල් භාගයක් උස තිබුණා නම් පොලිසියේ – නයනි රාමනායක

gossiplanka image 2
 


නයනි රාමනායක කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල ඇයව අපට ටෙලිනාට්‍ය තුනකින් දකින්න ලැබෙනවා. පසුගිය කාලයේ නම් ඇය සතියේ දවස් හතේම ටෙලිනාට්‍යවලින් ඔබේ ආලින්දයට ගොඩවැදුණා. එකිනෙකට වෙනස් චරිත තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන නයනි රාමනායක සමග කළ සොඳුරු කතාබහයි මේ.


නයනි, මේ දවස්වල මොකද වෙන්නේ?


මේ දවස්වල අලුත් ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම් ආරම්භ කළා. ඊට අමතරව දෙරණ නාලිකාවේ බේකරි ගෙදර සහ සිනාවේ කතාවේ ටෙලිනාට්‍යය වගේම සිරස නාලිකාවේ ආලවන්ති ටෙලිනාට්‍යයත් විකාශය වෙනවා.


එකවර ටෙලිනාට්‍ය තුනක් විකාශය වනවා. ලැබෙන ප්‍රතිචාර මොනවගේද?


ඇත්තටම හොඳයි. ගිය මාසේ වනතුරු මම රඟපෑ ටෙලිනාට්‍ය හතක් විකාශය වුණා. ඒකත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා හිටියා. දැන් නම් ටෙලිනාට්‍ය තුනක් විකාශය වෙනවා. ඒ නිසා ටිකක් විතර කාර්යබහුලත්වය අඩුයි.



සංජය මුරමුදලි හැමදාම නයනිගෙන් ගුටිකනවාද?


ඔව්. ඔව්. හැමදාම ගුටිකනවා. අපි දෙන්නා ඇත්තටම ගහගන්නවා. සංජය අයියාත් ගොඩක් ලොකු සහයෝගයක් ලබාදෙනවා. එයත් කියන්නේ කමක් නෑ නංගි ඒ දර්ශන අපි ලස්සනට කරමු කියලා. සමහර වෙලාවට සංජය අයියට ගහපු පාරවල්වලට මගේ අතත් පුපුරු ගහනවා.


වේදිකාවේ වැඩකටයුතු කොහොමද?


අනුර වරාගොඩගේ අප්පච්චි, රංජිත් ද අල්විස්ගේ දුම්මල වරම, සුනිල් ලියනආරච්චිගේ සුරූපී කියන ටෙලිනාට්‍ය එක්ක මේ දිනවල රටවටා යනවා.


මේ ගමන පටන් ගත්තේ කොහොමද?


මුලින් මම වැඩ කළේ ශිවා අයියාගේ හිරු ඇවිදින් කියන ටෙලිනාට්‍යයේ. ඒ ටෙලිනාට්‍යයට මාව තෝරාගත්තේ චාමර සමරවික්‍රම අයියා. ඊට පසුව මම දෙරණ අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත්වෙලා අවසන් පස්දෙනා අතරට එනවා. ඊට පසුව තමයි මට ටෙලිනාට්‍යවල ප්‍රධාන චරිත ලැබුණේ.



දෙරණ අවුරුදු කුමරිය ඔබට වාසනාව ගෙනාවා?


ඇත්තටම ඔව්. දෙරණ වගේ නාලිකාවක ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් කරන්න ලැබෙන්නේ හරි කලාතුරකින්නේ. ගොඩක් අයට ලැබෙන්නේ නැති අවස්ථාවක්. අනික දෙරණ කියන්නේ ගොඩක් දෙනෙක් බලන නාලිකාවක්. ඒ අවස්ථාව මට ලැබුණා. චමින්ද අරඹේගෙදර වගේම සුබෝධනී කරුණාරත්න තමයි මට මේ සඳහා ගොඩක් උදව් කළේ.


මේ ආපු ගමනේදී කැපිලි කෙටිලිවලට මුහුණදෙන්න වෙලා තියෙනවාද?


එහෙම ලොකුවට නැහැ. සාමාන්‍යයෙන් අනෙක් අයට එන ප්‍රශ්න තමයි මටත් ඇවිත් තියෙන්නේ. හැබැයි ඉතිං මම කිසිම දෙයක් ගනන් ගන්නේ නැහැ. අපේ සෙට් එකේ මාව හඳුනන අය හොඳටම දන්නවා මම නැව ගිලුණත් බෑන් චූන් වගේ කියලා. කවුරු හරි ඇවිල්ලා බැනලා ගියත් මම හිනාවෙලා ඉන්නවා. ඒ හින්දා මට අවුලක් නෑ. ක්ෂේත්‍රය එපාවුණ වෙලාවලුත් තියෙනවා. ඒත් ඉතිං දවසයි දෙකයි. කවුරු හරි මට බැන්නත් මම ආපහු විනාඩි දහයකින් විතර කතාබහ කරලා යාළුවෙනවා.


නයනි රාමනායක කියන්නෙ මොන වගේ කෙනෙක්ද?


නයනි රාමනායක කියන්නේ හැමවෙලාවෙම නිදහසේ සතුටින් හිනාවෙලා ඉන්න චරිතයක්. නිදහසක් වෙලාවක් හම්බවුණොත් හැමෝම කරන්නේ කාත් එක්ක හරි කතාබහ කරන එකනේ. මම එහෙම නැහැ. හැමවෙලාවේම කරන්නේ තනියෙන් ඉන්න එක. මාත් එක්කම කතා කරන, මාත් එක්කම හිනාවෙන, මාත් එක්කම දුකසැප බෙදාගන්න තනි මනුස්සයෙක්. හැබැයි මම හැමෝමත් එක්කම යාළුයි. කාත් එක්කවත් තරහා නැහැ.


නයනිට තරහකාරයෝ නැහැ?


තරහකාරයෝ ඉන්නවා. හැබැයි එක තරහකාරයෙක් එක්කවත් මම තරහා නැහැ.


රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන්න ලැබීම ගැන සතුටුද?


ඇත්තටම සතුටුයි. පුංචි කාලේ ආසාවක් තිබ්බා, මම හිතන්නේ හය වසරේ හත වසරේ ඉඳලා කවදාහරි දවසක ටීවී එකේ මූණ පෙන්නගන්න ඕනෑ කියලා. මගේ ඥාතීන්ටත් කිව්වා මාව ටීවී එකේ වැඩසටහනකට දාලා දෙන්න කියලා. ඒ අයටත් ඒක කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් කවදාවත් හිතපු නැති විදිහට එකවරම ලැබුණ අවස්ථාවකින් මේ වගේ තැනකට එන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි.


ගෙදරින් විරුද්ධ වුණේ නැතිද?


මගේ අම්මා තාත්තා දෙන්නම රජයේ සේවයේ. ඒගොල්ලන්ටත් ඕනෑවුණේ මාව රජයේ සේවයේ රස්සාවක් කරවන්න. මුලින් මුලින් නම් මේකට කැමැත්තක් තිබුණේ නැහැ. මගේ තාත්තත් පොලිසියේ නිසා මුලදි මම පොලිස් එස්. අයි. තනතුරට අයැදුම් කළා. උස අඟල් භාගයක් අඩුයි කියලා මාව පොලිසියට ගත්තෙ නැහැ. ඉතිං ඒකත් එක්ක තමයි මම කලාව පැත්තට යොමු වුණේ.


තව අඟල් භාගයක් උස තිබුණා නම් පොලිස් නිලධාරිනියක්?


ඔව්. ඇත්තටම. එහෙනම් මේ වනවිට ඉහළ තනතුරකට ගිහිල්ලා.


පොලිසියේ හිටියා නම් මීට වැඩිය හොඳයි කියලා හිතෙනවද?


මෙහෙමයි. මමත් හරිම ආසයි පොලිසියට. මේ ලෝකේ තියෙන හොඳම රස්සාව හම්බවුණත් හිත තියෙන්නේ එතැන. හැබැයි ඒකට සාපේක්ෂව මේ රස්සාව කරන කොට හිතෙනවා මේ රස්සාව හරි ෂෝක් කියලා.


රඟපෑම වෘත්තිය වෙලාද?


ඔව්. දැන් මගේ එකම වෘත්තිය රඟපෑම. ඒ වගේම මම මේකප් ආටිස්ට් කෙනෙක්.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
Previous Post Next Post