ශ්‍රියන්ත මෙන්ඩිස් ඇගයීමේ උලෙළ

gossiplanka image 1
 

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ දශක පහකට ආසන්න කාලයක් නොකඩවා තම විශිෂ්ට දක්ෂතා පෙන්වූ දක්ෂ කලාකරුවකු වන ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ අගනා සේවය ඇගයීම සඳහා ‘පනස් වසරක රංග යාත්‍රිකයා‘ තේමාව යටතේ විශේෂ උපහාර උලෙළක් සංවිධානය කර ඇත. උත්සවය ඔක්තෝබර් 25 වන දින සවස 6.00ට එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම සංකල්පයට මූලිකත්වය ගෙන ඇත්තේ ප්‍රවීණ වේදිකා නාට්‍ය නිළි මාලි වීරසිංහ, රසාදරී පීරිස්, නිහාරි සෝමසිරි සහ අමිත්ත වීරසිංහ වන අතර, ආචාර්ය ධම්ම දිසානායක, ශර්මිලා ගෝනවිල සහ තවත් කලාකරුවන් රැසක් මෙයට එක්වෙමින් ඔවුන්ට සහයෝගය දක්වති.


එහිදී ප්‍රධාන දේශනය සරවිය ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් විසින් සිදු කිරීමට නියමිත අතර, ශ්‍රියන්ත මෙන්ඩිස් කලාකරුවාගේ ජීවිත කතාව ඇතුළත් කෘතියක්ද එළිදැක්වීමට නියමිත බව මාලි වීරසිංහ පැවසුවාය.


මෙම උත්සවය ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ජීවිතය පිළිබඳ සැකසූ වීඩියෝ දර්ශන, විවිධ කලා අංග ඇතුළත් තවත් විශේෂාංග රැසකින් සමන්විත වේ. විශේෂයෙන්ම මෙම උලෙළ සංවිධානය වන දින ඔහුගේ උපන්දිනය යෙදී තිබීමත්, ඔහු සහ ඔහුගේ බිරිඳ වන ප්‍රවීණ නිළි කුසුම් රේණු විවාහ වී වසර තිස්නවයක් සපිරීමත් මෙම උත්සවයට තවත් වර්ණයක් එක් කරයි. වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලිනාට්‍ය යන ත්‍රිත්ව මාධ්‍යයේම විශිෂ්ට රංගන දායකත්වයක් සැපයූ ඔහු, ‘ෆැන්ස දෙකේ හංසයා’, ‘ගැබ්බර මිනිසා’ වැනි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින්ද, ‘මෝරා’ වැනි නාට්‍යවල රඟපෑමෙන් හොඳම නළුවාට හිමි රාජ්‍ය සම්මාන දිනා ගනිමින්ද වේදිකාවෙන් තම කලා දිවිය ඇරඹීය.


‘සාගරයක් මැද’ චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි ඔහු, ‘භේරුණ්ඩ පක්ෂියා’ චිත්‍රපටයේ විශිෂ්ට රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ‘තුම්මුල්ලේ පද්මේ’ සිට ‘බෝගල සවුන්දිරිස්’ වැනි චරිත දක්වා වූ පුළුල් පරාසයක රංගනයෙන් සිය ප්‍රතිභාව මැනවින් ප්‍රදර්ශනය කළේය. ‘පළිඟු මැණිකේ’ ඇතුළු ටෙලිනාට්‍ය රාශියකට දායක වූ ශ්‍රියන්ත මෙන්ඩිස් පරම්පරා ගණනාවක ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්, මෙරට රංගන කලාවේ මූලික පදනම සකස් කළ කලාකරුවෙකු ලෙසද හදුන්වා දීමේ වරදක් නැතයි සිතේ.

gossiplanka image 2
Previous Post Next Post