ස්වාධීන රූපවාහිනී නාළිකාවේ සතියේ දිනවල විකාශය වන සිහිනෙක තනිවෙලා ටෙලි නිර්මාණය මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වී ඇත. එය වෙනස් රසවින්දනයක් සොයා යන ප්‍රේක්ෂකාගාරයට නිර්මාණය වූවකැයි සිතිය හැකිය. එහි ප්‍රධාන භූමිකාව වන ආදී ලෙස රංගනයෙන් දායක වන්නේ හිමේන් මේලක ජයසේකරය. සංගීතයට පෙම් බැඳි හිමේන්ට රංගනය හිමිවන්නේ අහම්බයෙනි. ළංවී ටෙලි නිර්මාණය ඔස්සේ කුලුඳුල් රංගන අත්දැකීම ලබන හිමේන් සිකුරු ඇවිත්, ජානු ටෙලි නිර්මාණවලට ද රංගනයෙන් දායක වූවේය. සිහිනෙක තනිවෙලා මේ දිනවල ඔහු ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගෙන යන ටෙලි නිර්මාණයයි. ආදිට ලැබෙන අසීමිත ප්‍රේක්ෂක ආදරය ද සමඟින් හිමේන් අප හා කතාබහට එක්වූවේය.
ආදි කියන්නේ මේ දවස්වල අසීමිතව ප්‍රතිචාර ලබන චරිතයක්. ඒ ගැන මොකද හිතෙන්නේ?
ආදි නිසා මේ දවස්වල මට ගොඩක්ම ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා. ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවම ගොඩක් දෙනෙක් හෙව්ව රස වින්දනයේ වෙනස සිහිනෙක තනිවෙලා ටෙලි නිර්මාණයෙන් ලැබෙනවා කියල හිතනවා. සිහිනෙක තනිවෙලා හසිත රාජපක්ෂගේ අධ්‍යක්ෂණයක්. තිර පිටපත තිමිර උඩලමත්තගේ. ඉරේෂා සඳමාලිගේ පළමු නිෂ්පාදනය. කැමරා අධ්‍යක්ෂණය නිලන්තගේ. හසිත අයියත් එක්ක මං මේ වැඩ කරන දෙවැනි අවස්ථාව. මීට කලින් ඔහු ළංවී ටෙලි නිර්මාණයේ සහාය අධ්‍යක්ෂ විදිහටත් කටයුතු කළා.
හිමේන් කියන්නෙ ක්ෂේත්‍රයට නවකයෙක් කිවුවත් හරි. අනෙක් ශිල්පීන්ගෙන් ලැබෙන සහාය ගැනත් මතක් කරමු?
අභිලාෂිගෙන් උපරිම සහායක් ලැබෙනවා. ඇයට තියෙන අත්දැකීම් එක්ක ලැබෙන සහාය මටත් ලොකු පහසුවක්. ඒ වගේම දිනූෂ දිසානායක, ගීත්මා බණ්ඩාර, ටනාෂා හතරසිංහ ඇතුළු විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා. ටනාෂාටත් මේකෙ වෙනස්ම කැරැක්ටර් එකක් ලැබිල තියෙනවා. ඒ හැමෝගෙන්ම ලොකු සහායක් ලැබෙනවා.
හිමේන් කියන්නේ දක්ෂතා රැසක් හිමි තරුණයෙක්. ආදි තුළින් ඒ හැකියාවන් එළියට ගන්න අවස්ථාවක් ලැබුණා කියල හිතනවද?
ඇත්තටම ඔව්. මම කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සංගීතය හරහා. මුලින්ම මං කළේ ගීත ගායනය. ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට සහභාගි වීමත් එක්ක තමයි දිල්ෂාන් අමරසිංහ අයියා ‘ළංවී‘ ටෙලි නිර්මාණයේ චරිතයක් තියෙනවා සම්බන්ධ වෙන්න කැමැතිද කියල ඇහුවේ. මං රංගනයට පිවිසෙන්නේ ඒ අත්දැකීමත් එක්ක. සිහිනෙක තනිවෙලා ටෙලි නිර්මාණයේ ආදි කියන්නේ ව්‍යාපාරික තරුණයෙක්. වාහන පදින්න, බයික් පදින්න, පිහිනන්න, ගායනය කරන්න වගේ මගේ තියෙන හැම හැකියාවක්ම මෙතනදි ප්‍රයෝජනයට ගන්න අවස්ථාව ලැබෙනවා. ඉදිරියේ දී මගේ ගායන හැකියාවටත් විශේෂ ඉඩක් ලැබෙනවා.
හිමේන්ගේ සිනමාවට සම්බන්ධතාව කොහොමද?
සිනමා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. එකක් ජනවාරිවල එන්න නියමිතයි. ඊට අමතරව තවත් සිනමා නිර්මාණ දෙකකට ආරාධනා ලැබිල තියෙනවා.
ඔබ ගොඩක්ම ජනප්‍රිය වුණේ සංසාරාණී ටෙලි නිර්මාණයේ ‘කොළයක් වැටුණා’ ගීතයත් එක්ක. කොහොමද ඒ අත්දැකීම?
“කොළයක් වැටුණා ගසකින්
ගස මුලටත් හොරෙන්
නුඹ ගියා වාගේ
මගේ ළඟින්
ඒ තරමට හෙමින්…“. මේ ගීතය සංසාරිණී ටෙලි නිර්මාණයේ තේමා ගීතය විදිහට ට්‍රෙන්ඩින් වුණා. යූටියුබ් එකේ ගොඩක් ප්‍රතිචාර ලබමින් ප්‍රචාරය වුණා. ගොඩක් අය ගායකයෙක් විදිහට මාව හඳුනාගත්තේ මේ ගීතයෙන්. ඒක තමයි ගොඩක්ම ජනප්‍රිය වුණු ගීතය. ගී පද රචනය වසන්ත දුක්ගන්නාරාලගේ. සංගීතය සාරිත එදිරිසිංහ. රෙකෝඩින් ස්ටුඩියෝ භාතිය සන්තුෂ්ගේ. මේ වෙද්දි මගේම ගීත හතරක් නිකුත් වෙලා තියෙනවා. ‘ඔබ දුටු දා’ කියන මගේ අලුත්ම ගීතය ළඟදීම රිලීස් වෙනවා. ඊට අමතරව ඔබ පිටුපා ගියා කියල ගීතයක් සහ ඉංග්‍රිසි සින්දුවක් එන්න තියෙනවා. තවත් ගීත කිහිපයක්ම සූදානම් කරමින් ඉන්නවා. ඒ වගේම ඇල්බම් එකක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. සංගීතය නිසා තමයි මට හැමදේම ලැබුණේ. හේමලාල් ගීතදේව මාස්ටර්ගෙන් තමයි මං සංගීතය හැදෑරුවේ. ඒ වගේම ප්‍රවීන් කියන ගිටාර් වාදක ශිල්පියාගෙන් රිදම් ගිටාර් ඉගෙන ගත්තා.
හිමේන් මේ දිනවල යෞවනියන්ගේ උන්මාදය බවට පත්වෙලා කිවුවත් හරි. හිමේන්ගේ පෞද්ගලික තොරතුරු දැනගන්නත් ඔවුන් කැමැති ඇති?
මගේ ගම හෝමාගම. මට ඉන්නේ අම්මයි තාත්තයි නංගියි විතරයි. මගේ නංගිත් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. අම්මයි තාත්තයි මමයි ව්‍යාපාරයක් කරගෙන යනවා. ඊට අමතරව තමයි මං සංගීතය සහ රංගනය පැත්තෙන් ඉදිරියට එන්නේ. මේ අංශ දෙකම සමබරව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
හිමේන් කියන්නේ කඩවසම් තරුණයෙක්නේ. ආදරය ගැනත් අත්දැකීම් නැති වෙන්න බැහැ?
තාම මං ආදරයක් ගැන නම් හිතල නැහැ. පවුලෙන් ලැබෙන ආදරයත් එක්ක මගේ කලා කටයුතු කරගෙන යන්න තමයි දැනට බලාපොරොත්තුව.