මේ දිනවල ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන ලවර්ස් ලීප් ඔස්සේ ඔබේ ආලින්දයට එන රන්දුණු කාගේත් හදවතේ රැඳුණු චරිතයක්. ඒ චරිතයට පණපොවන ඔහු නවක පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඉතින් මේ සොඳුරු කතාබහ මෙවර හදගැස්මට ඔහුගෙන්. ඔහු නමින් අභිෂේක් ප්‍රමුදිත.
ලවර්ස් ලීප් ටෙලි නාට්‍ය මේ දිනවල ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රියයි. රන්දුණුට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
‘රන්දුණු බබා’ කියන්නෙ නිතර ටෙලි නාට්‍යවල දකින්න ලැබෙන විධියේ තරුණයෙක් නෙවෙයි. එකකට එකක් සම්බන්ධ අඳුරු සහ ගුප්ත සිදුවීම් රැසක් රන්දුණු වටා ගෙතී තිබෙනවා. ඒ නිසා ඒ චරිතය දිහා ප්‍රේක්ෂකයන් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා දැකීමත් ඇත්තටම ලොකු සතුටක්. ඉතින් සමස්ත නිර්මාණයටත් අපේ කණ්ඩායමටත් ඒ වගේම රන්දුණු වෙනුවෙන් මටත් ලැබෙන යහපත් ප්‍රතිචාර, ගුණදොස් වගේ මේ හැමදෙයක් ගැනම මම සතුටු වෙනවා.
ලවර්ස් ලීප් තුළ ටෙලි නාට්‍යයකට එහා ගිය ෆිල්මින් ගතියක් තිබෙනවා?
ඔව්. සමාජ මාධ්‍යවල වුණත් බොහෝ දෙනකු ඒ ගැන ඉස්මතු කරනවා. රසික සුරවීරආරච්චි මේ කතාව අපූරු ලෙස රචනා කරලා තියෙන ක්‍රමවේදයත්, ඉන් පසුවට රනිල් කුලසිංහ තමන්ගේ අනන්‍යතාවක් සහිතව නවතාවක් මේ නිර්මාණය ඇතුළට රැගෙන ඒම වගේම සජීත වීරප්පෙරුම, අපේ කැමරා අධ්‍යක්ෂවරයා මේ නිර්මාණය වෙනුවෙන් දෙන visual treatment එක, කියන සාධක තුන තමයි ඔබ මේ කියන සිනමැටික් වයිබ් එක සමාජගත වීම පසුපස තිබෙන්නේ.
වේදිකාව හරහා සිනමාවට පැමිණි ප්‍රවීණයන් රැසක් සමඟ නවකයකු ලෙස වැඩ කිරීමේදී තිබූ සුසංයෝගය කොහොමද?
මට මේ නිර්මාණය වෙනුවෙන් ආරාධනාව ලැබුණ මොහොතේ, මේ අය සමඟ රඟපාන්න ලැබෙන බව දැනගැනීමත් මට ලොකු දිරිගැන්වීමක් වුණා. විශේෂයෙන් දිල්හානි අශෝකමාලා, ප්‍රියන්ත සිරිකුමාර, ශ්‍යාම් ප්‍රනාන්දු සහ විශ්වජිත් ගුණසේකර කියන්නෙ මගේ රංගන ජීවිතයේ මම ක්ෂේත්‍රයට එන්නත් කලින් ඉඳලා ගොඩක් ආශා කළ ප්‍රියතමයන්. ඒ වගේම අනුරාධ මල්ලවාරච්චි, සමන්ත පරණලියනගේ, හර්ෂිකා රත්නායක, මාධනී මල්වත්තගේ සහ සංජීව ගුණරත්න වගේ මේ නිර්මාණයේ සිටින සියලුම ප්‍රවීණයන්, මටත් අනෙක් තරුණ ශිල්පීන්ටත් රංගනයේදී ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ නිසාම ලවර්ස් ලීප් කියන්නෙ මට රංගනය හදාරන්න ලැබුණ ශිෂ්‍යත්වයක්.
දැන් දැන් ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය හරහා නිර්මාණ විචාරය හා විවේචනය කිරීම ගැන ඔබේ අදහස?
‘සමාජ මාධ්‍යය’හි තිබෙන හොඳ පැත්තක් මම ඒ ඔස්සේ දකිනවා. අපේ පැරැණි නිර්මාණවලටත් – ශිල්පීන්ටත් හොඳින් පොදු සමාජයට සමීප වෙන්න මේ හරහා හොඳ පාලමක් තනාදී තිබෙනවා. විචාරය සහ විවේචනය කියන දෙකම භාරගන්න ඒ ඔස්සේ නිර්මාණකරුවන්ට සිදු වෙනවා. ඒත් මම ඒ දෙක අතර දකින වෙනස තමයි, විචාරයකින් කිසිදා නිර්මාණය හෝ ශිල්පියා අත්නොහැරීම. විචාරයක් අරමුණු කරන්නේ අපේ බුද්ධිමය දියුණුව. ඒ නිසා විවේචනවලට අපි අවධානය දුන්නත්, විචාරය හරිහැටි අවබෝධ කරගන්නවා කියන්නෙම රංගන ශිල්පියෙක් ලෙස මට නම්, අනාගතය වෙනුවෙන් කරන හොඳ ආයෝජනයක්.
දැන් දැන් ටෙලි නාට්‍යය කලාව තුළත් බොළඳ ටෙලි නාට්‍යවලට එහා ගිය නිර්මාණ බිහිවෙනවා නේද?
නිර්මාණයක් බොළඳයි කියලා වර්ගීකරණය කරන්න තරම් මම මේ විෂයේ නිපුණත්වයට පත්වෙලා නෑ. ඒත් ජනගත වෙන සියලු නිර්මාණ අතුරෙන් ජනතා ප්‍රසාදයත් විචාරක ඇගයීමත් ලබන නිර්මාණ, අනෙක් නිර්මාණවලින් සුවිශේෂී වන්නේ මොන නිර්ණායක මතද කියන කාරණාව ගැන මම හොයලා බලනවා වගේම ඉගෙන ගන්නවා. අපේ අම්මලා පුංචි තිරයට සමීප වුණ කාලේ හොඳ ටෙලි නාට්‍ය සංස්කෘතියක් තිබුණ බව අපි අහලා තිබෙනවා. ඒ නිසාම අපි ක්ෂේත්‍රගත වෙමින් ඉන්නෙත් යළිත් එසේ උදාවන ස්වර්ණමය අවධියකදී බව මම විශ්වාස කරන්න කැමැතියි.
රනිල් කුලසිංහ නම් දක්ෂ අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
රනිල් අයියා සමඟ ඔහුගේ නිර්මාණයකට එක් වෙනවා කියන්නෙම, තරුණ රංගන ශිල්පියෙක්ට හොඳ හැදෑරීමකට ලැබෙන අවස්‍ථාවක්. රංගනය පිළිබඳවත් නිර්මාණකරණය ගැනත් රනිල් අයියට තියෙන යාවත්කාලීන දැනීම, ඔහු කිසිම පැකිළීමකින් තොරව අපි එක්ක බෙදාගන්නවා. ඒ නිසා නිර්මාණයේ සාර්ථකත්වය වගේම, රංගන ශිල්පීන් ලෙස අපේ චරිත නිරූපණයේ සාර්ථකත්වයක් ප්‍රේක්ෂකයා දකිනවා නම් – එහි ගෞරවයෙන් කොටසකුත් නිසැකවම රනිල් අයියා සතු වෙන්න ඕනෑ.
කුතුහලයත් සමඟ ඉදිරියට ඇදෙන ලවර්ස් ලීප්හි අවසානය ගැන ප්‍රේක්ෂකයන් දැඩි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා?
ඇතැම් ටෙලිනාට්‍ය දීර්ඝකාලීනව විකාශය වීම සමඟ, මුලදී තිබුණු රස නැතිවෙලා පසුව නීරස අවසානයක් උදාවෙනවා. නමුත් ලවර්ස් ලීප් කියන්නෙ, රූගත කිරීම් ආරම්භ වනවිටත් නිශ්චිත අවසානයක් සැලසුම් කරලා, තිර පිටපත අංගසම්පූර්ණව නිමා කළ නිර්මාණයක්. ඒක, රනිල් අයියගේ ටෙලි නාට්‍යවල එක අනන්‍යතාවක් කියලා කියන්නත් පුළුවන්. ඒ නිසා කතාව අතින් ප්‍රේක්ෂකයාට මුල – මැද – අග ගුණාත්මකව විඳගන්න පුළුවන් විධියේ නිර්මාණයක් තමයි ලවර්ස් ලීප් කියන්නේ. රසිකයන් ආදරයෙන් වැලඳගත් ආරම්භය වගේම, රසිකයන්ට සංවේදීව මතකයේ තබාගන්න පුළුවන් අවසානයක් ලබාදෙන්නත් අපි හැමෝම එක සමානව මහන්සි වෙමින් ඉන්නවා.
කලා ක්ෂේත්‍රයට කෙටි කලෙකින් නවක රංගන ශිල්පීන් – ශිල්පිනියන් එක්වුවද රැඳෙනවා අඩුයි නේද?
ඒක කලාවට විතරක් නෙවෙයි ඕනෑම ක්ෂේත්‍රයකට පොදු කාරණාවක්. පෙරටත් වඩා දැන් කලාවට එන පිරිස, සංඛ්‍යාත්මකව වැඩියි. නමුත් මේ වෘත්තිය ගොඩනැඟෙන්නේ විෂයානුබද්ධ ක්ෂේත්‍රයක නිසා, අධ්‍යාපනය සහ කළමනාකරණය කියන දෙකම හරියට අවබෝධ කරගත් නියැදියක් විතරයි අවසානයේදී මේක ඇතුළේ රැඳෙන්නෙ. ඒ අතළොස්ස කලාව ඇතුළේ පැවැත්ම ගොඩනඟාගන්න ක්‍රමවේදය හරියටම ග්‍රහණය කරගෙන තියෙනවා. තවදුරටත් කිව්වොත් නොනවත්වා ඉගෙන ගැනීමත් උනන්දුවෙන් නඩත්තු වීමත් සහ ලැබෙන අත්දැකීම් අවංකව එකතු කරගැනීමත් තමයි, කලා ක්ෂේත්‍රය තුළ සාර්ථක වීමේ පදනම.
ආදරය හා විවාහය ගැන ඔබේ අදහස?
ආදරය කියන්නෙ අපිට දැනුම් තේරුම් තියෙන පොඩිම කාලේ ඉඳලා අපි ළඟින්ම දැනෙන අවශ්‍යතාවක්. ආදරය නැතිව ජීවිතයක් නෑ කියලා මම විශ්වාස කරන්නෙත් ඒ නිසයි. මම ආදරයට ආදරය කරන කෙනෙක්. ඒත් ආදරය සහ විවාහය කියන්නෙ මට අනුව පරිච්ඡේද දෙකක්. විවාහය ගැන අදහස් දක්වන්න තරම් මට තවම මහ ලොකු දැනුමක්, තේරුමක් නෑ. නමුත් කාලයත් සමඟ අපි ඒ තැන්වලට හරිම වෙලාවෙදි ගමන් කරයි කියන සුබවාදී අදහස මට තිබෙනවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
‘අසංධිමිත’ ටෙලි නිර්මාණය තමයි මගේ මීළඟ බලාපොරොත්තුව. එහි මම කරන්නේ වෙනස්ම චරිතයක්. ඒ වගේම ජයශිකා පද්මසිරි අධ්‍යක්ෂණය කළ ‘Meraki Sutra’ චිත්‍රපටයේ රූගත කිරීම් පසුගියදා නිමාවුණා. ඒ හරහා ප්‍රධාන චරිතයකින්ම සිනමාවට අවතීර්ණ වෙන්න ලැබුණ එක ගැනත් සතුටක් තිබෙනවා. කොහොමත් සිනමාව තමයි මගේ සිහිනය සහ ඉලක්කය. ඒ නිසා සිනමාව ඇතුළේ, මම කාලයක ඉඳලා ආශාවෙන් බලාගෙන ඉන්න තවත් නිර්මාණයක් වෙනුවෙනුත් මට ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ දේවල් ගැනත් අපි ඉදිරි දවසක කතා කරමු.