ඔබ අන්තර්ජාතික සිනමා පටයකට රංගනයෙන් දායක වන බව අපිට දැන ගන්න ලැබුණා ඒ ගැන කියමු?
මම මුලින්ම අන්තර්ජාතික සිනමා පයකට රංගනයෙන් දායක වුණේ ආරුගම්බේ කියන සිනමා පටය හරහා. එය ඊශ්‍රායල් සිනමා පටයක්. එය රූගත කළේ ලංකාවේ ආරුගම්බේ කියන ප්‍රදේශයේ. එහි අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදන කණ්ඩායම ඊශ්‍රායල් ජාතිකයන්. එය හීබෲ සහ ඉංග්‍රීසි කියන භාෂාවෙන් යුක්ත සිනමා පටයක්. මාර්කෝ කාමෙල් කියන්නේ ඊශ්‍රායලයේ සිටින ප්‍රබල සිනමාකරුවෙක්. එහි රූගත කිරීම් සිදු වුණේ 2022 වර්ෂයේදී. 2023දී තමයි මට මෙම සිනමා පටයට ආරාධනා ලැබුණේ. එහි නම Sunny’s Mansion.
සනීස් මෑන්ෂන් ගැන කතා කරමු?
ශ්‍රී ලංකාවේ උපන් නමුත් දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන පුද්ගලයෙක් තමයි මේ සිනමා පටය අධ්‍යක්ෂණය කළේ. ඔහු නමින් හර්මන් පෙරේරා. ඔහුගේ සිනමා ගමන ආරම්භ වන්නේ ඕස්ට්‍රේලියාවේදී. ඔහු සිනමාව ටෙලිවිෂනය ගැන හදාරා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේදී. මේ සිනමා පටය තමයි ඔහුගේ පළමු සිනමා නිර්මාණය වන්නේ. ඔහු මෙම සිනමා පටයේ තිර රචකයා ලෙසද කටයුතු කරනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය ගෙතෙන්නේ ආසියාතිකයෙක් වටා. ඉතින් ඔවුන් තීරණය කරලා තිබෙනවා තමන්ගේ රටේ සිටින රංගන ශිල්පියෙක්ට මෙම අවස්ථාව ලබා දෙන්න. ඒ අනුව මට අවස්ථාව ලැබුණා. වෙනත් රටක කෙනෙක් මේ සිනමා පටය නිර්මාණය කළා නම් මේ අවස්ථාව ඇක්ටර් බෑන්ක් එක හරහා ඉන්දියානු රංගන ශිල්පියකුගේ අතට යන්න තිබුණා. ඉතින් මාව මේ චරිතය සඳහා තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔහුට තුති පුද කරනවා.
මේ සිනමා පටය රූගත කළ මොහොතෙහි ලැබුණු අත්දැකීම් ගැන කතා කරනවා නම්?
මෙහි රූගත කිරීම් සම්පූර්ණයෙන්ම සිදු වුණේ ඕස්ට්‍රේලියාවේදී. මෙහි රංගන ශිල්පීන් කාර්මික ශිල්පීන් සියල්ල විදේශිකයන්. මම තමයි එතැන සිටි එකම ආසියාතිකයා. රූගත කරන ආකාරය ලෝකයේ එක වුණත් ඒ රටවල කරන විධියෙහි වෙනසක් තිබෙනවා. එහේ ප්‍රොෆෙෂනලිස්ම් කියන දෙය ඉතාමත් හොඳින් තිබෙනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් වෘත්තීයමය ලෙස කටයුතු කරනවා. ඔවුන් මේ විෂය තුළ පරතෙරට ගිය මිනිසුන්. ඔවුන් සමඟ වැඩ කිරීම ඉතා පහසුයි. ඔවුන් රංගන ශිල්පීන් සමඟ ඉතා හොඳින් ගනුදෙනු කරනවා. ඇත්තටම මේක ඉතා අපූරු අත්දැකීමක්.
අන්තර්ජාතික සිනමා පටයකට රංගනයෙන් දායක වීමට ලැබීම ගැන ඔබේ අදහස?
අපි මේ අවස්ථාව ආරම්භයක් කරගෙන අන්තර්ජාතික තලයට ගමන් කරන්න ඕන. අපේ රටේ ඉතා දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් සිටිනවා. අපි අන්තර්ජාතික සිනමාව සමඟ ගනුදෙනු කරමින් ලෝකයට යන්න ඕන. අපිට එය තරණය කරන්න හැකියාව තිබෙනවා. අපි ඒ අභියෝගය ලබා නොගෙන සිටියොත් අපිට ඒ අවස්ථාවන් ගිලිහී යනවා. ඇත්තටම මේක ලොකු අභිමානයක්. මේක මම පෞද්ගලිකව ලබාගත් දෙයක් වුණත් රජයක් ලෙස මෙවැනි දේවල් සඳහා සහයෝගය ලබා දෙන්න පුළුවන් නම් හොඳයි කියා මම සිතනවා. මේ වැඩ කටයුතු තුළ මනා විනයක් තිබුණා. ඒ කෙසේ වෙතත් අවසානය දක්වාම අපි එක පවුලක් ලෙස කටයුතු කළා.
මෙම සිනමා පටය අපිට නරඹන්න ලැබෙන්නේ කවදාද?
මේ සිනමා පටය ඇමසන් ප්‍රයිම් හරහා ඔබට දැක බලා ගන්න හැකියාව ලැබී තිබෙනවා. නමුත් තවම අපේ රීජන් එකට ඒ අවස්ථාව උදා වී නැහැ. ඒ වගේම අද එහි මංගල දර්ශනය පැවැත්වෙනවා. ඒ Dandenong හි The Drum Theaterවලදී. ඉතින් ඉක්මනින්ම ලාංකේය ප්‍රේක්ෂකයාට මෙය දැක බලා ගන්නට අවස්ථාව උදාවේවි.
මෙය හොරර් හෙවත් අත්භූත සිනමා ශානරයේ සිනමා පටයක්. ඒ ගැනත් කතාබහ කරමු?
ඇත්තටම හොරර් සිනමා ශානරය කියන්නේ අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ විශාල ඉල්ලුමක් තිබෙන සිනමා ශානරයක්. ඔවුන් හොරර් ලෙස බලන්නේ වෙනත් මානයකින්. මම මේ සිනමා පටයෙහි පණ පොවන්නේ අදෘශ්‍යමාන බලයක් තිබෙන චරිතයකට. අපි මේ සිනමා පටය රූගත කළේ ජනගහනය ඉතා අඩු සීතල ප්‍රදේශයක. මෙහි රූගත කිරීම් සිදු කළේ යටත් විජිත යුගයේ තනිකරම කළු ගලින් නිර්මාණය කළ සැබෑම මන්දිරයක. එය අක්කර ගණනක ඉඩමක්. ඇත්තටම ඒ අත්දැකීමත් එක්තරා ආකාරයක වෙනස් අත්දැකීමක්.
සැප්තැම්බර් ගැන කියනවා නම්?
මට සැප්තැම්බර් සිනමා පටය සැප්තැම්බර් මාසෙම නිකුත් කරන්න අදහසක් තිබුණේ නැහැ. අපිට හැකි තරම් අවශ්‍ය වුණේ සැප්තැම්බර් මාසය මඟ හරින්නම තමයි. සැප්තැම්බර් සැප්තැම්බර්වල එනවට වඩා ඔක්තෝබර්වල එන එක ලස්සනයි. මේ වන විට එහි සියලු වැඩකටයුතු අවසානයි. ලබන වසරේ මුල හෝ මැද එය ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්න අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. මට දැනුණ දේවල් තිබුණා. මම අසරණ වූ, මට අඬන්නට ලැජ්ජ වුණු අවස්ථා තිබුණා. මෙය අපි සාකච්ඡාවට ගෙන එන විට එය පොදු ප්‍රශ්නයක් බව මට වැටහුණා. පිරිමියාගේ කඩා වැටීම ගැහැනියට වගේම දරුවාටත් බලපානවා. ඉතින් ඒ ගැන කතිකාවක් ගොඩ නැඟීමේ අරමුණින් තමයි මේ සිනමා පටය නිර්මාණය වුණේ.
ඉදිරි වැඩ කටයුතු ගැන මතක් කරමු?
මේ සිනමා පටයෙන් පසුව තවත් අන්තර්ජාතික සිනමා පටයකට ආරධනා ලැබී තිබෙනවා. එය තවමත් තිබෙන්නේ ඉතා මූලික මට්ටමක. ඒ වගේම එරංග සේනාරත්න මහතාගේ සිනමා පටයක වැඩ කටයුතු සමඟ සම්බන්ධ වී කටයුතු කරනවා. මේ එළැඹෙන දෙසැම්බරයේදී ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ සිනමා පටයක රූගත කිරීම් ආරම්භ වෙනවා. ඉතින් ඒ සඳහා සහභාගි වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.