
ඔහු ඉතා මනරම් සිතුවම් නිර්මාණය කරන චිත්‍ර ශිල්පියෙකි. එසේම චිත්‍ර ගුරුවරයෙකි. පුංචි කාලේ පටන් තිබූ දැඩි සබකෝලය නිසා ඔහු වේදිකාවක් අසලින්වත් ගියේ නැත. මයික්රෆෝනයක් ඇල්ලුවේවත් නැත. කොළඹ හැදී වැඩී, විවේකානන්ද පාසලෙන් අධ්‍යාපනය ලැබුවත්, අප්‍රමාණ වූ කෞෂල්‍යයන් රැසක් තිබුණු නමුත් ඒවාට ඉදිරිපත් වීමට තරම් චිත්ත ශක්තියක් නොමැතිකම නිසා ඔහු පාසල තුළ සැඟවුණු ශිෂ්‍යයෙකි. එහෙත් ඔහු මේ වනවිට යෞවන යෞවනියන්ගේ නොමද ආදරය ලබමින් සිටින, කඩවසම් පෙනුමක් ඇති පුංචි තිරයේ ආකර්ෂණීය රංගන ශිල්පියෙකි, නිවේදකයෙකි, නිරූපණ ශිල්පියෙකි. එසේම ගායන ශිල්පියෙකි. මේ දිනවල පුංචි තිරයේ විකාශය වන නිර්මාණ රැසකින් අපට හමුවන ඔහු දර්ශන් තවරාජා යි.
කලා ක්ෂේත්‍රයේ භූමිකා රැසක් නියෝජනය කරන්න අවස්ථාව ලැබීම ගැන මොකද හිතන්නේ?
මා තුළ මොන වගේ හැකියාවන් තිබුණද කියලා පුංචි කාලේ තරමක් දුරට දැනගෙන හිටියත් කිසිම දේකට ඉදිරිපත් වෙන්න තරම් මට ආත්ම ශක්තියක් තිබුණේ නැහැ. මම කවදාවත් ඉස්කෝලෙදි වේදිකවට නැඟලා නැහැ. මයික් එකකින් කතා කරලා නැහැ. ඒවාට ඉදිරිපත් වෙන්න තිබුණු බය නිසා මං කිසි දේකට ගියේ නැහැ. නමුත් මම චිත්‍ර ඇන්දා. චිත්‍ර ඉගෙන ගන්න පාසලේදී අවස්ථාවන් ලැබුණා. ඒ වගේම චිත්‍ර අඳින්න මට පාසලේදී ඕනෑ තරම් වෙලාව තිබුණා. මම හැම තිස්සේම චිත්‍ර ඇන්දා. පාසලෙන් පස්සේ මම රැකියාවකට ගියා. දෙමළ මාධ්‍ය රූපවාහිනි නාළිකාවක නිවේදන කටයුතු කරන්න ලැබුණා. ඒ අතරතුර වෙනත් නාළිකාවක ටෙලි නාට්‍යයක රඟපාන්න අවස්ථාව ලැබුණා. නිවේදන කටයුතු කරමින් සිටි නාළිකාවෙන් ඉවත් වෙලා ටෙලි නාට්‍යයේ රඟපාන්න පටන් ගත්තා. ඊට පස්සේ තව තවත් ටෙලි නාට්‍යවල රඟපාන්න ලැබුණා. සිංහල ටෙලි නාට්‍යවල රඟපාන්න මම ආසයි. රඟපෑම නිසා කාර්ය බහුල වුණා. නමුත් නිවේදන කටයුතු කරන්නත් ආසයි. මේ දේවල් නිසා බොහෝ කාලයක් චිත්‍ර අඳින්න මට වෙලාව නැති වුණා. දැන් මම චිත්‍ර පන්තියක් පටන් ගත්තා. ඒ සඳහා වේලාව වෙන් කරගෙන තියෙනවා. චිත්‍ර ගුරුවරයෙක් හැටියටත්, චිත්‍ර ශිල්පියෙක් හැටියටත් ඒ කටයුතු සතුටින් කරනවා. විවිධ වයස්වල, බොහෝ පිරිසක් මගේ චිත්‍ර පන්තියට එනවා. රඟපෑම් කටයුතුත්, නිවේදන කටයුතුත් ඒ අතර ලැබෙන විදිහට කරගෙන යනවා.
ඔබට මේ හැකියාවන් ලැබුණේ කොහොම ද…?
හැකියාව ලැබුණේ කොහොමද කියන තරමට හැකියාව තියෙනවා ද කියලා කියන්න දන්නේ නැහැ. මෙම මේ දේවල් කරන්න පටන් ගත්තේ ඒවා ගැන ඉගෙන ගෙන නෙවෙයි. නමුත් මේ හැමදෙයක්ම කරන්න පටන් ගත්තාට පස්සේ ඒ ගැන හොයන්න, හදාරන්න, අභ්‍යාස කරන්න පටන් ගත්තා. මට ලැබෙන අවස්ථාවලට අනුව ඒවාට අවශ්‍ය විදිහට පුහුණුවීම් කරනවා. ඒ ගැන ඒ අවස්ථාවේදී හැදෑරීම් කරනවා. නමුත් පුංචි කාලේ ඉඳලා චිත්‍ර ඇන්දා. චිත්‍ර ශිල්පය ඉගෙන ගත්තා. මට දැනෙන විදිහට මා තුළ තවම තියෙන්නේ මේ හැකියාවන්වලින් සියයට විසි පහක් විතර වගේ තමයි. ඉදිරියේදී ලැබෙන අවස්ථා අනුව හැකියාව තවදුරටත් වර්ධනය කර ගන්න උත්සාහ කරනවා.
පාසල් ජීවිතයේදී චිත්‍ර කලාව හැදෑරූ කෙනෙක් හැටියට ඒ අංශයෙන් ජයග්‍රහණ ලබාගෙන තිබෙනවාද?
නැහැ. අනෙකුත් කිසිම අංශයකින් කිසිම තරගයකට ඉදිරිපත් නොවුණා වගේම චිත්‍ර අංශයෙනුත් මට කිසිම තරගයකට පාසල් ජීවිතයේදී ඉදිරිපත් වෙන්න බැරි වුණා. ඒ ගැන මට ලොකු දුකක් තියෙනවා. කලා අංශයකින් හෝ වෙනත් තරගයකින්වත් මට පාසලෙන් එක සහතිකයක්වත් ලබා ගන්න බැරි වුණා. ඒ මම තරගවලට ඉදිරිපත් නොවුණු නිසයි. මම දැනගෙන හිටියා මට පුළුවන් කියලා. ඒත් මට ඉදිරිපත් වෙන්න තරම් හිතට ශක්තියක් තිබුණේ නැහැ. හිතේ ආත්ම විශ්වාසයක් නැත්නම් අපි ළඟ මොන හැකියාවක් තිබුණත් වැඩක් නැහැ.
ඔබගේ ගම, පවුලේ අයගේ තොරතුරු මොනවා ද..?
මගේ අම්මාගේ ගම කොළඹ. මගේ ගමත් කොළඹමයි. තාත්තාගේ ගම යාපනය. ඒ වුණාට පස්සේ මීගමුවේ පදිංචියට ඇවිත් තියෙනවා. මට තව අක්කා කෙනෙක් ඉන්නවා.
ඔබ වෙනත් රටවල කලා කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවා ද?
ඔව්. මම වෙනත් රටවල තිබුණු ප්‍රසංගවලට සම්බන්ධ වෙලා නිවේදන කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ගීත ගායනා කරලාත් තියෙනවා. නමුත් වෙනත් රටක සිනමා නිර්මාණයකට, ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා නැහැ. අවස්ථාවක් ලැබුණොත් එවැනි නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලොකු කැමැත්තක් තියෙනවා.”
ඔබ මාධ්‍ය ක්ෂේත්රයට පිවිසීම අහම්බයක් ද?
ඇත්තටම මම මාධ්‍ය ක්ෂේත්රයට පිවිසීම අහම්බයක් තමයි. ටෙලිවිෂන් එකක නිවේදකයෙක් දවසක් මට පාරෙදි හමු වුණා. එයා එක්ක මම ගිහින් නිකමට කතා කළා. එයාව ටෙලිවිෂන් එකේ දැකලා තියෙනවා කියලා මම කිව්වා. ඒ කතා බහ නිසා ඇති වුණු දැන හැඳුනුම්කම අනුව එයා මට ටෙලිවිෂන් එකේ නිවේදන කටයුත්තක් සඳහා අවස්ථාවක් ලබා දුන්නා. එහෙම ආරම්භ වුණු ගමන තමයි මේ විදිහට යන්නේ.
නළුවෙක් නම් කඩවසම්, ආකර්ෂණීය පෙනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ ද?
මට ඒක එහෙම කියන්න හරි අමාරුයි. ඇත්තටම කෙනෙක්ව දැකලා එයා පෙනුම තියෙන කෙනෙක් ද නැති කෙනෙක් ද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. කෙනෙකුගේ පෙනුම ඒ කෙනා දිහා බලන කෙනාගේ දැක්ම, සිතුවිලි අනුව වෙනස් වෙනවා. කොහොමටත් අපි හැමෝම එකිනෙකාට වෙනස් පෙනුමක්, ගතිගුණ ඇතුව තමයි ඉපදිලා තියෙන්නේ. නළුවෙක් එහෙමත් නැත්නම් රංගන ශිල්පියෙක් හිතනවා නම් බාහිරින් ලස්සන පෙනුමක් පවත්වාගෙන යාමෙන් නළුවෙක් විදිහට ගමනක් තියෙනවා කියලා මම නම් හිතන්නේ ඒක වැරදියි. රංගන ශිල්පියෙක් හොඳට රඟපානවා, චරිත නිරූපණයක් කරනවා කියලා ඒ හා සමාන තවත් රංගන ශිල්පියෙකුටවත් කියන්න බැහැ. ඒ තීරණය ගන්නේ දෙවියන් සහ ඒ කෙනාගේ රංගනයන් දකින ප්රේක්ෂකයායි. ප්‍රවීණ, නවක, ආධුනික රංගන ශිල්පීන් කියලා වර්ගීකරණයක් තියෙනවා තමයි. නමුත් ඒ කවුරු වුණත් චරිතයක් නිරූපණය කිරීමේදී ප්‍රේක්ෂකයා සෑහීමකට පත් වෙනවා නම් ඒ නළුවාට ඉදිරි ගමනක් තියෙනවා. ජ්‍යේෂ්ඨ ශිල්පීන්ව ඒ තත්ත්වයට පත් කළේත් ප්‍රේක්ෂකයාම තමයි.
