
දශක ගණනාවක සිටම විවිධ චරිත ඔස්සේ ඔබ හමුවට පැමිණි ඇය දක්ෂ චරිතාංග නිළියක් ලෙස හඳුන්වා දිය හැකිය. ඊට අමතරව මේ වන විට ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක් ලෙසද කටයුතු කරයි. මේ දිනවල ජාතික රූපවාහිනිය මඟින් විකාශය වන “ආදරණීය මිනිසෙක්” ටෙලි නාට්‍යයේ ‘දේවිකා’ගේ චරිතය තුළින් ඔබගේ ආලින්දයට පැමිණෙන ගයනා සුදර්ශනී නම් ඇය ‘හදගැස්ම’ අපි සමඟ අදහස් බෙදා ගත්තේ මෙලෙසින්ය. ඔබ රංගනයෙන් දායක වෙලා ඉන්න අලුත්ම නිර්මාණය ගැන කියලා මේ කතාබහ ආරම්භ කරමු?
‘ආදරණීය මිනිසෙක්’ ටෙලි නාට්‍ය කියන්නේ 2020 වසරෙදි මම සහ මගේ සැමියා සහන් විජේසිංහ විසින් නිෂ්පාදනය කරන්න යොදා ගත් නිර්මාණයක්. පළමුවතාවේදී කොවිඩ් නිසා එහි නිෂ්පාදන කටයුතු කල් යනවා. ඉන් පසුවත් කිහිපවතාවකදීම මෙම නිර්මාණය කරන්න හැදුවත් එහි වැඩ කටයුතු ආරම්භ කරන්න වෙන්නෙ නැහැ. නලීන් ප්‍රදීප් උඩවෙල කියන්නෙ මගේ හොඳ යාළුවෙක්. ඒ වගේම අපි දෙන්නා එකම ගමේ අසල්වාසීන්. දවසක් පාරෙදි හමුවෙලා නලීන් මගෙන් අහනවා ගයනා ඔයා ළඟ පිටපතක් නැද්ද? මගේ ළඟ ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්නවා. එයා හොඳ පිටපතක් හොයනවා. ලැබුණෙ නැහැ කියලා. මම ඉතින් මේ පිටපත ගැන කිව්වා.
ඒ පිටපත කියවලා බලපු නලීන්ට ඒකට ආස හිතිලා මට මේ නාට්‍ය කරන්න දෙන්න කියලා මගෙන් ඉල්ලුවා. ඉතින් මම ඒ කතාව මගේ සැමියා සහන් සමඟ කිව්වා. සහන් කැමැති වුණා නලීන්ට ඒ නිර්මාණය දෙන්න. “ආදරණීය මිනිසෙක්” කියන නමත් අපි දාපු නමක්. සුනන්ද සිල්වා අපිට පිටපත දුන්නෙ නමක් නැතිවයි.
මෙහි ඔබ රඟපාන චරිතය ගැන කතා කළොත්?
ටෙලි නාට්‍යයේ මගේ චරිතයේ නම දේවිකා. එම නාට්‍යයේ ප්‍රධාන චරිත තුනක් තියෙනවා. එයින් එක චරිතයක් කරන්නෙ මම. අනෙක් චරිත දෙක කළේ බිමල් ජයකොඩි සහ නලීන් ප්‍රදීප් උඩවෙල. දේවිකා කියන්නේ දරුවෙක් සමඟ තනි වූ ගැහැනියක්. ඇය එලෙසින් තනි වෙන්නෙ තමන්ගෙ ස්වාමියා නොකළ වරදකට හිර ගෙදර යෑම නිසා. එහිදී දේවිකා තමන්ගේ ස්වාමිපුරුෂයා බලන්න හිරගෙදරට යනවා. ඒ අතරතුර ඇයට වෙනත් පුද්ගලයකු හමුවෙනවා. මේ පුවත හිරගෙදර ඉන්න ඇයගේ ස්වාමියාට ආරංචි වෙනවා. එහිදී බොරු අසනීපයක් ගෙන නීත්‍යනුකූල සැමියා ඇයගෙන් දුරස් වෙනවා. එම දුරස්වීමත් සමඟ අර හමු වූ පුද්ගලයා සමඟ දේවිකා විවාහ වෙනවා. නමුත් සමාවක් ලැබිලා ඇයගේ කලින් ස්වාමිපුරුෂයාත් නිදහස් වෙලා ගමට එනවා. එහිදී දේවිකා මේ ආදරණීය මිනිසුන් දෙදෙනාගේම ආදරය ලබන ගැහැනියක් බවට පත්වෙනවා. එහෙම තමයි දේවිකාගේ චරිතය නාට්‍ය මාලාව පුරාම දිගහැරෙන්නෙ.
නලීන් ප්‍රදීප් උඩවෙලගේ සමුගැනීමත් සමඟ ටෙලි නාට්‍යයේ ගලායෑම සිදුවන්නේ කෙසේද?
මුලින්ම ඒ සම්බන්ධයෙන් මගේ කනගාටුව පළ කරනවා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් අපට ජීවත් වන තුරුම අමතක නොවන වේදනාවක් ඉතිරි වුණා. මේ නාට්‍යයේ බිමල් එක්ක රඟපාන්න හිටියේ සහන්. එයාට වැඩ වැඩි වුණ නිසා නලීන්ට ඒ චරිතය භාර දුන්නා. නලීන් ඒ චරිතය භාර ගත්තේ හරිම ආසාවෙන්. ඒත් එයාට එම චරිතය කරන්න පුළුවන් වුණේ පළමු දර්ශනවල විතරයි. ඒ නිසා එම නිර්මාණයේ පිටපත වෙනස් කරන්න අපට සිදුවුණා. එහෙම වෙනස් කළේ එයා ආයෙම රඟපාන්න එයි කියලා හිතාගෙනයි. නමුත් ආයෙම ඒ චරිතය රඟපාන්න නලීන් ප්‍රදීප් උඩවෙල කවදාවත්ම එන්නෙ නැහැ. ඒ නිසා නැවත වතාවක් ඒ නාට්‍ය පිටපත වෙනස් කරන්න වෙනවා. එහිදී නාට්‍යයේ වටිනාකම අඩු වෙනවා විතරක් නෙවෙයි නලීන් අපට අහිමිවීමේ වේදනාව අමතක නොවන මතකයක් වෙලා අපේ සිත් තුළ හැමදාමත් තිබෙනවා.
කොහොමද මේ චරිතයට ලැබුණු ප්‍රතිචාර?
මේ නාට්‍යයේ පළමු කොටස් විශාල ප්‍රමාණයක් නරඹලා තිබුණා. ඒ වගේම පළමු කොටසෙන්ම හිතාගන්න බැරි ප්‍රතිචාර ලැබුණා. මේ කතාව අප ජීවත් වන සමාජයට ගොඩක් සමීපයි. ඒ නිසා වෙන්න ඇති මේ තරම් විශාල ලෙස ප්‍රතිචාර ලැබෙන්නෙ.
රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර රංගන ශිල්පයකුට හෝ ශිල්පිනියකට මොන තරම් වැදගත්ද?
ඒක නම් වචනයෙන් කියන්න බැහැ. අපි මේ තැන ඉන්නෙ අපේ රසිකයන් නිසයි. අපිට ලොකු ලොකු චරිත රඟපාන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ හැම චරිතයකටම වටිනාකමක් එකතු කරන්න පුළුවන්කම ලැබෙන්නෙ රසිකයන්ට පමණයි. අපිට එතරම් ලොකු වටිනාකමක් දෙන ඒ මිනිස්සුන්ට අපිත් නිහතමානි වෙන්න ඕනෑ. ඔවුන්ට ආදරය කරන්නත් ඕනෑ. මට නම් රසික ප්‍රතිචාර මහ මෙරක් තරම් වටිනවා.
දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් වූ ඔබට වර්තමාන කලා ක්ෂේත්‍රය පිළිබඳ මොනවද හිතෙන්නෙ?
මේ ක්ෂේත්‍රයේ මනහරම සුන්දරම කාලයේ තමයි මම කලාවට ආවේ. 70 දශකය සිනමාවේ ස්වර්ණමය යුගය වගේ අපි සහ අපිට පෙර පරපුරේ අයටත් අවස්ථාව ලැබෙනවා ටෙලි නාට්‍යයේ ස්වර්ණමය යුගය සමඟ සම්බන්ධ වෙන්න. එහෙත් ටෙලි නාට්‍ය විකාශයට චැනල් වැඩිවෙන්න වැඩිවෙන්න පෞද්ගලික මාධ්‍ය ආයතන වැඩිවෙන්න වැඩිවෙන්න ටෙලි නාට්‍යවල ගුණාත්මක බව නැතිවුණා. අදටත් සමහර චැනල්වල විකාශය වන සමහර ටෙලිනාට්‍ය බලන්න හිතෙන්නෙ නැහැ. ඒවායේ ඒ තරම්ම සීනිබෝල කතන්දර තිබෙනවා. ඒ වගේම රියැලිටි වැඩසටහන්වලට එන ළමයින්ම දාගෙන ඒ කරන්නෙ ටෙලි නාට්‍ය රංගනයක් නොවෙයි වෙනම යුද්ධයක්. එහෙම වුණාම කලාව පිරිහෙනවා. උපතින්ම සහජ හැකියාවක් ඇති. ඒ වුණාට සාර්ථක ගමනක් යන්න නම් අපි යමක් කරද්දී ඉගෙන ගන්න ඕනෑ. එහෙම වුණාම තමයි ඕනෑම ක්ෂේත්‍රයක ගුණාත්මක බව රැඳෙන්නෙ.
රංගනයට වගේම නිෂ්පාදන කාර්යයටත් යොමු වූ ඔබ අධ්‍යක්ෂණයට යොමු වෙන්න අදහසක් නැද්ද?
රංගනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය කියන්නේ එකිනෙකට වෙනස් කාර්යයන්. ඒ නිසා මේ වර්ග තුන පටලවා ගන්න හොඳ නැහැ. ඒත් අද වෙලා තියෙන්නේ රඟපාන්න බැරි අය අධ්‍යක්ෂණයට යොමු වෙනවා. රඟපෑම හරියට කරන්න බැරි අය රංගනය උගන්වන්න වැඩමුළු පවත්වනවා. එහෙම බැහැ. එහෙම කළාම නිර්මාණයන්හි ගුණාත්මක බව නැතිවෙලා යනවා. මම සහ මගේ සැමියා සහන් මේ වන විට රඟපෑම සහ නිෂ්පාදනයේ නියැළිලා ඉන්නවා. අධ්‍යක්ෂණයට නම් යොමු වෙන්න තව කාලයක් යයි. මොකද අධ්‍යක්ෂණය ආවාට ගියාට කරන්න බැහැ. එහෙම දෙයක් කරන්න ඕනෑ මනා අධ්‍යයනයක් ලැබීමෙන් පසුවයි.
ඉදිරි කටයුතු ගැන කියලම මේ කතාබහ අවසන් කරමු?
සැප්තැම්බර් මාසේ 25 වැනිදා සිට වසන්ත මොරගොඩගේ අලුත් ටෙලි නාට්‍යයේ රූගත කිරීම් පටන් ගන්නවා. ඒ වගේම නොවැම්බර්වල තවත් නිර්මාණයකට ආරාධනා ලැබිලා තිබෙනවා. තව සහන් සහ මම එකතු වෙලා ලබන අවුරුද්දෙ අප්‍රේල්වල අලුත් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
අරුණි ජයසේකර
