
නළුවෙක් වීම පහසු වුවත් දක්ෂ නළුවෙක් වීම කිසිසේත්ම පහසු නැත. එයිනුත් තමන් දායක වන සෑම නිර්මාණයක් හරහාම වෙනස් විධියේ භූමිකාවකින් ප්‍රේක්ෂකයා හමුවට එන්නට ලැබෙන්නේ අතළොස්සක් වූ රංගන ශිල්පීන්ට පමණය. ඒ අතළොස්ස අතර සිටින චමීර ලියනගේ යනු මේ මොහොත වන විට මෙරට සිටින වඩාත් ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පීන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින අයෙකි. මෙවර හදගැස්ම අපි ඔහු සමඟ සුහද කතාබහක නියැළුණේ ඔහුගේ ඉදිරි වැඩකටයුතු ගැන ඔබ හා බෙදාගැනීමේ අරමුණෙනුයි. පසුගිය දිනෙක ලැබුණු සම්මානය ගැන කියලම කතාව පටන් ගමු?
2025 කැලීන් පොපියුලර් අවෝඩ් වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය මට පසුගිය දිනෙක හිමිවුණා. ඇත්තටම ඒ වගේ ඇගයීමක් හිමිවීම ගැන විශාල සතුටක් තියෙනවා. මේක මගේ පළමුවන ජනප්‍රිය සම්මානය.
ඒ ගැන මොනවගේ හැඟීමක්ද මේ වෙලාවේ තියෙන්නේ?
ඇත්තටම මට මේ ජනප්‍රියම නළුවා සම්මානය හිමිවෙන්නෙ, ඉරගිනි මද්දහන වගේම වීදුරු තිරත් එක සේ වැදගත් වුණා. සුලෝචන ගැන කතා කරන්න මම බය වෙන්නේ නැහැ. මොකද මම මේ වෙද්දී ඒ චරිතය කරලා, ඒක විකාශය වෙලත් අවසන්. මේ චරිත දෙකම ජනතාව ආදරයෙන් වැලඳගත්ත නිසා තමයි මට ජනතා සම්මානය හිමිවුණේ. ඕනෑම නළුවෙක්ගේ අරමුණ තමයි හොඳම නළුවා සම්මානය ලබා ගැනීම. මමත් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. නමුත් මට හිමි වුණේ ජනතාවගේ සම්මානය. මගේ ප්‍රේක්ෂකයෝ නිතරම මගෙන් අහපු දෙයක් තමයි චමීර ඇයි ඔයාට සම්මානයක් හිමි වෙන්නේ නැත්තේ කියන එක. සමහරු පෞද්ගලිකව මැසේජ් දාලා පවා ඒ ගැන අහනවා. ඒත් එක්කම ගොඩක් ප්‍රේක්ෂකයෝ කියපු දෙයක් තමයි අපි ඔයාට මේ පාර සම්මානයක් අරන් දෙනවා කියන එක. ඉතින් මගේ ප්‍රේක්ෂකයන් මට ඒ සම්මානය අරගෙන දුන්නා. මට ගොඩක් සතුටුයි ඒ ගැන.
අවුරුද්දේ මුල හොඳම සැමියා වෙලා අවුරුද්දේ මැද වෙද්දී නරකම සැමියා විධියට බැනුම් අහන්න වුණා නේද?
ඒක තමයි නළුවෙක්ගේ භූමිකාව. නළුවා කියන කෙනා මොනයම් හෝ චරිතයක් භාර ගත්තොත් ඒ චරිතයට උපරිම සාධාරණයක් කිරීමට ඔහු බැඳී සිටිනවා. ඇත්තටම මම මට ලැබෙන හැම චරිතයකටම උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා, ඒකට හැඟීම් ප්‍රකාශනය, දෙබස් කියන ආකාරය, බාහිර පෙනුම මේ හැමදේම වැදගත්. ඉරගිනි මද්දහනේ මහතුන් නෙවෙයි වීදුරු තිර එකේ හිටපු සුලෝචන කියන්නේ. මහතුන් ටිකක් නිහඬ යටහත් පහත් චරිතයක් වෙද්දී, සුලෝචන කියන්නේ වලව් පරම්පරාවක ඉපදිලා විදෙස් රටක අධ්‍යාපනය ලබපු සමලිංගික නැමියාවක් තිබෙන පුද්ගලයෙක්. මහතුන්ව සුලෝචන විධියට වෙනස් කරන්න මම මාස දෙකක් ඇතුළත ජිම් ගිහින් මගේ ශරීරය සම්පූර්ණයෙන් වෙනස් කර ගන්න සිද්ධ වුණා.
මේ අවුරුද්ද චමීරගේ අවුරුද්ද කියලා කිව්වොත් ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. ඉරගිනි මද්දහන නිසා වෙනම ප්‍රේක්ෂක පිරිසක් මගේ වටේ එකතු වුණා. ඒකත් එක්ක වෙනම වයිබ් එකක් හැදුණා. ඊට පස්සේ වීදුරු තිර වෙනුවෙන් වෙනම ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වුණා. පස්සේ මේ දෙපිරිසම එකට වීදුරු තිර බැලුවා. නළුවෙක් විධියට සතුටු වෙන්න පුළුවන් ලොකුම කාරණාව, නළුවෙක්ට අවශ්‍යම දේ තමයි ප්‍රේක්ෂකයන්ගේ ආදරය. ඒක මට ලැබිලා තියනවා. නළුවෙක් විධියට මම හැමදාම ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කළා. රන්තිලි වැව, රාවණ, වෙස්, දාම් වගේ හැම නාට්‍යයකටම උපරිම සාධාරණයක් කරා. හැබැයි ඒ චරිත වෙනුවෙන් සම්මාන උළෙලවල්වල ඇගයීමක් ලැබුණේ නැහැ. නමුත් නළුවෙක්ට තමන් කරන හොඳ වැඩක් වෙනුවෙන් මොනයම් හෝ ඇගයීමක් ලැබෙනවා කියන්නේ ඒක හොඳ බූස්ට් එකක්. එතැනින් පස්සේ ඒ චරිතය තවත් හොඳට කරන්න එයා උත්සාහ කරනවා. ඇත්තටම මේ වසරේ ලැබුණු මේ සම්මානය මට ලොකු උත්තේජනයක්.
කොටසක් ඔබේ රංගනය අගයද්දී, තවත් පිරිසක් රටේ ප්‍රධානම මාධ්‍ය නාළිකාවකින් අනවශ්‍ය දේවල් පෙන්වනවා කියලත් චෝදනා කළා නේද?
මිනිස්සු බැන්නා විතරක් නෙවෙයි, වීදුරු තිර නවත්වන්න කියලා ඒ නාළිකාවට පෙත්සම් පවා එවලා තිබුණා. ඒ නිර්මාණය හරහා අපි කතා කළේ සමාජයේ එක්තරා පැතිකඩක් ගැන. සමාජයේ ඉන්න එක්තරා පිරිසක් ගැන. මම එතැනදි කළේ චරිතයක් නිරූපණය කරන එක. වීදුරු තිර කියන්නේ මගේ ජීවිතයේ මට ගොඩක් විවේචන ආපු ටෙලි නාට්‍යයක්. නමුත් ඒ විවේචනම අන්තිමට මට ආශීර්වාදයක් වුණා. මිනිස්සු මට ගොඩක් ගල් ගැහුවා. සමහරු පෞද්ගලිකව මගෙන් ඇහුවා ඇයි එහෙම නිර්මාණයක් භාර ගත්තේ කියලා. නමුත් ශලනි මට ස්ක්‍රිප්ට් එක එව්වම මම තේරුම් ගත්තා ඒකෙන් මාර ගේමක් ගහන්න පුළුවන් බව. රංගන ශිල්පියෙක්ට හොඳ ස්ක්‍රිප්ට් එකක් තරම් වටින දෙයක් වෙන නැහැ. වැඩිපුර ගල් ගහද්දි තමයි නාට්‍යයත් වැඩියෙන් හිට් වෙන්න පටන් ගත්තේ. නමුත් එක්තරා තැනකදි මිනිස්සු තේරුම් ගත්තා මේ වගේ දේවල් සමාජයේ සිද්ධ වෙනවා කියන එක. වීදුරු තිර හරහා අපි උත්සාහ කළේ සමාජයට පණිවිඩයක් දෙන්න. ඒ පණිවුඩය මිනිස්සු ග්‍රහණය කරගැනීම විශාල සතුටක්.
ඔබ චරිත හැම එකක්ම එකිනෙකට වෙනස්, මේ විවිධත්වය රංගන ශිල්පියෙක්ට මොන තරම් වැදගත්ද?
මම මේ අවුරුද්දේ ජාතියේ පියා වුණා. ජාතියේ නරකම ස්වාමිපුරුෂයත් වුණා. දැන් ජාතියේ වීරයකුත් වෙලා තමයි නතර කරන්නේ. හැබැයි මම කවදාවත් කරපුම විධියේ චරිතයක් ආයේ කරන්නේ නැහැ. ආයේ කිසිම දවසක මම සමලිංගික භූමිකාවකට දායක වෙන්නේ නැහැ. මම හැම මොහොතකම බලන්නේ විවිධාකර චරිත හරහා ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්න. මේ ලැබුණු සම්මානයත් එක්කම ඒ වගකීම තවත් වැඩිවෙලා තියෙනවා. මොකද ප්‍රේක්ෂකයන් මට සම්මානයක් දුන්නේ ඔවුන් මගේ රංගනය ගැන තෘප්තිමත් වෙලා ඒ ගැන සතුටු නිසා. ඒ නිසා මගේ වගකීම තමයි ඔවුන්ට හැමදාම වෙනස් විධියේ හොඳ රංගනයකට දායක වෙලා පෙන්නන එක. චමීරගේ රඟපෑම් හොඳයි, නියමයි කියන එක තමයි මට අහගන්න ඕන.
මේ දවස්වල චමීරව ජාතික වීරයෙක් කරලා තියෙන හිද්දලයෝ ගැනත් කතා කරමු?
හිද්දලයෝ කියන්නේ රනිල් කුලසිංහගේ අධ්‍යක්ෂණයක්. ඒක මේ දවස්වල හිරු ටීවි එකේ සෙනසුරාදා හා ඉරිදා සවස 6ට විකාශය වෙනවා. ඒ නාට්‍යයේ මාත් තරින්දිත් ඇතුළු පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. සමන්තා සහ මහතුන් වෙනුවට එහි පුංචි බණ්ඩර හා සුවති කුමාරිහාමි විධියට තමයි අපි ප්‍රේක්ෂකයා ඉදිරියට එන්නේ. ප්‍රේක්ෂකයන්ට ඒක වෙනස් විධියේ අත්දැකීමක්. මේ වෙද්දිත් ඒකට ඉතාමත් හොඳ ප්‍රතිචර ලැබෙමින් පවතිනවා.
අවසන් වශයෙන් ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරමු?
හිද්දලයෝ ටෙලි නාට්‍යයට අමතරව මේ දවස්වල තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂවරයාගේ රාවණ චිත්‍රපටයේ රූගත කිරීම් සිදු වෙනවා. මම මෙහිත් කාලනෙමි චරිතයම තමයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. එත් එක්කම මම මේ වෙලාවේ මගේ ප්‍රේක්ෂයන්ට ස්තුති කරනවා. ඔවුන් තමයි මට මේ ඇගයීම ලබා දුන්නේ. ඒ නිසා මම හැමදාමත් ඔවුන්ගේ විශ්වාසය රකිනවා.
අක්ෂි මාපා වීරසිංහ
