කැමරාව ඉස්සරහ විහිළු කළාට මම සීරියස් මනුස්සයෙක්- සම්පත් ජයවීර

gossiplanka image 1
 

ඔහු තමන්ට ලබා දෙන ඕනෑම චරිතයකට සියයට සියයක් සාධාරණය ඉටු කිරීමට හැකි අති දක්ෂ රංගන ශිල්පියෙකි. වේදිකාවෙන් ඇරැඹි ගමන තුළ, වසර ගණනක් පුරාවට එක ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගනිමින් මෙරට සිටින සීමිත චරිතාංග රංගන ශිල්පීන් අතර ඉහළින්ම සිටින ඔහු, නළුකමට ණය නැති නළුවෙක් ලෙස හැඳින්වීමට හැකි අයෙකි. මේ දිනවල ජහුටා ටෙලි නාට්‍යය හේතුවෙන් වඩාත් කතාබහට ලක්ව සිටින මේ ප්‍රවීණ රංගන ශිල්පියා නමින් සම්පත් ජයවීර නම් වේ. මේ දවස්වල විස්තර ටිකක් කියලම ඉමු?


මේ දවස්වල ප්‍රධාන වශයෙන්ම ටෙලි නාට්‍ය රූගත කිරීම් එක්ක සහ වේදිකා නාට්‍ය එක්ක තමයි කාලය ගතවෙන්නේ. විශේෂයෙන්ම මේ දවස්වල මගේ ටෙලි නාට්‍ය තුනක් විකාශය වෙනවා. ඒ රාග, පැබ්ලෝ සහ ජහුටා. ඊට අමතරව ලෝරන්ස්ගේ මනමාලි සහ මම නෙවෙයි වෙන කෙනෙක් වේදිකා නාට්‍ය දෙක මේ දවස්වල වේදිකාගත වෙනවා. ඔය දේවල් එක්ක තමයි මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ.


මේ හැම නිර්මාණයකම ඔබේ භූමිකාවන් එකිනෙකට වෙනස්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


හොඳයි. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ නිර්මාණ රසවිඳින අය එකිනෙකට වෙනස් චරිත නිරූපණයන්ට අදාළව යහපත් ප්‍රතිචාර ලබා දෙනවා. ඇත්තටම ඒක මම කියනවාටත් වඩා එළියෙන් ලැබෙන ප්‍රතිචාරය තමයි වැදගත්. මොකද ඒ නිර්මාණවල සාර්ථකත්වය දකින්නේ ඒක නරඹන ප්‍රේක්ෂකයන්. ඉතින් ඒත් එක්කම  ලැබෙන ප්‍රතිචාර ඉතා හොඳයි.


අද වෙද්දී රංගනයට පිවිසීම පහසු වෙලා, නමුත් එහෙම එන බහුතරයක් නිසි අධ්‍යනයක ඉන්නවා කියලා පෙනෙන්නේ නැහැ?


රංගනය කියන්නේ පුළුල් විෂයක්. ඇත්තටම ගොඩක් අය මේක විෂයක්  කියලා දන්නෙත් නැහැ. මේක ඇතුළේ ඉගෙන ගන්න, හදාරන්න ගොඩක් දෙවල් තියෙනවා. හොලිවුඩ්, බොලිවුඩ්  ගත්තොත් ඔවුන්ට ජාතික මට්ටමේ රංග පාසල් තියෙනවා. අපිට එහෙම දේවල් නැහැ. විශ්වවිද්‍යාල මට්ටමෙන් උපාධි තිබුණාට අපේ ගොඩක් රංගනය හදාරන්න තියෙන්නේ පෞද්ගලිකව එක එක පුද්ගලයන් පවත්වාගෙන යන  රංග පාසල්, වැඩමුළු හරහා. ලංකාවෙන් එළියේ සමහර නළු නිළියෝ ඉන්නවා රංගනය සම්බන්ධයෙන් පී.එච්.ඩී. පවා තියෙන. මේක විෂයක් විධියට ඉගෙනගෙන ඒක කොහොමද ප්‍රායෝගිකව භාවිත කරන්නේ කියන එක ගැන අවබෝධයක් තිබිය යුතුයි. අද  ගොඩක් අයට මේකට පිවිසෙන්න අවස්ථාවන් තිබුණට ඒ අවබෝධය නැහැ. අද වෙද්දි මමත් රංගනය පිළිබඳව උගන්වනවා. මම මගේ ශිෂ්‍යයන්ට කියන දෙයක් තමයි රංගනය කියන එක අපේ ඇඟේ කොටසක් බවට පත් කරගන්න ඕන කියලා. එතකොට තමයි මේක පත්තියන් වෙන්න පටන් ගන්නේ. නමුත් ගොඩක් අයට ඒ අවබෝධ නැහැ. හැබැයි අපේ රටේ නිවැරැදි ක්‍රමවේදයක් නැති නිසා ඒ වගේ ලේසි පාරවල් හොයන අයට වැරැද්දක් කියන්නත් බැහැ. ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ ඉන්න අය අලුතෙන් එන අයට  හැමදාම බැන බැන ඉන්න එකේ තේරුමක් නැහැ. පුළුවන් විධියට ගුරුහරුකමක් බලාපොරොත්තු වෙන අයට ඒක දෙන එක තමයි අපි කළ යුතු.


අපේ කලාව තාමත් රට ඇතුළට සීමා වෙලා, ඇයි ඒ?


ඒක අද ඊයේ ගැටලුවක් නෙවෙයි. මීට පරම්පරා කීපයකට කලින් ඉඳලම ඒ දේ සිදු නොවුණු නිසා ඇති වුණු තත්ත්වයක්. මේ ක්ෂේත්‍රය ඇතුළේ නිසි ක්‍රමවේදයක් හැදිලා නැහැ. ආචාරධර්ම හැදිලා නැහැ. හැමදේම ගණන් ගියත් ටෙලි නාට්‍ය කොටසක මිල ඉහළ ගිහින් නැහැ. අද වෙද්දි ඉතාමත් අඩු මුදලකට තමයි නාළිකාවලින් නිර්මාණ ලබාගන්නේ. නිෂ්පාදකවරයාටවත් ලොකු ලාභයක් නැහැ. මේවාට යම් කිසි ක්‍රමවේදයක් හදන්න තිබ්බේ මීට කලින්. කලාව වෙනුවෙන් දේශපාලනය කරපු අය ඉන්නවා. දේශපාලකයන්ගේ ළඟින්ම හිටපු අය ඉන්නවා. අපේ ජ්‍යෙෂ්ඨයෝ ඉන්නවා. ඒ කාටවත් හිතිලා නැහැ මේක අපි හදාගන්න ඕන කියලා. මේ ක්ෂේත්‍රය රාජ්‍ය මැදිහත්වීමක් සහිත, නියාමනයක් සහිත ක්ෂේත්‍රයක් බවට පත්වෙලා නැහැ.


දැන්වත් මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනෑ නේද?


මේක හැදිලා තිබ්බා නම් අපිට තියෙන්නේ ඒ බැට්න් එක අරගෙන යන්න. නමුත් මේ වෙද්දි මේක කුණුවෙලා හොඳටම නරක් වුණාම තමයි අපිට ඒක හදන්න වෙලා තියෙන්නේ. නමුත් ඉන්න කෙනෙක්ටවත් එකතු වෙලා මේක හදාගන්න ලොකු උනන්දුවක් නැහැ. අපි ඒ වෙනුවෙන් ගොඩක් උත්සාහ කරලා තියෙනවා. එක්තරා යුගයක අපේ සිනමාවයි හින්දි සිනමාවයි එක මට්ටමක තිබිලා තියෙන්නේ. අපි ඉන්දියාවේ ගිහින් චිත්‍රපට රූගත කිරීම් කරනවා. එයාලා මෙහේ එනවා. ඉන්දියාව වේගයෙන් ඉදිරියට යද්දි, අපි ඉන්න තැනිනුත් පහළට වැටිලා තියෙන සිනමා ශාලා ටිකත් වැහිලා යන මට්ටමට පත් වුණා. අපි මේකට නිසි පදනමක් දාගත්ත නැති එකේ ප්‍රතිඵලයක් තමයි මේක. මේක බොහොම කලින් කරන්න තිබුණු දෙයක්.


වේදිකාව නැවතත් පණ ගහලා ඇවිත්, වේදිකාවෙන් ආපු කෙනෙක් විධියට ඒ ගැනත් කතා කරමු?


රටේ තිබුණු  ආර්ථික අවපාතයන්, විවිධ වසංගත වගේ දේවල් නිසා වේදිකාව ටිකක් මන්දගාමී වුණත් නැවතත් ඒක පණගහලා නැඟිටලා තියෙනවා. වේදිකාව කියන එක කවදාවත් නැති වෙන්නේ නැහැ. විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වයන් නිසා ප්‍රේක්ෂකයන් වේදිකාවෙන් ඈත් වෙලා හිටියත් ඔවුන් නැවතත් වේදිකාවට එනවා. මොකද වේදිකාව තමයි ප්‍රාසාංගික කලාවන්හි මවු කලාව. මොනවා වුණත් දරුවෝ අම්මාගෙන් ඈත් කරන්න බැහැ වගේ තමයි  ප්‍රේක්ෂකයන්ව වේදිකාවෙන් ඈත් කරන්න බැහැ. හොඳ නිර්මාණ කෙරෙනවා නම්, ඒකට අවශ්‍ය ප්‍රචාරණය සිද්ධ වෙනවා නම් මිනිස්සු නාට්‍ය බලන්න එනවා. කොළඹ විතරක් නෙවෙයි ලංකාවේ බොහෝ ප්‍රදේශවලට අපි නාට්‍ය අරගෙන යනවා. අපි ඒ හැම  තැනකම නාට්‍ය පෙන්වන්නේ පිරී ඉතිරී ගිය ප්‍රේක්ෂකාගාරයකට.


ප්‍රේක්ෂකයන් නිතරම සමාජ මාධ්‍ය තුළ තමන් රසවිඳින නිර්මාණ ගැන කතා කරනවා, මේ කාරණය ඔබ දකින්නේ කොහොමද?


ඒකෙ වාසි-අවාසි දෙකම තියෙනවා. මොකද ඇතැමුන් විචාරය කරන්නේ ඒ පිළිබඳව හරියට  දැනගෙන නෙවෙයි. මේ දිනවල ජහුටා ටෙලි නාට්‍යයේ මම දායක වන චරිතයට ජනතාවගෙන් හොඳ ප්‍රතිචාර හම්බෙනවා. එතැනදි ඒ එක වීඩියෝ එකකට ප්‍රේක්ෂකයන් ඉදිරිපත් කරලා තිබුණු විවිධ අදහස් අතර, මම එක්තරා පුද්ගලයෙක්ට හිනා වෙලා කතා කළේ නැහැ කියලා දාපු කමෙන්ට් එකක් තිබුණා. ඔහු සඳහන් කරලා තිබුණු ස්ථානයට මම අන්තිමට ගියේ මීට වසර ගාණකට කලින්, ඒකත් අපේ ප්‍රවීණ කලාකරුවෙක්ගේ අවමංගල්‍යයක් වෙනුවෙන්. ඉතින් සමහර පුද්ගලයන් බලාපොරොත්තු වෙනවා අපි තිරයේදි රඟපාන චරිතය සැබෑ ජීවිතයේදිත් රඟපෑ යුතුයි කියලා. තිරයෙන් එළියේ අපි සාමාන්‍ය මිනිස්සු. කැමරාව ඉස්සරහ විහිළු කළාට සැබෑ ජීවිතයේදි මම සීරියස් මනුස්සයෙක්. මට කවුරුහරි කතා කළොත් මම කතා කරනවා. එහෙම නැතුව මූණට හම්බෙන හැම මනුස්සයාටම විහිළු කර කර යන්නෙ නැහැ. ඒ වගේ දේවල් නිර්මාණය සඳහා  අවශ්‍ය නොවුණත්  මිනිස්සු නිර්මාණය විචාරය කරනවා කියලා කරන්නේ එවැනි දේවල්. ඒ නිසා මේ කාරණයේදී හොඳ-නරක දෙකම තියෙනවා. සමහර නිර්මාණ මේ වගේ විචාරයන් නිසා එන්නත් කලින්ම කුණු කූඩෙට යන අවස්ථා තියෙනවා.


අවසන් වශයෙන් ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු?


තව අලුත් නිර්මාණ කිහිපයක් සම්බන්ධයෙන් යෝජනා ඇවිත් තියෙනවා. ඒ වගේම  චිත්‍රපට දෙක තුනක් ගැන කතාවෙමින් ඉන්නවා. ඒවත් කරන්න බොහොම ආසාවෙන් ඉන්නවා. ඊට අමතරව මගේම නිර්මාණයක් කරන්නත් සූදානමක් තියෙනවා. පසුගිය කාලයේ රටේ තිබුණු ප්‍රශ්න නිසා ඒ අදහස  පස්සට ගියත් නැවතත් ඒ ගැන අවධානය යොමු කරන්න තමයි හිතාගෙන ඉන්නේ.


අක්ෂි මාපා වීරසිංහ

gossiplanka image 2
Previous Post Next Post