
ඇය ප්‍රේක්ෂක ආදරය එදත් අදත් නොඅඩුවම දිනාගත් නවක පරපුරේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. පුංචි තිරයේ වගේම රිදී තිරයෙත් ඇය රැන්දූ මතක අපූරුයි. ඉතින් සම්මාන දිනා ගනිමින් ක්ෂේත්‍රය තුළ දිනෙන් දින නිහතමානීව ඉදිරියට යන ඇය නමින් නෙත්මි රොෂෙල්. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්.
මේ දිනවල ඔබේ අලුත් වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල මගේ අලුත්ම ටෙලි ඩ්‍රාමා එක “තරු ආදරේ” හිරු නාළිකාවේ විකාශය වෙන්න පටන් ගත්තා. තව වැඩකටයුතු දෙක තුනකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිර්මාණ රිලීස් වෙද්දී ඒ ගැනත් කියන්නම්.
ඔබ දිගින් දිගටම ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් මෙවර ලක්ස් දෙරණ සිනමා සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවා නේද?
ඒ ප්‍රේක්ෂක ආදරය මම හිතන්නේ මට ලොකුම ආශීර්වාදයක්. මම මේ ක්ෂේත්‍රයට ආවාට පස්සේ මට ලැබුණු වටිනාම දේ ප්‍රේක්ෂක ආදරය තමයි. ඉතින් ඒ ආදරයට මම හරිම ආදරෙයි. මම ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා අද වෙනකල්ම මට ඒ ආදරය නොඅඩුවම ලැබෙනවා. ආර්ටිස්ට් කෙනෙක් විධියට අපි බලාපොරොත්තු වන ලොකුම දේ තමයි ප්‍රේක්ෂක ආදරය. ඉතින් මට හරිම සතුටුයි. ඒ වගේම ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තිබෙනවා.
තරු ගුණයත් රැකගෙන ජනප්‍රියත්වයත් රඳවාගෙන ඉදිරියට යෑමේ ඔබේ රහස කියමු?
මම හිතන්නේ මම මීට අවුරුදු පහකට කලින් ආපු නෙත්මි රොෂෙල්මයි. මේ මම ඉන්න විධියටනේ මිනිස්සු මට ගොඩක් ආදරය කරන්නේ. මම මගේ රංගනය පැත්තෙන් දේවල් අලුතෙන් ඉගෙන ගන්නවා හැරුණු කොට මම ඉන්න විධියේ වෙනසක් කරලා නෑ. මම හැමවෙලේම මගේ රසිකයොත් එක්ක මුහු වෙන්න බලනවා. ඒ අය මම වෙනුවෙන් වෙන් කරන කාලයට මම අනිවාර්යයෙන්ම වටිනාකමක් දෙනවා. මම හිතන දෙයක් තමයි අපි කොතරම් ක්ෂේත්‍රය තුළ ලොකු වැඩ කළත් ඒ දේවල් අපේ ප්‍රේක්ෂකයන් බලලා ඒවායේ ගුණ දොස් කීවේ නැත්නම් අපි ඒ කරන දේවල්වලින් ප්‍රයෝජනයක් නෑ. මේ ක්ෂේත්‍රයේ හැමෝම වැඩ කටයුතු කරන්නේ මිනිසුන්ට බලන්නනේ. ඇත්තටම මම හරිම වාසනාවන්තයි. මොකද මම කරන වැඩ කටයුතු බලලා අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන් ඒවායේ ගුණ දොස් මට කියනවා. මීට අවුරුදු පහකට කලින් අවුරුදු කුමරියක් විධියට ක්ෂේත්‍රයට ආපු මට ලැබුණු ආදරය ඒ විධියටම රඳවාගෙන මමත් ඒ ආදරය ඒ විධියටම ඔවුන්ට ලබා දෙනවා.
ඔබ කොතරම් ජනප්‍රිය වුවත් එදා වගේම අදටත් නිහතමානී චරිතයක්?
මම හිතන්නේ අපට දෙයක් ලැබෙද්දී උඩඟු වෙනවා කියන්නේ අපේම සාර්ථකත්වය නැති කර ගැනීමක්. ඒක මම පුංචි කාලේ ඉඳලා හිතන දෙයක්. අපි ජයග්‍රහණ ලබද්දී සාර්ථකත්වය කරා ළඟා වෙද්දී වී කරලක් පැහෙද්දී නැවෙනවා වගේ වෙන්න ඕනෑ. අපි මේ ඉන්න ක්ෂේත්‍රයේ අපි වැඩ කරන්නේ ප්‍රේක්ෂකයන් සතුටු කරන්නයි. ඉතින් අපි පුළුවන් උපරිමයෙන් කරන වැඩ කටයුතුවලට, චරිතයට සාධාරණයක් කරලා එතැනින් එහාට පුළුවන් තරම් නිහතමානීව හිටියොත් මේ විශ්වයෙන්ම අපට හොඳ දේවල් ලැබෙනවා.
“තරු ආදරේ” ටෙලි නාට්‍යය ආරම්භයේදීම හොඳ ප්‍රතිචාර තිබෙනවා නේද?
යෙහංසා චරිතය අම්මා නැතිව පුංචි ළඟ හැදෙන දියණියකගේ චරිතයක්. ඇය දඟකාර ගැහැනු ළමයෙක්. ඉතින් පුංචිගෙයි තාත්තාගෙයි ළඟ හැදෙන ඇයට හමුවන ආදරවන්තයාගෙන් ලැබෙන ආදරය කොහොම වෙයිද බලමු. ඉතින් ඉදිරියට ඒ ගැන කියන්නම්.
සම්මානයක් ලැබීම රංගන ශිල්පියකුට ශිල්පිනියකට ඉදිරි ගමනට කොයිතරම් අභිප්‍රේරණයක්ද?
සම්මානයක් කියන්නේ ඕනෑම කෙනකුට ලොකු උත්තේජකයක්. අපි කරන නිර්මාණයකට සම්මානයක් ලැබෙද්දී අපි හරි සතුටු වෙනවා.
ජනප්‍රියම සම්මානය කියන එක බර සම්මානයක්. මොකද ජනප්‍රියතාව රැක ගැනීම පහසු දෙයක් නෙවෙයි. එක පුංචි වැරැද්දක් ඇති අපට ඒ ආදරය නැති වෙන්නත්. මම ඒ ප්‍රේක්ෂක ආදරය නැති කරගන්න හරි ලෝභයි. ඉදිරියට වැඩ කටයුතු කරන්නත් සම්මානයක් ලැබීම ලොකු හයියක්. ඒ වගේම තව හොඳම විධියට වැඩ කටයුතු කරන්න, හැකියා ඔප්නංවා ගන්න අපට හිතෙනවා.
ක්ෂේත්‍රය තුළ එක චරිතයකට සාධාරණයක් කිරීමේදී එවැනිම චරිතවලට රාමුගත වෙනවා නේද?
අහිංසක චරිතයක් කළොත් ඒ විධියේම චරිත තමයි ලැබෙන්නේ. ඉතින් ඒ රාමුව බිඳ දමාගෙන යන්න අපි දැනගන්න ඕනෑ. ඒකෙන් පිටතට යෑම රංගන ශිල්පියා හෝ ශිල්පිනිය අතේ තමයි තිබෙන්නේ. අපි අපිටම දාගත්තු සීමා මායිම් එහෙමත් තිබෙනවානේ. ඉතින් ඒ දේවල්වලට ගැළපෙන අපිට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් චරිත භාර ගන්න ඕනෑ. ඒක අපේම වගකීමක්.
බොහෝ නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් කෙටි කලකින් ජනප්‍රිය වුවත් ක්ෂේත්‍රයේ රැඳෙන්නේ නෑ නේද?
මම මටම කියලා දාගත්ත නීති රීති ටිකක් තිබෙනවා. ඒ මගේම හොඳට. මම අනිවාර්යයෙන්ම වැඩක් භාර ගන්න කලින් මට ඒක උපරිමයෙන් කරන්න පුළුවන්ද කියලා බලනවා. වැඩ භාරගන්න කලින්ම චරිතය ගැන නිර්මාණය ගැන අපි කතා කරලා නිරවුල් කරගන්න ඕනෑ. ඉතින් මම පසුතැවිලි වෙන්න කැමැති නෑ. මම හැමදේම ගැන නිරවුල්ව බලලා තමයි වැඩක් භාර ගන්නේ.
සමහර නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් වගකීම් විරහිතව වැඩ කරන බවට චෝදනා එල්ල වෙනවා. ඔබේ අදහස?
මම වැඩක් භාර ගත්තම ඒ වැඩේ අවසන් වෙනකල්ම උපරිම සාධාරණයක් කරන්න බලනවා. ඒ වගේම මගෙන් වෙන්න ඕනෑ දේවල් උපරිමයෙන් මම කරනවා. ඉතින් කොයි පැත්තකින්වත් චෝදනාවක් එල්ල වෙයි කියලා මම හිතන්නේ නෑ. ඒ වගේම අපි වෘත්තීය විධියට වැඩ කරන්න ඕනෑ. විනයගරුක වෙන්න ඕනෑ. මේ අවුරුදු පහේ වැඩ කටයුතු කළ විධියටම මම ඉස්සරහටත් වැඩකටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඔබ හැමදාම එකම විධියට ඔබේ සුන්දරත්වය පවත්වාගන්නේ කෙසේද?
හොඳට හිනාවෙලා සතුටෙන් ඉන්නවා. මම ඇත්තටම ප්‍රශ්න ඇති වන විධියේ වැඩ කරන්නේ නෑ. ගොඩක් හිතලා තමයි ඕනෑම දෙයක් කරන්නේ. මම හැමවෙලේම හිනාවෙලා මේ මොහොත සතුටෙන් ගත කරන්න කැමැති කෙනෙක්.
ලංකාවෙම ආකර්ෂණය ඔබට හිමිවෙද්දී ඔබේ හිත දිනාගත් කෙනකු සිටිනවාද?
හරිම වෙලාවෙදී හරිම කෙනා එයි කියලා මම හිතනවා. මොකද දෙපැත්තක හිටපු දෙදෙනකු එකතු වෙනවා කියන්නේ සංකීර්ණ දෙයක්. ඉතින් අපි ගළපගෙන ජීවත් වෙන්න ඕනෑ. ඉතින් හරිම කෙනා හරි වෙලාවට එනකල් මමත් බලාගෙන ඉන්නවා.
දැන් දැන් සමාජ මාධ්‍යය තුළ කලා නිර්මාණ පිළිබඳව විචාරය හා විවේචනය කිරීම ගැන ඔබේ අදහස?
මම හිතන්නේ සමාජ මාධ්‍ය කියන්නේ අපි ප්‍රේක්ෂකයන් එක්ක මුහුවෙන තැනනේ. ඉතින් හොඳ වගේම නරකත් ගන්නම අවශ්‍ය දේවල් අපි ඒ තුළින් ගන්න ඕනෑ. ගොඩක් වෙලාවට ප්‍රේක්ෂකයන් අපි වෙනුවෙන් වීඩියෝ හදනවා, පෝස්ට් ශෙයාර් කරනවා දකිද්දීත් මට හරි ආසයි. මට පුළුවන් හැමවෙලේම මම ඒ දේවල්වලට කමෙන්ට් කරනවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
මගේ සිනමා නිර්මාණ තුනක වැඩ කටයුතු අවසන්. මේ අවුරුද්ද අවසනයේදී බලාගන්න පුළුවන්. තව අලුත් ටෙලි නිර්මාණත් තිබෙනවා. ඉදිරියට ඒ ගැන තව විස්තර කියන්නම්. මේ හිටියා වගේම මාත් එක්ක ආදරයෙන් ඉන්න කියලා තමයි ඉතින් කියන්න තිබෙන්නේ. ඒ වගේම පාරාදීසේ ටෙලිනාට්‍යයේ අවසන් ටිකේ අපි දැන් ඉන්නේ. ඒ ගැනත් මතක් කරන්න ඕනෑ. වගීෂ, පාරමී ආදරයට බොහෝදෙනකු ආදරය කළා. ඒ ප්‍රේක්ෂක ආදරයට හරිම ආදරෙයි.
රුවිනි අමරකෝන්
