කිසිම අවස්ථාවක තව කෙනකුගේ ඊගෝ එක මසාජ් කරන්න ලෑස්ති නැහැ – ජගත් මනුවර්ණ

gossiplanka image 1
 



ජගත් මනුවර්ණ කියන්නේ නිර්මාණ පස්සේ එළවා එළවා ගිහිල්ලා රඟපාන චරිතයක් නෙමෙයි. ඔහුට ලැබෙන අවස්ථාවන් හරියට තෝරල බේරලා අරගෙන ඊට උපරිම සාධාරණය කරන රංගන ශිල්පියෙක්. පසුගිය කාලයේ ඔහු චතු වීරමන් කියන තරුණ අධ්‍යක්‍ෂවරයාගේ අධ්‍යක්‍ෂණයට නතු වුණා. ඒ සචින් ලෙසින්. සචින් ජීවත් වෙන්නේ චතුගේ ආයු සිනමා නිර්මාණය තුළ. ඉතිං කාලෙකින් අපි ජගත් මනුවර්ණගේ විශිෂ්ට රංගනයක් යළිත් තිරය මත දිස්වෙනවා දකිනවා. ආයු සිනමා නිර්මාණයත් සමග චිත්‍රපටයේ මංගල දර්ශනය දවසේ ජගත් එක්ක සචින් ගැන පොඩි චැට් එකක් දැම්මා.


ඔබට කොහොමද සචින්ව මුණගැසුණේ?


මට මතක හැටියට 2016 වසරේ අග භාගයේදී තමයි චතු වීරමන් මට මේ සඳහා ආරාධනා කරන්නේ. 2017 වසරේ තමයි ආයු සිනමා නිර්මාණයේ රූගත කිරීම් සිදුකරන්නේ. චතුයි මමයි මිතුරන් විදිහට දන්නවා. චතු මුලින් කළ නිර්මාණය ඉතිහාසය පුරා වෘන්තයක් ආශ්‍රයෙන් කරපු නිර්මාණයක්. ඉතිං මම හිතුවෙත් නැහැ චතු මේ වගේ ෆිල්ම් එකක් කරයි කියලා. හැබැයි නිර්මාණකරුවෙක් විධියට විශාල හැරවුමක් ගන්නවා ආයු චිත්‍රපටයත් එක්ක. මම හිතන්නේ චතුට විශ්වාසයක් තියෙන්න ඇති සචින්ට මට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් ඇති කියලා. චතු කතා කරලා මේකට කැමැති ද කියලා ඇහුවහම මම උඩින්ම කැමැති වුණා. මොකද චරිතයේ ස්වභාවය, පිටපත වගේම එහි අන්තර්ගතය හරි රසවත්.



ආයු සිනමා නිර්මාණය ඔබට විශේෂ වුණේ කොහොමද?


මට නිර්මාණයක් වගේම චරිතයක් ලැබුණහම ඒ සියල්ල මට විශේෂයි තමයි. මම ගොඩක් වෙලාවට එක් වර්ගයේ චරිත නිරූපණය කරලා නැති තරම්. මේක ඒ අතරිනුත් සුවිශේෂ වෙන්නේ මම ඇලුම් කරන විදිහේ චරිතයක් වීම. බීච් බෝයි කෙනෙක්ගේ කැරැක්ටර් එකක්. අපට නිතර මුණගැසෙන එවන් චරිතවල ස්වභාවයට මම කැමැතියි. මුහුදු වෙරළ ආශ්‍රිතව ගතවෙන ඒ ජීවිත එළියට පෙනෙන්නේ හරි සැහැල්ලුවෙන් ගත කරනවා වගෙයි. එහෙම නැති වුණාම ඒ ජීවිත ඇතුළේ සංකීර්ණතා තිබෙනවා. ඒ ජීවිතවල මුල සිඳුණු ගතියක් තිබෙනවා. ටිකක් ඇඩ්වෙන්චර් එකට මම ගොඩක් ප්‍රිය කරනවා. ඒක නිසා මම ඉතාම කැමැත්තෙන් කරපු චරිතයක් කිව්වොත් නිවැරදියි.


ඔබ මේ චරිතය පිළිබඳව යම්කිසි අධ්‍යයනයක නියැළුණාද?


අපිට මෙහෙම ජීවිත මුණගැසිලා තිබෙනවා. අනික පොතපත පරිශීලනයෙන් හොයන්න රිසර්ච් මේ වගේ නැහැ. ඒකෙ තියෙන්නේ ජීවිතයේ අපට මුණගැසුණු දේවල් නැවත වතාවක් ස්මරණය කරමින් චරිතය ගොඩනැඟීම තමයි. බොහෝ වෙලාවට මම නිරූපණය කරපු චරිත බොහෝමයකට පාදක වෙන්නේ ඒ ඒ චරිතවල ස්වභාවයත් සමාජයේ ඉදිනෙදා මුණගැසෙන අයගෙන් ගන්න දේවල් තමයි. එහෙම තමයි මේ චරිතයක් නිරූපණය වෙන්නේ. මුහුදු වැල්ලේ ජීවිත සම්බන්ධයෙන් මට ගොඩක් අත්දැකීම් නැහැ. මොකද මම ඒ ආසන්නයේ හැදුණු වැඩුණු කෙනෙක් නෙමෙයිනේ. ඒක නිසා මේක සම්බන්ධයෙන් යම්කිසි අධ්‍යයනයක් කරන්න සිද්ධ වුණා. විශේෂයෙන් මම සොයාගත්තු දේවල් ටිකක් තමයි මේ චරිතයේ තියෙන්නේ.


ආයු සිනමා නිර්මාණයේ චතුගේ සිනමා රූපී බවේ අපි මෙහි විශේෂත්වයක් දකිනවා. අපිට ඒ ගැන කතා නොකරම බැහැ?


චතු සිනමාව අධ්‍යයනය කරපු කෙනෙක්. එතකොට ඔහුට ඉතාම හොඳ ඇහැක් තිබෙනවා. මෙහි කැමරා අධ්‍යක්‍ෂවරයා කාලිංග. ඔහුත් ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් මේ නිර්මාණයට දායක වුණා. අපි මීට කලින් ලංකාවේ සිනමාවේ මෙවැනි රූප දැකලා නැහැ. ඉතිං ඒක විශේෂයි. ඒකෙ තියෙනවානේ යම්කිසි අලංකාරත්වයක්. වෙන චිත්‍රපටවල නොදකින මේ චිත්‍රපටයේ සිනමාත්මක සෞන්දර්යයක් රූපවල තියෙනවා. ගොඩක් වෙලාවට චිත්‍රපටයක අධ්‍යක්‍ෂවරයා සහ කැමරා අධ්‍යක්‍ෂවරයා සැමියා බිරිඳ වගේ තමයි ඒ ගනුදෙනුව හරියට පෑහෙන්න ඕනෑ. නැති වුණොත් එහෙම අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. මම හිතනවා මේකේ ඒ ගැළපීම ඉතාම හොඳින් සිද්ධ වෙලා තිබෙනවා කියලා.


මේකේ කලා අධ්‍යක්‍ෂණය බිමල් දුෂ්මන්තගේ, ඇඳුම් නිර්මාණය කුමාර කරවාදෙනියගේ, මේකප් හර්ෂගේ, කොණ්ඩා මෝස්තරය ශිල්පියා හරූන්. මේ හැමෝගෙම දායකත්වය හරියට ගැළපිලා තියෙනවා. මම හිතනවා ඒක අධ්‍යක්‍ෂවරයකුට හම්බවෙන විශේෂ අවස්ථාවක් කියලා.


මමත් අධ්‍යක්‍ෂවරයෙක් විදිහට වැඩ කරලා තියෙන නිසා ඒ අත්දැකීම් මට තිබෙනවා සහ මම දන්නවා කොතැනක හෝ අපි තෝරා ගත්ත ශිල්පියෙක් වැරදුණොත් ඒක සමස්ත නිර්මාණයටම බලපානවා. මේකෙ ඒ ගැළපීම හරියටම සිද්ධ වෙලා තියෙනවා.



මෙහි ඔබත් සමග රංගනයේ යෙදෙන සැන්ඩ්‍රා වෙන විෂයක වෙන වැඩක් කරපු කෙනෙක්. ඇය සිනමාවට එන්නේ ආයු හරහා. ඇය කොහොමද ඔබත් සමග ඒ ගැළපීම සිදු කරගත්තේ?


සැන්ඩ්‍රා සිනමාවට අලුත් වුණාට රූප මාධ්‍ය ගැන ඇයට දැනුමක් තිබුණා. මීට කලින් ඇය වෙළෙඳ දැන්වීම්වල වැඩ කරලා තියෙනවා. ඇය කොපි රයිටර් කෙනෙක්. ඒ වගේම දැන්වීම්කරණයේ නියැළුණු චරිතයක්. ඒවත් එක්කත් ඇයට අත්දැකීමක් තියෙනවා. මම හිතනවා ඒ තෝරා ගැනීම හරියටම හරි ගියා කියලා. එකක් තමයි මුහුණ අලුත්වීම, ඇය මට සහයෝගය ලබාදෙන රංගන ශිල්පිනිය විදිහට මට ඉතාම හොඳින් සහයෝගය ලැබුණා.


ඔබ රංගන කාර්යයේදී යම්කිසි සීමාවක් තියාගෙන ඉන්න චරිතයක්ද?


සීමාවක් තියෙනවාටත් වැඩිය මම ගොඩක් තෝරා ගැනීමේදී සෑහෙන සැලකිලිමත් වෙනවා. පළමු දේ තමයි පිටපත. අනික මට ලැබෙන චරිතය. ඒකට මට කොච්චර මහන්සි වෙන්න වෙනවාද වගේම ඒකට අදාළ කාලය මට තිබෙනවාද කියන එක හරි වැදගත්. සමහර නිර්මාණ මම අතහැරලා තියෙනවා කොච්චර කැමැති වුණත්. හැබැයි ඒකට අදාළ කාලය මට වෙන් කරගන්න බැරි නම් ඒක භාරගන්න එක රංගන ශිල්පියෙක් විදිහට මමත් ඒකෙදි සමහර විට අසාර්ථක වෙන්න පුළුවන් සහ නිර්මාණයට කරන අසාධාරණයක් නිසා. ඊළඟ කාරණය තමයි කොච්චර හොඳ නිර්මාණයක් වුණත් අධ්‍යක්‍ෂවරයා කොයි තරම් හොඳින් රංගන ශිල්පීන් එක්ක ගනුදෙනු කරනවාද නැද්ද යන්න වග. ඔහුගේ මැදිහත්වීම කොයිතරම් ද කියන එක මම හොයල බලනවා. නිර්මාණයට දායක වෙන අනෙක් ශිල්පීන් කවුද කියලත් හොයලා බලනවා.


ඒ කියන්නේ ඔබ යම්කිසි සීමාවක් පනවාගෙන ඉන්නවා. එහෙමද?


යම්කිසි නෙමෙයි ඇත්තටම සීමාවක් තියෙනවා.


එතකොට ඔබ දරන දේශපාලන මතයක් එක්කත් ඔබටත් එළියෙන් සීමාවක් වැටෙන්න පුළුවන් නේද?


මම විශ්වාස කරනවා කවුරුත් මේව තෝරාගත්තත් නොගත්තත් අවසාන තෝරා ගැනීම සිදුකරන්නේ මම. ඒ කියන්නේ මම තීරණය කරන්න එපායැ මම යනවාද නැද්ද කියලා. මම ගොඩක් වෙලාවට මට ලැබෙන ආරාධනා ඉතාම ආචාරශීලීව ප්‍රතික්ෂේප කරනවා. ඔබ සඳහන් කළා වගේ ක්‍ෂේත්‍රයේ තිබෙනවානේ විවිධ මත. ඒවා අපිට වෙනස් කරන්නත් බැහැ. නමුත් මට මගේ වැඩ තියෙනවා. මම කවදාවත් කොහෙවත් අවස්ථා බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඒක ක්‍ෂේත්‍රයේ මුල් කාලයේ ඉඳලා මේ දක්වා බැලුවොත් එහෙම මම එහෙම චරිතයක්


ඉල්ලාගෙන තියෙන්නේ නිර්මාණ දෙකකට විතරයි. එකක් තමයි හෙන්රි ජයසේන මහත්මයාගේ හුණුවටයේ කතාව වේදිකා නාට්‍යය. අනෙක් එක තමයි පසන් කොඩිකාර මහත්මයාගේ හයේ කල්ලිය කියන නාට්‍යය. ඒ කාලේ රඟපාන්න තියෙන ආසාව නිසාම අහල ගියේ. ඒත් මට මතකයි හෙන්රි ජයසේන මහත්මයාගේ හුණුවටයේ කතාවේ ඔඩිෂන් එකට ගියා. හැබැයි එතැනින් එහාට කිසිම අවස්ථාවක මම තවත් කෙනකුගේ ඊගෝ එක මසාජ් කරන්න ලෑස්ති නැහැ. නිර්මාණ ලබාගැනීම සඳහා මම විවිධ දේවල් කරන කෙනෙක්. අපිට වැඩ තිවෙනවානේ. කෙටි චිත්‍රපටකරුවෙක් විදිහට සෑහෙන කාලයක් වැඩ කරපු කෙනෙක්. මම අවුරුදු ගණනාවක් මහන්සි වෙලා ‘රහස් කියන කඳු’ කියලා මගේම චිත්‍රපටයක් කළා. ඉතිං ඒකත් එක්ක මම ඔට්ටු වෙවී ඔට්ටු වෙවී හිටියා. ඊට පසුව මම මගේ කොඩිගහ යට ටෙලි නාට්‍ය නිර්මාණය කළා. මේ වෙනකොටත් යම් යම් නිර්මාණවලට සූදානමින් ඉන්නවා. ඒ අතර තුර කවුරු හරි කෙනෙක් මට වැඩකට ආරාධනා කරලා කතා කළොත් ඒවා මම භාර ගන්නවා සේම ඒවාට කළ හැකි දායකත්වය ඉහළින්ම ලබාදෙනවා.


කොඩිගහයට ගත්තත්, රහස් කියන කඳු ගත්තත් හීන බොඳ වුණ තාරුණ්‍ය ගැන තමයි කතාබහ කරන්නෙ. ඔබේ මතවාදය ද මේ නිර්මාණ හරහා ගෙන එන්නෙ?


මෙහෙමයි ආයු ගත්තත් එහෙම එකක් තියෙනවානේ. බිඳුණු විසුරුණු ජීවිතනේ. දැන් තත්ත්වයත් ක්‍රමයෙන් වෙනස් වෙනවා වෙන්න පුළුවන්. ඉච්ඡාභංගත්වයට පත්වුණ තාරුණ්‍ය කියන මාතෘකාව ඉතිහාසයේ ඉඳලා බැලුවහම ගොඩක් නිර්මාණකරුවන්ගේ ප්‍රස්තූත වෙලා තියෙනවා. විශේෂයෙන් ධර්මසේන පතිරාජ වැනි නිර්මාණකරුවෙක් ගත්තොත් ඔහුගේ නිර්මාණවල ගොඩක් වෙලාවට තියෙන්නේ බලාපොරොත්තු කඩවුණු තාරුණ්‍යය. ඉතිං ඒක තමයි විදිහ. අනික, ඇත්ත ජීවිතයෙත් අපි පොරබදන දේවල් ටිකක් තියෙනවානේ. ඉතිං ඒවාම නිර්මාණ ඇතුළට ගෙන එන්න ගොඩක් වෙලාවට මම කැමැතියි. මට නොදැනෙන මාතෘකාවක්, ප්‍රස්තුතයක් එක්ක වැඩ කරන්න ගියාට පස්සේ ඒකට මම අවංක නෑ වගේ දැනුණොත් එතැනින්ම වැඩේ ඇත්තටම අසාර්ථකයි. මට ඒක දැනෙන්න ඕනෑ මේක කරන්න බැහැ කියලා.


අපේ රටේ දක්‍ෂ කලාකරුවෝ දේශපාලනයට ඇවිත් කලාකරුවා කියන භූමිකාවත් විනාශ කරගෙන දේශපාලනයත් නැතිව ලොකු අපවාදයකට ලක්වෙලා යනවා. අවසානයේ ඔවුන් අතුරුදන් වෙනවා. අපට ඒ පූර්වාදර්ශය තියෙන්නේ එතැනයි. මට ඔබ ගැනත් එහෙම බයක් තියෙනවා?


විශේෂයෙන් නරක පූර්වාදර්ශයක් තමයි අපිට තියෙන්නේ. ඒක තමන් තෝරා ගන්නා කඳවුර අනුව තමයි ඒක තීරණය වෙන්නේ. අපි තෝරා ගන්නා දේශපාලන කඳවුර නැතිනම් අපි දරන දේශපාලන මතය කුමකටද සේවය සපයන්නේ කියලා. දැන් මම තෝරාගත් සහ මේ වෙන කොටත් තෝරාගෙන ඉන්න දේශපාලන කඳවුර ගත්තොත් ඒක මිනිසාගේ පොදු යහපත වෙනුවෙන් තමයි සියලු දේවල් කරන්නේ. එතකොට මෙතැනදී අපිට කොතැනකදී හෝ වැරදුණොත් වරදින්නේ මිනිසුන්ට වැඩ කරන්න ගිහිල්ලාම තමයි. එහෙම නැතිව අපේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් යමක් කරන්න ගිහිල්ලා නෙමෙයි. මිනිසුන්ට වරදින්න පුළුවන්. අපිට වුණත් වරදින්න පුළුවන්. ඒ වරදින්නේ වැඩ කරන්න ගිහිල්ලා. අපි පතන ලෝකයක් තියෙනවානේ. ඒක ගොඩනැඟීම සඳහා දරන උත්සාහයේදී දරන ප්‍රයත්නයේදී වැරදුණොත් ඇරෙන්න හිතාමතා නම් හෝ අපේ පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් අපි කිසිම දෙයක් කරන්නේ නැහැ. කලක් ලංකාවේ කලාකරුවෝ තෝරාගත් දේශපාලන කඳවුරු අනුව ඔවුන් එතෙක් කල් සපයාගත් සංඛේනීය ප්‍රාග්ධනයක් තියෙනවානේ. එතකොට ඒකට හිමි වටිනාකමටත් යම් යම් තැන්වල හානි වුණා. ඇත්තටම ඔවුන් සම්බන්ධයෙන් කරන ගැටුමක් තියෙනවා. අදටත් ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය ගැන නෙමෙයි කතා කරන්නේ. ඔවුන්ගේ නිර්මාණ ඉතිහාසය ගැනයි. ඒකට මිනිස්සු අදටත් ආදරෙයි. ඒ නිර්මාණකරුවන් තෝරාගත් දේශපාලන පක්‍ෂ වගකියන්න ඕනෑ ඔවුන්ට වෙච්ච හානියට.


ඒ කාලේ ඔබේ කොඩිගහයට නිර්මාණය ගැන ඇසූ කතාවක් තමයි ජගත් කොඩිගහයට නැඟලා ග්‍රීස් ගහෙන් බැස්සා කියලා. මේ වෙලාවේ ඔබට ඒකට උත්තරයක් දිය හැකියි නේද?


ඒ නිර්මාණය ඒ වෙලාවේ අවසාන කිරීමේ ලොකු වුවමනාවක් මට තිබුණා. මොකද එවකට පැවැති අර්බුදත් එක්ක. කොහොම හරි මේක මම ඉවර කරන්නත් එපැයි. විශේෂයෙන් ටෙලිනාට්‍යයක් කළත් මම ඒක මාලා නාට්‍යයක් විදිහට දිගට ඇදගෙන යන්න කැමැති නැහැ. ඒක එතැනින් ඉවර කරලා තව වැඩක් මම කරන්න එපායැ. මගේ අරමුණ වුණේ මේක එතැනින් නවත්වලා තියන්න. එතකොට මිනිස්සුන්ගේ තියෙනවානේ අවසානය මොකක්ද වුණා වගේ එකක්. ඔවුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා එතැනින් එහාට මේකෙ ඉතුරු ටිකට මොකක් ද වෙන්නේ කියලා. ඇත්තටම ඉතුරු කතාව මගේ ළඟ තියෙනවා. ඒ බලාපොරොත්තු දෙන්නත් මට ඕනෑ වුණා. අනාගතයේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා වැඩිකල් නොගොස් සීසන් 2 එකක් සිනමා නිර්මාණයක් විදිහට අරගෙන එන්න.


දිනේෂ් විතාන

gossiplanka image 2
Previous Post Next Post