පිටපත කියවපු ගමන් ඇහැව්වේ මම දැන් කාගෙ ඔඩොක්කුවෙද යන්නෙ කියලා-කෞෂල්‍යා ප්‍රනාන්දු

gossiplanka image 1
 

“සමන් කතරේ… ඇයි තරිඳු පූසා ළිඳට දැම්මේ” මෙන්න මේ දෙබස තියෙන්නේ පසුගිය සිකුරාදා ඉඳලා හෝල්වලට රිංගපු මෝඩ තරිඳුවාගේ කතාවේ. මේ කතාව කියන්නේ මෝඩ තරිඳුගේ ආච්චි. මේ ආච්චි කවුද දන්නවාද අපට ඉන්න ශ්‍රේෂ්ඨ දක්‍ෂ රංගන ශිල්පිනියක් වුණු කෞෂල්‍යා ප්‍රනාන්දු. හෝල් ඇතුළට රිංගපු මෝඩ තරිඳු පැය දෙකක් තිස්සේ කරපු මෝඩ වැඩ තමයි අද අපට ඇය කියන්න යන්නේ.


මෝඩ තරිඳුව හම්බවුණේ කොහොමද?


තිසර ඉඹුලාන සහ තිසර මංගල බණ්ඩාර කියන්නේ මගේ ඉතාම හෘදයාංගම සහෝදරයෝ දෙදෙනෙක්. ඔවුන් කරපු නිර්මාණ දෙකකට මම රංගනයෙන් දායක වුණා. ඉතිං මෝඩ තරිඳු පිටපත ලියලා ඉවරවෙලා මගේ අතට ගෙනැත් දීලා ඇහැව්වා මෙන්න මෙහෙම චරිතයක් තියෙනවා කරන්න පුළුවන්ද කියලා.


පිටපත කියවන කොට මොකද හිතුණේ?


මට හරි ආසා හිතුණා. වෙනස් චරිතයක්නේ. අනික විවිධ චරිත රඟපාන්න නළු නිළියෝ කැමැතියිනේ. මම ඉන්න වයසත් එක්ක විවිධ චරිත රඟපානකොට තමයි අපිට රසයක් ලැබෙන්නේ.



ආච්චිගෙයි මෝඩ තරිඳුගෙයි දෙබස් හරි අපූරුයි?


පිටපත ලිව්වේ තිසර මංගල බණ්ඩාර ඒ පිටපත හරි රසවත්. ඔහුට හොඳ රචනා ශක්තියක් තියෙන අදහස් තියෙන හරි නිර්මාණාත්මක තරුණයෙක්. තිසර ඉඹුලානට හොඳ රූප භාෂාව පිළිබඳව දැනීමක් තියෙනවා. ඔහුගේ තාරුණ්‍යය හරි වැදගත්. ඔහුට සිනමාව පිළිබඳ හොඳ අදහසක් තියෙනවා. මම කිසිම පැකිලීමකින් තොරව භාරගත්තේ මට ඔවුන් දෙදෙනාව හොඳටම විශ්වාස නිසයි.


‘සමන් කතරේ’ වදන සිනාසාගරයක්?


සමන් කතරේ කියලා මම ඇත්තටම දැනගෙන හිටියේ නැහැ. පොඩි තිසර තමයි කිව්වේ සමන් දෙවියොයි, කතරගම දෙවියොයි එකතු කරලා ‘සමන් කතරේ’ කියල ඒගොල්ලන්ගේ ආච්චි කෙනෙක් කියනවා කියලා. ඇත්තටම හුඟාක් විනෝදජනකය. ඒ රූප තලය. මොකද ඔක්කොම තරුණ අයනේ මම විතරයි වයසක කෙනකුට හිටියේ.


ෂූටිංවලදී අමතක නොවන සිදුවීම් එහෙමත් තියෙනවාද?


ඒක හුඟාක් පරාසයක් තියෙන චිත්‍රපටයක්නේ. රූගත කරන්නේ පාරේ බස්වල, ත්‍රීවීලර්වලනේ. ඒ දවස්වල මගේ කකුලේ තුවාලයක් තිබුණා. මම ඔය කාලෙ සෙරප්පු දෙක දාගෙන තමයි ඇවිදින්නේ. මම හැම තිස්සේම කැමරා කරන මල්ලිගෙන් අහනවා කකුල් දෙක පේනවාද කියල මොකද තිසර දැක්කොත් එහෙම ගලවන්න ගලවන්න ඔය සෙරෙප්පු දෙක ගලවන්න කියනවානේ. ඉතිං අයියෝ සෙරෙප්පු දෙකයි මායි එක්ක ලොකු ප්‍රශ්නයක්.


ත්‍රීවීලර් දර්ශනය ෂූට් කරපු විදිහ කතා නොකරම බැහැනේ?


මම පිටපත කියවලා ඉවරවෙලා ඇහැව්වා කාගෙ ඔඩොක්කුවේද මම දැන් යන්නේ කියලා. හැබැයි මල්ලි මම අඳුරන කෙනෙක්ව ගත්ත කියලා කවුරුහරි නාට්‍ය හරි රඟපාන තරුණයෙක්ව ගන්නත් කියලා කිව්වා. ඔව් එහෙම තමයි ඔයා අඳුරන කෙනෙක්ව තමයි ගත්තේ කියලා කිව්වා. හැබැයි ඉතිං මම එච්චර ගණන් ගත්තේ නැහැ. රඟපාන්න ඉන්න අයත් හරි ආදරණීයයිනේ. රෑ නිදිමතේ නැඟලා ගියේ. සමහර දර්ශන රූගත කළේ පැයකට දෙකට.


ඩිස්ටි ඩිඩිං ගැනත් කියමුකෝ?


මම හරි ආස වුණ ඩිස්ටි ඩිඩිං කියන දර්ශනයට. මේකේ සමන් කතරේට පස්සේ හරි අපූරු නිර්මාණය ඒක තමයි. මම හරි ආසාවෙන් හිටියා චිත්‍රපටයට ඒ දෙබස කොහොමද එකතු කරගෙන තියෙන්නේ කියලා බලන්න.



ගොඩක් වෙලාවට තරුණ නිර්මාණකරුවන්ගේ පළමු නිර්මාණයට ඔබව සම්බන්ධ කරගන්නවා නේද?


මම දන්නේ නැහැ. මම වගේ පෙනුම තියෙන සුදුසු අයට ඒගොල්ලෝ අතින් චරිත ලියවෙනවද කියලා. මාව සුදුසුවෙන චරිත ලියවෙනවා ඇති කියලයි මට හිතෙන්නේ. එක කාලයක් එහෙම තිබුණා. දැන් නම් එහෙම නැහැ.


ඔබේ සිනමා නිර්මාණ දෙකක් එකවර තිරගත වෙනවා. මොකද හිතෙන්නේ?


ඒක ඇත්තටම අහම්බයක්. මම හිතුවේ නැහැ නීරා ඔච්චර ඉක්මනට ඒවි කියලා. මෝඩ තරිඳු නම් කරල දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. මගේ ජීවිතයේ කවදාවත්ම එකවර චිත්‍රපට දෙකක් තිරගත වෙලා නැහැ. නමුත් සතුටට කාරණාවක්. දෙන්නම තරුණ අධ්‍යක්‍ෂවරු. චිත්‍රපට දෙක ශානර දෙකක්. ඒකත් මට හොඳ අත්දැකීමක්.


සූර්යා සමග රඟපෑ දර්ශන එහෙම කොහොමද?


මම තිසරට ගිහිල්ලා කිව්වේ ‘අනේ මේ සූර්යා මාර නළුවෙක්නේ’ කියලා. මම සූර්යාව දැකලා තිබුණේ ජයන්ත චන්ද්‍රසිරිගේ සමනල සංධ්වනිය චිත්‍රපටයෙන්. ඊට වැඩිය ගොඩාක් ස්වාභාවිකව සැහැල්ලුවෙන් මේකේ රඟපානවා. සමහර වෙලාවට සූර්යා කියන ඒවාට කරන දේවල්වලට මට කරගන්නම බැරිව හිනාවෙලා හිටපු වෙලාවලුත් තිබුණා.


මෝඩ තරිඳු සොපියාගෙන් බේරාගන්න ආච්චි ලොකු සටනක් දෙනවානේ?


ඔව්. ඔව්. ෂෙහානිත් හරි දක්‍ෂයි. ඇගේ රංගන ශෛලිය ඉතාම හොඳට ගැළපෙනවා මේ තරුණ කණ්ඩායම දක්‍ෂය.ි කැපවෙලා වැඩේ කළා.


කොහොමද වේදිකාවේ වැඩකටයුතු?


මේ දවස්වල මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ රහස් ලිපිගොනු කියල වේදිකා නාට්‍යයක රඟපානවා. තව සුමිත්‍රා රාහුබද්ධගේ ඇෆ්‍රොඩයිට් මංකොල්ලයේ රඟපානවා. මම පසුගිය දවස්වල එංගලන්තයේ ගියා නාට්‍ය බලන්න. මොකද මම ආසයි වේදිකා නාට්‍යවලට. අපිව මේ තත්ත්වයට ගෙන ආවේ වේදිකාවනේ.


සෝමලතා සුබසිංහගේ ප්ලේ හවුස් එකේ වැඩකටයුතු කොහොමද?


ඒ වැඩ කටයුතු ටික අම්මා හිටපු කාලයටත් වැඩිය හොඳට දියුණු කරලා මගේ සැමියා මහාචාර්ය චන්දන අලුත්ගේ සහ මම එකතුවෙලා වැඩකටයුතු කරගෙන යනවා. අම්මාගේ නාට්‍ය පෙන්වනවා. පන්ති තියෙනවා නළු නිළියන් පුහුණු කිරීමේ වැඩසටහන් කරනවා.


මොනවද ඔබේ ඉදිරි වැඩකටයුතු?


දැනට චිත්‍රපටයකට දෙකකට කතා කරලා තියෙනවා. ටෙලි නාට්‍ය දෙකකට තුනකට කතා කරලා තියෙනවා. කාලයත් කළමනාකරණය කරගෙන ඒවායේ නිරත වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔය අතරේ මම ජයවර්ධනපුර විශ්වවිiාලයේ බාහිර කථිකාචාර්යවරියක් විදිහට කටයුතු කරනවා.


දිනේෂ් විතාන

gossiplanka image 2
Previous Post Next Post