කොළඹ ආවෙ රඟපාන්න නෙමෙයි – දුලක්‍ෂි රාජපක්ෂ

gossiplanka image 2
 



මේ දවස්වල කාගේත් කතාබහට ලක්වෙන සිරස නාලිකාවේ විකාශනය වන රොකී හි දුර්ගා ඇයයි. ඒ වගේම දෙරණ නාලිකාවේ විකාශනය වන ‘මහාරාණි’ හි ගංගු අක්කාට ජීවය දෙන්නේත් ඇයයි. ඔය අතරේ හිරු නාලිකාවේ විකාශය ආරම්භ කළ අම්මා ටෙලිනාට්‍යයෙන්ද ඇය ඔබේ ආලින්දයට ගොඩවෙනවා. නමින් දුලක්ෂි රාජපක්ෂ වන ඇය ටෙලිනාට්‍ය තුනකින් ඔබේ නිවහනට ගොඩවදින නිසාම ‘මීවිතෙන්’ ඇයට මේ ඉඩකඩ වෙන් කළා.



දුලක්ෂි රාජපක්ෂව මේ දිනවල ටෙලිනාට්‍ය තුනකින් දකින්න ලැබෙනවා?


රොකී, මහරාණි, අම්මා කියන ටෙලිනාට්‍ය තුනකින් මේ දිනවල දකින්න ලැබෙනවා.


රොකී හි දුර්ගාට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?


ගොඩක් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. රොකී හි දුර්ගා කියන්නේ ප්‍රධාන නිළියගේ චරිතය. ගොඩක් පොසිටිව්, ටෆ් ක්රැක්ටර් එකක්. නීතිගරුක නිලධාරිනියක් විදිහට තමයි කතාවේ ඉන්නේ. ඉස්සරහට ගොඩාක් වෙනස් වෙයි. මේ වෙද්දිත් මගේ රැකියාව මට නැතිවෙලා. සමාජයට ලොකු කාර්යභාරයක් කරන්න තමයි සූදානම් වෙන්නේ.


පොලිස් නිල ඇඳුම ඇන්දම මොනවගේ හැඟීමක්ද හිතට දැනුණෙ?


මම ගොඩක් ආසාවෙන් හිටියේ ටෆ් ක්රැක්ටර් එකක් කරන්න. ඉතිං ඒ අවස්ථාව මට ලැබුණා. ගොඩාක් ආසාවෙන් හරි ආඩම්බරයෙන් කරපු චරිතයක්.


දුලක්ෂිට තියෙන්නේ දුර්ගාගේ ගතිගුණද?


ඔව්, ටිකක් විතර සමානයි කියන්න පුළුවන්.


මහාරාණි හි ගංගු අක්කා ගැන කතා කළොත්?


ගංගු අක්කා කියන්නෙ මත්ද්‍රව්‍ය විකුණමින් කෙළිලොල් ජීවිතයක් ගත කරන චරිතයක්. අඩු වයසෙදිම දුවෙක් ලැබිලා ඇයත් සමග ඉන්න, වත්තේ කෑගහන අක්කෙකුගේ චරිතයක් තමයි කරන්න තියෙන්නේ. මේක හරි ආසාවෙන් කරන චරිතයක්. මම අහිංසක චරිතවලට කාලයක් කොටුවෙලා හිටියා. සිදාදියේ සමනලියෝ, හිතළඟ හිනැහුනා වගේ ටෙලිනාට්‍යවල රඟපෑවේ හරිම අහිංසක චරිත. මේ දවස්වල මගේ අමුතුම චරිත ටිකක් එනවා.



මත්ද්‍රව්‍ය විකුණන ගැහැණියකගේ චරිතය රඟපාන්න හිතට චකිතයක් දැනුණෙ නැද්ද?


නැහැ. එහෙම බයහිතුණේ නැහැ. ඉදිරියේදී තවත් නාට්‍යයක මීට වඩා දරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ චරිතයකින් මම ප්‍රේක්‍ෂකයන් හමුවට එනවා. මම හිතනවා ඒ චරිතවලට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා. සමහර චරිත කරන්නේ නැහැ කියලා සීමාවක ඉන්නවා. ඒ රාමුවෙන් එහාට ගිහිල්ලා නැති හින්දා මම ආසාවෙන් මේ චරිත භාරගත්තා.


‘අම්මා’ ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණේ කොහොමද?


මේ ආරාධනය ලැබෙන්නෙ මේනක රාජපක්ෂගෙන්. ඔහු මීට කලින් කරපු නිර්මාණයක් වුණු සිදාදියේ සමනලියෝ ටෙලිනාට්‍යයේ මම රඟපෑවා. ඒ දැන හැඳුනුම්කම මත තමයි මේ නාට්‍යයට ආරාධනා කළේ. ඒකත් ලස්සන කතාවක්.


එකවර ටෙලිනාට්‍ය තුනක් විකාශය වෙනවා?


ඇත්තටම සතුටුයි. අම්මා කියන ටෙලිනාට්‍ය විකාශනය වෙන්න කලින් මලක් කියන ටෙලිනාට්‍ය විකාශනය වෙද්දිත් ටෙලිනාට්‍ය තුනක් එකවර විකාශනය වුණා. ඒක ඉවරවෙනවාත් එක්කම ඒ නාළිකාවේම ඒ වෙලාවටම විකාශය වන අම්මා කියන ටෙලිනාට්‍යයේත් රඟපාන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.


දුලක්ෂි මේ දවස්වල නිතර දකින චරිතයක් බවට පත්වෙලා?


ඔව්නේ.


නිළියක් විදිහට මගතොටදි ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොකද මම සාමාන්‍ය ජීවිතයේ ගොඩක් මිනිස්සු එක්ක ගනුදෙනු කරන කෙනෙක්. ප්‍රසංගවල නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා. ඒ අතර ක්ලාස් කරනවා. ගුරුවරියක් විදිහට වගේම තාත්තාගේ ව්‍යාපාරවලට සම්බන්ධවෙලාත් කටයුතු කරනවා. ඉතිං මම සමාජයත් එක්ක නිතර ගැටෙන චරිතයක්. ඒ දැනහැඳුනුම්කම් එක්ක මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රොකී හි දුර්ගාටත් ඉහළම ප්‍රතිචාර ලැබෙනවා.


ඔබ වෘත්තියෙන් ගුරුවරියක්?


ඔව්, මම ජාත්‍යන්තර පාසල් ගුරිවරියක් විදිහට අවුරුදු පහක කාලයක් සේවය කළා. පසුකාලීනව මම ගුරු වෘත්තියෙන් සමුගත්තා.


ඇයි ඔබ ගුරු වෘත්තියෙන් සමුගත්නෙ?


ටෙලිනාට්‍ය ගණනාවක වගේම චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කළා. ඒ වගේම මගේ පන්ති කටයුතුත් එක්ක කාර්යබහුල වුණා. ඉතිං ගුරු වෘත්තියට සමුදුන්නා. අපිට හැමදේම බදාගෙන කරන්න බැහැනේ. අනික පාසල් ගුරුවරියක් විදිහට සේවය කරන එක මට ටිකක් අමාරුයි කියලා හිතුණා. මොකද මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි පාසල් ගුරිවරියක් විදිහට සේවය කළේ. මගේ රංගන වැඩකටයුතු වගේම ඉතිරි වැඩකටයුතු තිබුණෙ කොළඹ දිස්ත්‍රික්කයේ. ඒකත් හේතුවක් වුණා ගුරු වෘත්තියෙන් ඉවත් වෙන්න.


සංගීත පන්තිත් පවත්වනවා?


ක්‍රිසෙන්ඩෝ මියුසික් ස්කූල් කියලා ශාඛාවන් දෙකක කොළඹ සහ කුරුණෑගල ප්‍රදේශවල මම සංගීත පංති පවත්වාගෙන යනවා. ඒ වගේම කුරුණෑගල ක්‍රිසෙන්ඩෝ ඉන්ස්ටිටියුට් කියලා සියලු විෂයන් උගන්වන ආයතනයක් තිබෙනවා.


සංගීතය විෂයක් විදිහට හැදෑරුවාද?


ඔව්. මම සාමාන්‍ය පෙළටත් උසස් පෙළටත් හැදෑරුවේ බටහිර සංගීතය. ඒ වගේම උපාධියටත් හදාරන්නේ සංගීතය. පූර්ව ළමාවිය සංවර්ධනය සහ මනෝවිද්‍යාව පිළිබඳවත් උපාධියක් හැදෑරුවා .


කුරුණෑගල ඉඳලා කොළඹ ආපු ගමන ගැන මතක් කළොත්?


ඇත්තටම මම රංගනයට නෙමෙයි කොළඹ එන්නේ. මගේ පවුලේ අය ජීවත්වෙන්නේ කොළඹ. මට පාසල් අවධියේ ඉඳන්ම රඟපෑමට ආරාධනා ලැබුණා. නමුත් තාත්තාගේ අකමැත්ත හින්දා රඟපාන්න යන්න ලැබුණෙ නෑ. පසුකාලීනව අහම්බයකින් වගේ මනස ටිකක් සැහැල්ලු කරගන්න තමයි රංගනයට ආවේ. නමුත් මම මෙච්චර දුරක් යන්න හිතුවේ නැහැ. තාත්තත් කිව්වේ එක අවස්ථාවක් අරගන්න කියලයි. අන්තිමට ටෙලිනාට්‍ය, සිනමාව, වෙළෙඳ දැන්වීම් කියන සියල්ලේම වැඩකරන්න අවස්ථාව උදාවුණා. ආපස්සට හැරුණොත් ඇත්තටම සතුටුයි. ලොකු ගමනක් ඇවිත් තියෙනවා.


දැන් නිවේදන කලාවෙන් ඈත්වෙලාද?


මම අදටත් සමස්ත ලංකා නිවේදන තරගාවලියේ විනිසුරුවරියක් විදිහට කටයුතු කරනවා. මා ළඟ තියෙන දැනුම දරුවන්ට බෙදාහරිමින් මම යමක් කරනවා කියලා හිතනවා. කොන්සර්ට්වල නිදහස් නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
Previous Post Next Post