මගේ ගීත රසවිඳින බොහෝ දෙනෙක් ඒව ලියල තියෙන්නෙ මම කියල දන්නේ නෑ -උමා අසේ­නි­

gossiplanka image 2
 

ඒ මේ දිනවල සමාජ මාධ්‍ය කලඹන ගීතයකි. පද රචනය ජනප්‍රිය රංගන ශිල්පිනී උමා අසේනිගේය. අසලියා ලියවෙන්නේ මීට වසර දෙකකට ඉහත නදිමාල් වෙනුවෙනි. එහෙත් උමා පුදුමයට පත්කරමින් එය එළිදැක්වෙන්නේ නදිමාල්ගේ ‘වෙඩින් සෝන්ග්‘ එක ලෙසිනි. ගීතය ජනප්‍රිය වීමත් සමඟින් නදිමාල්ගේ බිරිය අසලියා යැයි සිතූ පිරිස ද බොහෝය. උමාගේ පද පෙළේ රැඳි ආදරයම එයට හේතු වූවා නිසැකය. රංගනයේ අතිදක්ෂ උමා අතින් ලියවුණු ගීත තිහකට ආසන්නය. මේ දිනවල රූගත කෙරෙන ලලිත් රෝහිත එදිරිසිංහගේ දොරකඩ දෙවොල ටෙලි නිර්මාණයේ ප්‍රධාන භූමිකාවට පණ පොවන ඇය රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණ රැසක් ද ඉදිරියේදී තිරගත වීමට නියමිතය. තම දිවියේ නවතම තොරතුරු ද සමඟින් ඇය අප හා එක්වූවාය.


උමා නිසා නදිමාල්ගෙ ආදරණීය බිරියට අලුත් නමක් ලැබුණා නේද?


ඔව්. ගොඩක් දෙනෙක් හිතුවෙ නදිමාල්ගෙ බිරියගේ නම අසලියා කියලා. අසලියා කියන්නෙ ගීතයේ මලේ නම. මේක ලියලත් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. නදිමාල් මට ‘මෙලඩි‘ එකක් එවලා අක්කෙ මට මේකට ෆැන්ටසික් ලව් එකක වචන ටිකක් දාල දෙන්න කිව්වා. ඇත්තටම ඒ මෙලඩි එකේ තිබුණෙත් හරි හැපිනස් එකක්. ඒක වෙඩින් සෝන්ග් එක විදිහට ලියපු එකක් නෙවෙයි. ඒත් වෙඩින් ෂූට් එකත් එක්ක ඒක ගොඩක් වයිරල් වුණා.


උමා කියන්නෙ දක්ෂ ගී පද රචිකාවක් කියන එක ගොඩක් අය දන්නෙ නැහැ නේද?


ගොඩක් අය මගේ ගීත රසවින්දට ලියල තියෙන්නෙ මං කියල දන්නෙ නෑ. ඒකට හේතුව මං ඒව සමාජ මාධ්‍යවලවත් දාන්නෙ නෑ. මට මේ ලෝකෙ කම්මැළිම වැඩේ ඒක. කවුරුහරි දැම්මොත් ෂෙයාර් කරනව ඇරෙන්න මම දාන්නෙම නැති තරම්. මේ වෙද්දි මං ගීත තිහකට ආසන්න ප්‍රමාණයක් ලියල තියෙනවා. ඒ අතර ගොඩක්ම ජනප්‍රිය වුණු ගීතත් තියෙනවා. සණුක ගායනා කරන ‘පෙරවදනක් සහ නුරා වසන්තේ‘ ශ්‍යාමි නදීෂා ගයන ‘කතාවක් කියන්නම්‘, දීමන්තගේ ‘අංගාර කුමරී‘, ‘සඳ දූ‘ වගේම ‘සසර කින්නරාවී‘ කියන කොරියන් ටෙලි කතා මාලාවේ රවීන් කණිෂ්ක, ශානිකා මධුමාලි, හිරුෂ ජයසේන, බාචි සුසාන් ගයන ගීත පහ හයක්ම තියෙනවා. රුවැති සිතැත්තී ටෙලියෙත් තියෙනවා. මං ගීත ලියන්නෙ ටෙලි නිර්මාණවලට නෙවෙයි. ඒත් මං ලියපුවා ඒවට ගන්නවා.


ඔබ දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවස්වල රූගත කෙරෙන දොරකඩ දෙවොල ඔබේ රංගන ජීවිතේ සුවිශේෂී කඩඉමක් බවට ඉඟි පළවෙනවා. මොකද හිතෙන්නේ?


දොරකඩ දෙවොල අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනූ ඉරගිනි මද්දහන අධ්‍යක්ෂ ලලිත් රෝහිත එදිරිසිංහගේ නිර්මාණයක්. තිරපිටපත තරංගා දිසානායකගේ. මානව සම්බන්ධතා ගැන හරි අපූරුවට කතා වෙන ටෙලි නිර්මාණයක්. අපේ සමාජයේ ජීවත් වෙන කිසිම කෙනෙක් සුදු චරිතත් නෙවෙයි. කළු චරිතත් නෙවෙයි. අවස්ථානුකූලව කුමක් හෝ හේතුවක් මත තමයි ඒවා සුදු, කළු චරිත බවට පත්වෙන්නේ. ග්‍රාමීය පරිසරයක, සංස්කෘතිය පදනම් කරගත්ත කතාවක් මේක. දියණියන් සිවු දෙනෙක් එක්ක අනියම් පෙමක පැටළුණු සැමියාවත් රැකගනිමින් අනේකවිධ දුක්ගැහැටවලට මුහුණදෙමින් ජීවිතය දිනන්න උත්සාහ කරන ගැහැනියක්. ඔව්. ඒක මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වේවි කියල හිතෙනවා.


‘ෂූටින් ෂෙඩියුල්‘ එක ඉවර වෙලත් ගෙදර යන්න බෑ කිව්ව කියලත් ආරංචියි?


ඇත්තටම ඒක පුදුම නිදහසකින්, හරිම විනෝදෙන් සහ පුදුම ආදරයකින් කෙරෙන වැඩක්. දවසේ ෂෙඩියුල් එක ඉවර වෙනව දැනෙන්නෙත් නෑ. ලලිත් අයියා එක්ක වැඩ කරන එක හරිම පහසුයි වගේම හරිම විනෝදයි. මුළු සෙට් එකම එකම පවුලක් වගේ. මගේ ෂෙඩියුල් එක ඉවර වුණාට ප්‍රඩක්ෂන් එකෙන් යන්න එපා නංගි කියලා මට එන්න දුන්නෙම නෑ. තවත් දවස් තුනක් ඉඳලා තමයි ආවේ.


එහෙනම් අමතක නොවන අත්දැකීම් ඕන තරම් ඇති?


අපි දවස් දාහතරක් ගල්ගමුවේ නැවතිලා හිටියා. ඒ කිසිම දවසක් අමතක වෙන්නෙ නෑ. මං මෙතෙක් කරපු නාට්‍යවලින් හරිම ආසාවෙන් සහ විනෝදෙන්ම කරපු නාට්‍යය. බාහිර ප්‍රශ්නත් විසඳගන්න ගමන් කර්කශ පොළොවත් එක්ක හැප්පි හැප්පි ජීවන අරගලයක යෙදෙන දිරිය කාන්තාවක් කියන්නේ ලොකු අභියෝගයක්. සැමියා අනියම් පෙමක පැටලිලා . ගැහැනු දරුවන් හතර දෙනෙක් ජීවත් කරවන්නත් ඕන. මුං ඇට හිටවන්න, මඩේ දාපු පොත් අතු උස්සන් ඇවිත් කැත්තෙන් පළලා වියන්න. පොල් ලෙලි ගහන්න, මේ වගේ ගොඩක් දේවල් පුරුදු වෙන්න වුණා. ඊටත් එහා පොතු කබරයා කියල මිනිස්සු පස්සෙ පන්නගෙන ඇවිත් මරණ අලියෙක් ඉන්නවා. ඌ ෂූට් කරන තැනට ආපු කතාව තමයි රසවත්ම. ඒක හරි ලස්සනට රඟපාල කියන්නෙ අපේ සහාය අධ්‍යක්ෂ ප්‍රියන්ත ශ්‍රී. අන්න පොතු කබරය කියනවත් එක්කම ලලිත් අයියා පණ එපා කියල දුවලා. අපේ සෙට් එක වාහනේට බඩුත් පටවන් ලොජ් එකට එද්දි මෙන්න ලලිත් අයියා කකුල් දෙකත් උඩින් තියන් හති ඇර ඇර ඉන්නවලු. මතක් වෙද්දිත් හිනා යනවා. හිනා වෙන්න ගියාම මට කොහොමත් නතර කරගන්න බෑ. අනිත් අයටත් ඒ හිනාව බෝවෙනවා.


උමා කියන්නෙ සතුන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඔබේ හදවතේ ඉන්න ඔවුන් ගැනත් කියමු?


දැනට බල්ලො හයයි. පූසො දෙන්නෙකුයි ඉන්නවා. එයාල ඔක්කොම පාරෙ අතහැරල දාපු අය. මෙයාල තමයි දැන් මගේ ජීවිතේ වෙලා තියෙන්නේ. කොහේ ගියත් සත්තුම තමයි. සෙට් එකේ අය කියන්නෙත් පොතු කබරය ආවත් මෙයා නම් ඔළුව අතගාල තියාගනීවි කියලා.

gossiplanka image 1
Previous Post Next Post