
නළුවෙක් වෙන එක ලේසි වුණාට, චරිතවලට පණ දෙන චරිතාංග රංගන ශිල්පියෙක් වෙන එක කොහෙත්ම පහසු නැහැ. වසර ගණනක් පුරාවට වේදිකාව තුළින් ලබපු පන්නරයන් හරහා අද වන විට ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රය තුළද අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙක් බවට පත්ව සිටින ඔහු නමින් අනුරාධ මල්ලවආරච්චි. මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණ කිහිපයක් හරහාම එකිනෙකට වෙනස් චරිත තුළින් ප්‍රේක්ෂකයා හමුවට එන ඔහු සමඟ හදගැස්ම අපි කතාබහක නියැළුණේ ඔහුගේ අලුත්ම නිර්මාණ ගැන ටිකක් කතා කරන්න හිතාගෙන. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල විශේෂයෙන්ම ටෙලි කාස්ට් වෙමින් පවතින සිත නිදි නෑ, ලවර්ස් ලීප්, හිද්දලයෝ සහ පැබ්ලෝ යන ටෙලි නාට්‍යවල රූගත කිරීම් සිද්ධ වෙනවා. ඒ වගේම ඊට අමතරව ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය දෙකකත් රූගත කිරීම්වලට සහභාගි වෙනවා. වේදිකා නාට්‍ය කිහිපයකුත් මේ දිනවල වේදිකාගත වෙනවා ඔය දේවල් එක්ක තමයි මේ දවස්ලව කාලය ගත වෙන්නේ.
ලවර්ස් ලීප් හි ක්‍රිස්ටෝ හරි විශේෂ චරිතයක්, ඒ ගැන පොඩ්ඩක් කියලා ඉමු?
රනිල් කුලසිංහ අධ්‍යක්ෂණය කරන, රසික සුරවීරආරච්චි රචනා කරන ටෙලි නිර්මාණයක් තමයි ලවර්ස් ලීප් කියන්නේ. මෙහි මූලික පිටපත අධ්‍යයනය කරද්දිම ක්‍රිස්ටෝ චරිතයට අදාළ රූපමය ගැළපීම හොඳින්ම දැකගන්න ලැබුණා. එතැනදි රනිල් කුලසිංහ ආර්ථිකමය පැත්ත ගැනවත් නොහිතා ඒ චරිතවලට ආදාළ සියලුම දේ ලබා දෙනවා. ක්‍රිස්ටෝ චරිතය ගත්තම අඳින පලඳින විධිය, කතා බහ කරන විධිය වෙනස්. සමහර වෙලාවට අපිට ජීවත් වෙන්න සිදු වෙන්නේ අපි ආස විධියට නෙවෙයි. වෙන කෙනෙක් ජීවත් වෙන්න සකස් කරදෙන විධියට. මම ක්‍රිස්ටෝව දකින්නෙත් ඒ විධියට. මොකද ඔහු මවුපියන් නැති අනාථ දරුවෙක්. පසුව ධනවතෙක් ඔහුව හදාගන්න ගමන් ඔහු වෙනුවෙන් ජීවිතයක් සකස් කරනවා. එතැනදි ඔහු කටයුතු කරන්නේ හරියට වන් මාස්ටර් ඩෝග් කෙනෙක් වගේ. තමන්ගේ ස්වාමියා අතිශය පක්ෂපාතී කීකරු පුද්ගලයෙක් විධියට. නමුත් ඔහු අභ්‍යන්තරයෙන් සංගීතයට ළැදි ආදරණීය පුද්ගලයෙක්.
ක්‍රිස්ටෝ විධියට ඔබට සතුන් එක්කත් සමීපව කටයුතු කරන්න ලැබෙනවා නේද?
ඒ අත්දැකීම නළුවෙක් විධියට මට විශේෂයි. මීට කලින් ඇත්තටම මට රංගන ජීවිතයේදි සතුන් සමඟ කටයුතු කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ලවර්ස් ලීප්හි මට අශ්වයෝ සහ බල්ලෝ එක්ක සමීපව වැඩ කරන්න සිද්ධ වුණා. නමුත් ඒ අවස්ථාවන් ඉතාමත් පහසුවෙන් කරන්න හැකියාව ලැබුණා. මොකද ඒ සතුන් හොඳටම පුරුදු පුහුණු කරපු සතුන්. මේ ටෙලි නාට්‍යයට යොදාගත් අශ්වයා ලංකාවේ අශ්ව රේස්වල චැම්පියන් කෙනෙක්. හරිම හීලෑ, කමාන්ඩ්ස්වලට හරියටම වැඩකරන අශ්වයක්.
ලවර්ස් ලීප්, හිද්දලයෝ මේ දෙකම එකම අධ්‍යක්ෂවරයෙක්ගෙ. ඒ ගැනත් කියමු?
ඔව්. ඇත්තටම ලවර්ස් ලීප්වලට ආරාධනා ලැබිලා එහි මුල් කොටස් රූගත කිරීම් කරන්නේ මීට කාලයකට පෙර. නමුත් රූපවාහිනි නාළිකාවක එය විකාශය වෙන්නේ අවුරුද්දකට විතර පස්සේ. හිද්දලයෝ පටන් ගන්නේ මෑතකදි. හිද්දලයෝ කියන්නේ අපිට නිදහස ලැබෙන්න ආසන්න සමයක සිදුවන දේශපාලන අරගලයක් හා බැඳුණු කතාවක්. ඒක ඓතිහාසික ශානරයේ නිර්මාණයක්. නමුත් ලවර්ස් ලීප් කියන්නේ ඉමැජිනේශන් එකක් මත ගොඩනැඟුණු ප්‍රබන්ධයක්. එකම අධ්‍යක්ෂවරයාගේ වුණත් මේක වෙන වෙනම ආරම්භ කරපු නිර්මාණ දෙකක්. නමුත් මේ වෙද්දි මේ දෙකේම රූගත කිරීම් සිද්ධ වෙනවා. එතැනදි නිරූපණයේදී යම්කිසි අභියෝගයක් තියෙනවා මොකද ක්‍රිස්ටෝ වෙනමම තලයක චරිතයක් නිසාත් හිද්දලයෝ තුළින් රංගනයේ යෙදෙන්න වෙන්නේ වෙනමම තලයක චරිතයකට නිසාත්.
ටෙලි තිරයේදී සාර්ථක වෙන්න වේදිකාව තුළින් ලබපු අත්දැකීම් මොනතරම් වැදගත් වුණාද?
මේක පැහැදිලිවම මාධ්‍ය දෙකක්. නමුත් මේ දෙකටම පොදු කාරණය තමයි රංගනය. නමුත් වේදිකාව ඇතුළේ මම අවුරුදු ගාණක් ලබපු පුහුණුව මට උදවු වෙන්නේ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් විධියට චරිත නිරූපණයට නෙවෙයි. මගේ සාමාන්‍ය ජීවිතයට. විනය, සංයමය, කරන කාර්යයට ලබාදිය යුතු වටිනාකම ලබාදීම වගේ කාරණා තමයි මට වේදිකාවෙන් ලැබුණු දේවල්. රංගනය ගත්තම ටෙලි නාට්‍ය තුළ ඒකට අනන්‍ය වූ වෙනම දෙයක් තියෙනවා. ඇත්තටම ටෙලි නාට්‍ය තුළ දක්ෂ, නළුවෙක් වෙන්න වේදිකාවෙන් එන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. එහෙම වේදිකාවෙන් ආවා කියලා සමහර විට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හොඳ නළුවෙක් වෙන්න බැරි වෙන්නත් පුළුවන්. නමුත් මට පෞද්ගලිකව රංගන ශිල්පියෙක් විධියටත් වඩා මනුෂ්‍යයෙක් විධියට වේදිකාවේ පුහුණුව අතිශය වැදගත් වුණා.
රාවණ චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල පැවැත්වෙනවා. ඒ ගැනත් කතා කරමු?
ඇත්තටම තුශාර තෙන්නකෝන් රාවණ චිත්‍රපටය කරනවා කිව්වාම මම බොහොම කැමැත්තෙන් චිත්‍රපටයට හා කිව්වා. නමුත් මේ සාකච්ඡාව පැවැත්වෙන මොහොත වෙද්දි මගේ රූගත කිරීම් පටන් අරගෙන නැහැ. ඒ රූගත කිරීම් ඉදිරි සතියේදි තමයි පැවැත්වීමට නියමිත. ඒ නිසා මමත් ඒ සම්බන්ධයෙන් ලොකු කුතුහලයකින් ඉන්නේ. ආරංචි වෙන විධියට මේ රූගත කිරීම් ඉතාමත් ඉහළ මට්ටමින් සිදු වෙනවා. මම විශ්වාස කරනවා බරසාර අපූරු චිත්‍රපටයක් ඉදිරියේදි දැකගන්න ලැබෙයි කියලා.
ඇතැමුන්ට අනුව ලංකාවේ සිනමාවට මේ වෙද්දි ඓතිහාසික ශානරයේ නිර්මාණ අවශ්‍ය නැහැ. ඔබ මේ කාරණය දකින්නේ කොහොමද?
ලංකාව වගේ රටක ඓතිහාසික සිදුවීමක් මුල් කරගෙන චිත්‍රපටයක් කරනවා කියන්නෙම ඒ සඳහා වැය වෙන පිරිවැය ඉතාමත් ඉහළයි. ඒ නිසා මම හිතනවා ඓතිහාසික ශානරයේ නිර්මාණයක් කරන එක නිෂ්පාදකයන්ට විශාල අභියෝගයක්. එතැනදි සමහර වෙලාවට පිරිවැය නිසාම සමහර සිදුවීම්වල නිර්මාණාත්මක අගය අඩු වෙනවා. ඒ අඩු වීමත් එක්ක සමස්ත සිනමා පටයේම ගුණාත්මකභාවය අඩු වෙන්න පුළුවන්. එහෙම වුණාම වෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසය බිඳෙන එක. එහෙම සිදුවීම්වල අතුරු ප්‍රතිඵලයක් විධියට තමයි දැන් ඓතිහාසික කතා ඇති වගේ ඒවා ඇහෙන්නේ. ඇත්තටම එහෙම නොවී හොඳ ගුණාත්මකභාවයකින් යුතු නිර්මාණ හැදෙනවා නම් හොඳයි. මම විශ්වාස කරන විධියට අපේ සිනමාවට, තව හොඳ චරිතාපාදන, සරල ආදර කතා වගේ ඒවා නිර්මාණය වෙන්න ඕන. විශේෂයෙන්ම සිනමාව සමඟ ප්‍රෙක්ෂකයන් රඳවා ගන්න නම් විවිධ විවිධ නිර්මාණ බිහි විය යුතුයි. ඒත් එක්කම ගෙවුණු කාලය එක්ක බලද්දි මෑතකදි සිනමාවේ විශාල පිබිදීමක් තියෙනවා. ඒක ඇත්තටම සුබ ලකුණක්.
අපේ කලා නිර්මාණ ජාත්‍යන්තරය ඇතුළේ මාස් ඕඩියන්ස් එකට ළඟා වෙන්න තව කොපමණ කාලයක් ගත වෙයිද?
මට නිශ්චිත කාලයක් ගැන අදහසක් නැහැ. අපි පිළිගන්න ඕන අපි තාක්ෂණ අතින් බොහොම පසුගාමීයි. එතැනදි විද්‍යුත් උපකරණ පමණක් නෙවෙයි. අපේ රංග තාක්ෂණය, අපේ චින්තනය අතින් අපි බොහොම පසුගාමීයි. අතරින් පතර එක්කෙනෙක් දෙන්නෙක් මේ සීමාවන් කඩාගෙන ගියත් කර්මාන්තයක් වශයෙන් අපි බොහොම පසුපසින් ඉන්නේ. නෙට්ෆිල්ක්ස් වගේ ප්ලැට්ෆෝම් එකක යන්න තරම් අපිට නිර්මාණ නැත්තේ අපිට දියුණු තාක්ෂණයක් නැති නිසාම නෙවෙයි. අපි බොහොම දුප්පත් විධියට හිතන නිසා. නමුත් මට විශාල බලාපොරොත්තුවක් තියෙනවා ජෙන් සී එක ගැන. මොකද ඔවුන් හිතන පතන විධිය අපිට වඩා වෙනස්. අපිට ඔවුන් දිහා අකමැත්තෙන් බැලෙන්නෙම ඔවුන් අපිට වඩා විවෘතව
හිතන නිසා. බොහෝ දුරට ඔවුන් මේ දේවල් ඉදිරියට අරගෙන යයි. අද හෙට නැතත් තව දශක දෙක තුනක් ඇතුළත අපේ විනෝදාස්වාද කර්මාතයත් ගෝලීයව යම් කිසි තැනක් ලබා ගනී. එහෙම වුණොත් තව දුරටත් අපේ ජනතාවට කොදෙව්ගත වීමට අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර විට ජෙන් සී එක මේ චින්තන, සංස්කෘතික බාධා බිඳගෙන ඉදිරියට යද්දි අපේ පරම්පරාවේ මිනිස්සුන්ට පරිණාමයේ මුල් කාලයේ සත්තු වගේ බලාගෙන ඉන්න වෙයි. නමුත් ලෝකය වෙනස් වෙවී ඉදිරියට යන්නේ. එහෙම නිසා අපිට ඒ දේවල් ඉවසන්න සිද්ධ වෙනවා.
