
මදර් ලංකා චිත්‍රපටය තුළින් සිනමාවට එක්වූ නව මුහුණුවර ඇයයි. ඇය රංගන ශිල්පිනියක්, දක්ෂ ක්‍රීඩිකාවක් වගේම නිරූපිකාවක්. මේ දිනවල ඇය තම පළමුවැනි සිනමා නිර්මාණය හරහාම විශාල ප්‍රේක්ෂක ආදරයක් ලබන නවක පරපුරේ සුරූපී රංගන ශිල්පිනියක්. ඇය නමින් ශෙනුකි දිශල්‍යා. ඉතින් මේ සොඳුරු කතාබහ මෙවර හදගැස්මට ඇයගෙන්. ඔබ රංගනයෙන් එක් වූ ඔබේ මුල්ම සිනමාපටය මදර් ලංකා ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තවම කාගෙන්වත් අඩුපාඩුවක් ගැන කියලා කමෙන්ට් එකක් ලැබිලා නෑ. ඒක මගේ පළමුවැනි සිනමාපටය. නමුත් බොහෝදෙනකු කීවේ අලුත් නිළියක් කියලා නොහිතෙන තරමට රඟපාලා තියෙනවා කියලා.
රිදී තිරයට නවකයකු ලෙස ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
මම අලුත් කෙනෙක් කියලා හිතෙන්නේ නැති තරමට මට හරිම හොඳට ඔවුන් සැලකුවා. මම ප්‍රවීණයන් සමඟ රඟපාද්දී ගොඩක් බය වුණේ මගේ අඩුපාඩුවක් නිසා ඔවුන්ගේ කොටස්වලටත් අඩුපාඩුවක් වෙයි කියලා. නමුත් මට රඟපාද්දී ගොඩක් අමාරු වුණ තැන්වල ධනංජය අයියා, තරින්දි අක්කා, බිමල් ජයකොඩි මහත්මයා වගේම කණ්ඩායමේ හැමෝම මගේ ළඟ ඉඳන් ළමයකුට පාඩමක් කියල දෙනවා වගේ හැමදේම කියලා දුන්නා. මට ඒ හැමෝම ලොකු සහයෝගයක් ලබා දුන්නා.
ඔබ එක්වරම නව මුහුණුවරක් විධියට සිනමාවෙන් රංගනයට එක්වීම ප්‍රේක්ෂකයන් පිළිගත්තේ කොහොමද?
මම කලින් හිටියේ ක්‍රීඩාවත් සමඟනේ. ක්‍රීඩිකාවක් විධියට කටයුතු කරපු මට එතැනින් මෙතැනට එද්දී ගොඩක් ලොකු වෙනසක් දැනුණා. ක්‍රීඩාවලදී ක්‍රීඩිකාවක් විධියට මිනිස්සුත් එක්ක කතා කරන විධියට නෙවෙයි ප්‍රේක්ෂකයන් සමඟ සන්නිවේදනය කරන්නේ. ඇත්තටම කලා ක්ෂේත්‍රය හරි ලස්සන ක්ෂේත්‍රයක්. මේ හරහා අපට අලුත් මිනිසුන් හමුවෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය ගැන මට හරිම සතුටුයි.
මදර් ලංකා චිත්‍රපටයෙන් සමාජයට ලබා දෙන පණිවුඩය ඔබ දකින්නේ කෙසේද?
මදර් ලංකා චිත්‍රපටය කියන්නේ මාතෘත්වය ගැන කතා කරන තේමාවක් තිබෙන චිත්‍රපටයක්. ඒ වගේම ලිංගික සංක්‍රාන්තිකයන්, සිංගල් මාම් කියන තේමා ගැනත් කතා වෙනවා. මගේ කැරැක්ටර් එකෙන් මම දැක්කේ සිංගල් මාම් කෙනෙක් යටතේ හැදෙන ළමයකුගේ වෙනස තමයි. ඒ අය කොච්චර ශක්තිමත්ද කියලා මම දැක්කා. ඒක සමාජයට ලොකු පණිවුඩයක් දෙන්න පුළුවන් ආදර්ශමත් කතාවක්. මගේ වයසේ ළමයින්ට ආදර්ශයට ගන්න පුළුවන් ලොකු පාඩමක් චිත්‍රපටය තුළ තිබෙනවා. ඉතින් ඒ හේතුව නිසා තමයි මම හරි ආශාවෙන් චිත්‍රපටය තුළ වැඩ කළේ.
ඔබේ පියාගේ මුල්ම සිනමා අධ්‍යක්ෂණය ඔබේ සිනමා ගමනේ ආරම්භය වීමේ අත්දැකීම කොහොමද?
ඒක මම දකින්නේ ආශීර්වාදයක් විධියටයි. මගේ අම්මයි තාත්තයි එතැන නොහිටියා නම් මට වැඩ කටයුතු කරගෙන යන්න ටිකක් අමාරුයි. මොකද මට හුරු නැති තැනක්නෙ. ඒ දෙන්නගේ අවවාද මට වැඩ කටයුතු හරි විධියට කරගන්න ලොකු සහයෝගයක් වුණා. නමුත් ඒ සීන් එක වැරැදුණොත් අපි ඔයාට ඉන්නවා කියන දේ ඒ දෙන්නා කොයිවෙලාවකවත් පෙන්නුවේ නෑ. මාව පුළුවන් තරම් ස්වාධීන කරලා රංග පුහුණුවීම්වලට යවලා තමයි ඒ දෙන්නා මාව මෙතැනට යොමු කළේ.
ඔබේ පවුලෙන් ලැබුණු සහයෝගය ගැනත් මතක් කරමු?
තාත්තා අධ්‍යක්ෂණය කළ නිසා ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඔහු මේ ක්ෂේත්‍රයේ කොහොමද ඉන්න ඕනෑ කියන දේ මට කියලා දුන්නා. ඒ දුන්න සහයෝගය තමයි මට වටිනම දේ. ගැහැනු ළමයකුට ඕනෑම ක්ෂේත්‍රයක ටිකක් ඉන්න අමාරුයි. මොකද ගැහැනු ළමයකුට ආරක්ෂාව කියන දේ ගොඩක් ක්ෂේත්‍රවල නැති තරම්නේ. නමුත් මගේ තාත්තා මට හරි විධියට මාර්ගෝපදේශ ලබාදීලා තමයි මාව එතැනට යැව්වේ. ඒක තමයි මට ඕනෑ වුණම සහයෝගය. ඉතින් ඒක මට ලොකු ශක්තියක්. ඒ වගේම අම්මා මගේ කෑම, බීම වගේ හැමදේම බලලා මට ලොකු සහයෝගයක් දුන්නා. මට චිත්‍රපටය නිසා ක්‍රීඩාවෙන් පොඩි විවේකයක් ගන්න වුණා.
නිරූපිකාවක්, දක්ෂ ක්‍රීඩිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් යන එකිනෙකට වෙනස් භූමිකා පවත්වා ගැනීමේ අභියෝගය කෙසේද?
ඒක පහසු නෑ. ටිකක් අමාරුයි. ක්‍රීඩාව ආරම්භ කළේ අවුරුදු හතරෙදි නිසා පොඩි කාලේ ඉඳලම ගොඩක් දේවල් සමබරව කර ගැනීම ගැන ඉගෙන ගත්තා. නමුත් තුනම එකපාර කරන්න අමාරුයි. ගොඩක් වෙලාවට මම එක ෆීල්ඩ් එකකින් පොඩි විවේකයක් ගන්නවා. මොකද නැත්නම් එකකටවත් මගේ උපරිම දායකත්වය ලබා දෙන්න නොහැකි වන නිසා. නමුත් කොහොමහරි හැමදේම සමබරව කර ගන්නවා.
රංගනයේදී ඇකඩමික් හැදෑරීම කොයිතරම් වැදගත්ද?
මම දකින විධියට ඇත්තටම හොඳ හැදෑරීමක් අවශ්‍යයයි. මොකද රංගනය කියන්නේ අපි රඟපාන දේ විතරක් නෙවෙයි. අපි කතා කරන විධිය, දෙබස් භාවිත කරන විධිය මේ හැමදේම අදාළයි. මා ළඟ රංගනය පිළිබඳ පුහුණුකරුවෙක් හැමවෙලේම හිටියා. ඉතින් ඔහු හැම සීන් එකකදීම මගේ ළඟ ඉඳලා මට උදවු කළා. ඒ පසුබිම මට නොලැබුණා නම් ඇත්තටම මේ දේ කරගන්න නොහැකි වෙනවා.
ක්‍රීඩාව ඔස්සේ ඔබ ලැබූ අත්දැකීම් චිත්‍රපටයේ රංගනයට පහසුවක් වුණාද?
ක්‍රීඩාවලදී අපේ පෞරුෂය ගොඩනැඟෙනවා. මගේ වයසේ ළමයි වුණත් කැමරාවක් ඉදිරියේ රඟපාන්න ටිකක් ලැජ්ජයි. නමුත් ක්‍රීඩාව නිසා මට ඒ ලැජ්ජාශීලී බව නැතිව කැමරාව ඉදිරියේ මං ගැන විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් වුණා. මදර් ලංකා චිත්‍රපටයේ ටිකක් දුක්බර හැඟීම් සහිතව රඟපාන්න තිබුණා. ෂූට් එකෙන් පසුව ඒ හැඟීම්වලින් ගැලවෙන්න මම හිතන්නේ ක්‍රීඩාව කියන දේ මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා.
සිනමාවෙන් වගේම ඉදිරියේදී පුංචි තිරයෙන් ඔබව දකින්නට ලැබේවිද?
මම ක්‍රීඩා කරනවා. ඒ වගේම තවම ඉගෙන ගන්නවා. ඉතින් ටෙලි ඩ්‍රාමා පැත්තට ගියොත් මම දැන් කරන වැඩ කටයුතු මට සමබරව කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නෑ. මොකද ටෙලි නාට්‍යය දිගටම යන දෙයක්. ඉතින් මගේ තීරණය ටෙලි නාට්‍යයවලට නැතිව දිගටම සිනමාවෙන් විතරක් වැඩ කටයුතු කරලා ප්‍රේක්ෂකයන්ට මාව දකින්න සලස්වන එක තමයි.
ඔබේ පළමු නිර්මාණයෙන්ම ලැබුණු ප්‍රේක්ෂක ආදරය දැනුණේ කොහොමද?
මම ගොඩක් වෙලාවට දැක්ක දෙයක් තමයි මම සිනමාහල්වලට ගියාම මුලින්ම මගේ ළඟට දුවගෙන එන්නේ පුංචි ළමයි ටික තමයි. ඒ හැමෝටම මේ චිත්‍රපටයෙන් පණිවිඩයක් ගියා කියන්නේ මට ඊට වැඩිය සතුටක් නෑ. ඒ ආදරය මම කලින් කොයි ක්ෂේත්‍රයක හිටියත් දැනිලා නැති දෙයක්. ඉතින් ඒ නිසා මදර් ලංකා චිත්‍රපටයට මම ගොඩක් ගරු කරනවා.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
දැනට චිත්‍රපට දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ අවුරුද්දේ අවසානයේ එකක් ෂූට් කරන්න ගන්නවා. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතුවලටත් ඉඩකඩ වෙන් කරලා තිබෙනවා.
රුවිනි අමරකෝන්
