
මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් වූ ටෙලි නිර්මාණයක් හරහා කුලුඳුලේ රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඇයගේ සිහිනවල ඊට පෙර කොතැනකවත් රංගන ශිල්පිනියක් වීමේ සිහිනයක් නොතිබිණි. නමුත් දෛවයේ ලියැවී ඇති පරිද්දෙන් ඇය අද මෙරට සිටින ජනප්‍රියම රංගන ශිල්පිනියක් බවට පත් වී හමාරය. මන බඳනා රූ සපුවත්, දිනෙන් දින වැඩිවන රංගන කෞශල්‍යත් නිසාම ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් ඇය නමින් තුශිනි ප්‍රනාන්දු වේ. මේ දිනවල ඔබ රංගනයෙන් දායක වෙන ලවර්ස් ලීප් ගැන කියලම කතාව පටන් ගමු?
ලවර්ස් ලීප් ඔයාලට මේ දවස්වල සිරස නාළිකාව හරහා දැක බලා ගන්න පුළුවන්. ඒක මම මේ තරම් කාලයකට කරලා තියෙන චරිතවලින් ලොකු බරක් තියෙන අභියෝගාත්මක චරිතයක්. මම උපරිම උත්සාහ කරනවා ඒ චරිතයට සම්පූර්ණ සාධාරණයක් කරන්න. මගේ ඒ උත්සාහය කොයිතරම් සාර්ථකද කියන එක තීරණය කරන්න ප්‍රේක්ෂකයන්ට භාර දෙනවා.
මේ නාට්‍යයේ දර්ශන, පසුතල හරිම ආකර්ෂණීයයි. කොහොමද ඒ වෙනසට ලැබෙන ප්‍රතිචාර?
ලැබෙන ප්‍රතිචාර ඉතාමත් හොඳයි. මේක ලොකු අර්ථයක් තියෙන කතාවක්. අධ්‍යක්ෂවරයා ඒ අර්ථය, පණිවුඩය සමාජයට තේරුම් කරවන්න උත්සාහ කරන්නේ ලස්සන ආදර කතා කිහිපයක් හා අතිශය ලස්සන පසුතල භාවිත කරමිනුයි. අධ්‍යක්ෂවරයාගේ සහ පිටපත් රචකයාගේ සංකලනය මත තමයි මෙහි දර්ශන තල සහ ඒ විශුවල් බියුටි එක කොයිතරම් දුරට භාවිත කරනවාද යන්න තීරණය වෙන්නේ. එතැනදී මේ ටෙලි නිර්මාණය අනෙක් නිර්මාණවලින් වෙන් කර හඳුනාගන්න හැකි වෙන්නේ ඔවුන් දෙදෙනාගේ ඒ නිර්මාණාත්මකභාවය නිසා.
එහි ඔබේ රංගනය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් ඉතාමත් සතුටට පත්වී ඇති බව පේනවා?
එහි මම දායක වෙන්නේ නුරාණි කියන චරිතයට. ඇගේ චරිතය ගැන දළ අදහසක් ලබා දුන්නොත් ඇය කරන දේවල්වල අරමුණ තමයි ඇගේ පවුල. ඇගේ ක්‍රියාකාරකම්, ඇගේ තීන්දු තීරණ මේ හැමදේම පදනම් වෙන්නේ ඇගේ පවුල මතයි. ඇය ආදරය කරන්නේ සහ පවුල වෙනුවෙන් කැපවීම් කරන්නේ පවා සමාජයේ අනෙක් අයට වඩා වෙනස් විධියකට. මුලදී ඇගේ මේ වෙනස් ස්භාවය මට අභියෝගයක් වුණා. නමුත් රංගන ශිල්පිනියක් විධියට මම අභියෝග භාර ගන්න කැමැති කෙනෙක්. ඒ වගේම විශේෂයෙන්ම ඒ දර්ශන තල නුවරඑළියේ පිහිටා තිබීමත් මේ නිර්මාණය භාර ගන්න ලොකු හේතුවක් වුණා. මේ වෙද්දි නුරාණි චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉදිරියේදිත් ඒ ප්‍රතිචාර ඒ විධියටම ලබා ගනිමින් ඒ අත්දැකීම ඒ විධියටම දෙන්න අපි ටීම් එකම කටයුතු කරනවා. ඒ වගේම මේ නිර්මාණය ටෙලිවිෂන් එකට කරපු සිනමා පටයක්. මම හැම තිස්සෙම කියන්නේ මේක ටෙලි සිනමා පටයක් කියලා. මොකද මේක එහෙම කියන්න පුළුවන් නිර්මාණයක්.
ලංකාවේ අති දැවැන්ත සිනමා පටයක් ටෙලිවිෂනයට නැඟෙනවා, ඔබ එහි ප්‍රධාන චරිතයකට පණ පොවන බව ආරංචියි?
ඔව්. චංචල රේඛා කියන්නේ ලංකා සිනමාවේ ස්වර්ණමය දශකයේ නිර්මාණය වුණු අති දැවැන්ත සිනමා නිර්මාණයක්, ගාමිණි ෆොන්සේකා, නදීකා ගුණසේකර සහ ස්වර්ණා මල්ලවආරච්චි කියන අති දැවැන්ත සිනමා තරු තමයි මෙහි රංගනයෙන් දායක වුණේ. මම එහි රංගනයේ යෙදෙන්නේ ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය දායක වුණු කමලා චරිතයට. ඇත්තටම ඒකත් මට විශාල අභියෝගයක් වුණු නිර්මාණයක්. ඒකට විශේෂම හේතුව මේක කලින් ප්‍රේක්ෂකයා දැකල තියෙන, කලින් රඟපාලා තියෙන චරිතයක් වීම සහ ඒ චරිතයට රංගන දායකත්වය ලබා දීලා තියෙන්නේ ස්වර්ණා මල්ලවආරච්චි වීම. ඒ චරිතයට මාව තෝරා ගැනීමම මට අභියෝගයක් වගේම ගෞරවයක්. මෙය ඉතාමත් පරිස්සමින් රංගනයේ යෙදිය යුතු චරිතයක්.
ස්වර්ණා මල්ලවආරච්චි කියන්නේ අපේ සිනමාවේ ජීවමාන පුරාවෘතයක්, ඇය දායක වුණු චරිතයකට පණ පෙවීමට ලැබීම මොන වගේ අත්දැකීමක්ද?
ඇත්තටම ඒක මට විශාල සතුටක් වගේම මට ලැබුණු විශාල අවස්ථාවක්. සාමාන්‍යයෙන් නවක රංගන ශිල්පිනියකට මෙවැනි අවස්ථාවක් ලැබීමම වාසනාවක්. මට තවමත් මේ ක්ෂේත්‍රයේ විශාල අත්දැකීම් ප්‍රමාණයක් නැහැ. මම මෙතෙක් කල් දායක වෙලා තිබෙන නිර්මාණ සංඛ්‍යාව සුළු ප්‍රමාණයක්. ඒ වගේම මම තවමත් රංගනය කියන විෂය ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඉතින් එහෙම කෙනෙක්ට ඒ වගේ ජ්‍යෙෂ්ඨ, අති දක්ෂ රංගන ශිල්පිනියක් පණ පෙවූ චරිතයකට දායක වීමට ලැබීමම භාග්‍යයක්. ඉතිං මේ වගේ චරිතයකට තෝරා ගත්තා කියලා හෝ මේ වගේ අවස්ථාවක් ලැබුණා කියලා හෝ සතුටු වෙලා නතර වෙන්න පුළුවන්කමක් නැහැ. මොකද මට ඒ නිර්මාණය ඇතුළේ ඉටු කරන්න විශාල කාර්ය භාර්යයක් තියෙනවා. ඒක බොහොම සියුම්ව අධ්‍යක්ෂවරයා සමඟ කතා බහ කරමින් කළ යුතු කාර්යයක්. ඒක කොයිතරම් දුරට සාර්ථක වෙලාද කියන එක කලින් කිව්වා වගේම ප්‍රේක්ෂයන් තීරණය කළ යුතුයි.
අහම්බෙන් රංගනයට යොමු වුණු කෙනෙක් විධියට අද වෙද්දි මේ ක්ෂේත්‍රයේ ඇවිත් තියෙන දුර ගැන මොකද හිතෙන්නේ?
රංගනයට පිවිසීම අහම්බයක්. විශේෂයෙන්ම ආදරයෙන් මතක් කරනවා චාමර සමරවික්‍රම අයියාව. ඔහු හරහා තමයි මම ක්ෂේත්‍රයට එන්නේ. ඒක මට හැමදාමත් මතක තියෙන කාරණයක්. තව ගොඩක් දේවල් ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. රංගනය කියන්නේ හැදෑරීමක් සමඟ නියැළිය යුතු වෘත්තියක්. ඒ වෘත්තියට අදාළ හැදෑරීම නොකොළොත් අපිට ඒ තුළ තව දුරටත් රඳා පවතින්න බැරි වෙනවා. වෘත්තියක් වශයෙන් අපි ඒ වෙනුවෙන් ලබා දිය යුතු වටිනාකම ලබාදිය යුතුමයි. එහෙම වුණොත් තමයි අපිට මේ ක්ෂේත්‍රයේ ලොකු ගමනක් යන්න පුළුවන් වෙන්නේ. හැදෑරීම, අවබෝධය සහ අධ්‍යයනය සමඟින් මේ ගමන යන්න පුළුවන් නම් අපිට සාර්ථක දුර ගමනක් යන්න පුළුවන් වෙන බව තමයි මගේ විශ්වාසය.
ඒ කියන්නේ ඔබ මේ වෙද්දි රංගනය පිළිබඳව හදාරන ගමන්ද ඉන්නේ?
මම අධ්‍යාපනය ලැබුවේ ජීව විද්‍යා අංශයෙන්. ඒ කාලේ හිතේ කොනකවත් රංගනයට එන්න අදහසක් තිබුණේ නැහැ. නමුත් අහම්බෙන් මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වීමත් එක්කම ඉදිරියේදී ඒ පිළිබඳව නිසි හැදෑරීම් කරමින් මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන එක තමයි මගේ බලාපොරොත්තුව.
ඔබ විදෙස් රටක ජීවත් වෙන්නේ. රංගන කටයුතුත් එක්ක ඉදිරියේදී දිගටම ලංකාවේ රැඳෙයිද?
මගේ පවුලේ අය ජීවත් වෙන්නේ ඉතාලියේ. නමුත් මගේ පෞද්ගලික කැමැත්ත තිබුණේ ලංකාවේ ජීවත් වෙන්න. ඒ නිසා මම මුල ඉඳන්ම උත්සාහ කළා ලංකාවේ ඉන්න. ඉතාලියේ පවුලේ අයත් එක්ක ජීවත්වෙන එකත් හොඳයි. නමුත් පෞද්ගලිකව තමන්ගේ රටේ තමන් කැමැති දෙයක් කරගෙන ඉන්න ලැබෙනවා කියන්නේ වාසනාවක්. මම හිතනවා මට ඒක දැන් ලැබිලා තියනවා. තව ඉස්සරහට ලැබෙන වැඩ කටයුතුත් එක්ක මට ඒ දේ සාක්ෂාත් කරගන්න ලැබෙයි කියලා විශ්වාස කරනවා.
අවසන් වශයෙන් ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැනත් කතා කරමු?
ඉදිරියේදි චංචල රේඛා විකාශය වෙන්න නියමිතයි. ඊට අමතරව ඇයයි මමයි චිත්‍රපටය එන්න තියෙනවා. තව නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සිහිපත් කරන්න අවශ්‍යයි අපි මිරිස්සේ ඩ්‍රාමා එකත් ඉදිරියේදි එන්න නියමිතයි. ඉතාමත් හොඳ කාස්ට් එකක් ඉන්න කෙටි ටෙලි නාට්‍යයක් ඒක. ඒකත් ඉතාමත් මෑතකදී විකාශය වෙයි කියලා හිතනවා.
