තාක්ෂණික ප්‍රයෝග ඕනෑවට වඩා දැම්මම මිනිස්සුන්ට එපා වෙනවා - ක්ලීටස් මෙන්ඩිස්

gossiplanka image 1
 


සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන හැත්තෑව – අසූව දශකය තුළ රිදී තිරයේ දුෂ්ඨයාගේ චරිතයටම අරක්ගත් රංගන ශිල්පියකු ලෙස ක්ලීටස් මෙන්ඩිස් හඳුන්වා දිය හැකිය. එදා මෙදා තුර ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදරය නොඅඩුව ලබන ඔහු මේ දිනවල “හිද්දලයෝ” ටෙලිනාට්‍ය තුළ කරන රංගනය නිසා වඩාත් කතාබහට ලක්ව තිබේ. මේ “හදගැස්ම” අපි ඔහු සමඟින් කළ කතාබහයි. මේ දවස්වල අලුත් තොරතුරු ගැන කියලා මේ කතාබහ ආරම්භ කරමු?


මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකම රූගත කිරීම් යෙදිලා තියෙන නිසා ටිකක් කාර්යබහුලයි. ඒ වගේම චිත්‍රපට කිහිපයකම රූගත කිරීම් මෙන්ම වේදිකා නාට්‍ය කිහිපයකත් පෙර පුහුණු වීම්වල නිරත වෙලා ඉන්නවා.


“හිද්දලයෝ” ටෙලිනාට්‍යයේ ඔබේ චරිතය ගැනත් කතා කරමු?


“හිද්දලයෝ” ටෙලිනාට්‍ය තුළින් කියැවෙන්නේ කුඩාපොළ ස්වාමීන් වහන්සේගේ වික්‍රමාන්විත ක්‍රියාවන් ගැනයි. කුඩාපොළ හාමුදුරුවන්ගේ නායක හාමුදුරුවන්ගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක් විධියට රනිල් කුලසිංහ කියන්නෙ දක්ෂ නිර්මාණකරුවෙක්. මෙවැනි දක්ෂ තරුණ අධ්‍යක්ෂවරයකු සමඟ වැඩ කරන්න ලැබීම ගැන මට හරි සතුටුයි. මම මීට කලින් හාමුදුරුවන්ගේ චරිත කරල තිබෙනවා. ඒ වුණාට මේ චරිතය ටිකක් වෙනස්. ඒ නිසා මෙහි රූගත කිරීම් සිදු කළෙත් දුෂ්කර ස්ථානවලයි. මොන දුෂ්කරතා තිබුණත් හරිම සතුටෙන් මේ වැඩේට මම සම්බන්ධ වුණා.


කොහොමද චරිතයට ලැබෙන ප්‍රතිචාර?


චරිතය සඳහා ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මේ වගේ චරිතයක් තෝරා ගත්තෙ ඇයි වගේ ප්‍රශ්න අහල ප්‍රේක්ෂකයන්ගෙන් පවා දුරකථන ඇමතුම් එනවා. මේ නිර්මාණය සඳහා මෙවැනි හොඳ ප්‍රතිචාර ලැබීමට හේතුව අධ්‍යක්ෂවරයාගේ මනා කැපවීම සහ කණ්ඩායම මනා ලෙස මෙහෙය වීම නිසා කියලයි මට නම් හිතෙන්නෙ.


ඔබ සිනමාවට එකතු වෙලා දශක පහකට ආසන්න කාලයක් ගතවෙලා. එදා සහ අද සිනමාව පිළිබඳ කතා කළොත්?


වර්තමාන සිනමාව පිළිබඳව ලොකු වේදනාවක් දැනෙනවා. වර්තමානයේ බිහිවෙලා ඉන්න නිර්මාණකරුවෝ හොඳයි. රංගන ශිල්පීන් වුවත් එදා අය වගේම සහ සමහරවිට ඊටත් වඩා දක්ෂ අය ඉන්නවා. ඒ වුණාට සිනමාපට නිර්මාණය වන ආකාරය පිළිබඳ සතුටට පත්වෙන්න බැහැ.


සිනමාපට වෙනුවෙන් අධික ලෙස තාක්ෂණය යොදා ගැනීම එයට එක් හේතුවක් කියලයි මට නම් හිතෙන්නේ. ඒ වගේම චිත්‍රපටයක් හදන්න විශාල පිරිවැයක් යනවා. එවැනි ලොකු පිරිවැයක් දරලා චිත්‍රපටයක් කරන්න වර්තමානයේ නිෂ්පාදකවරු කැමැති නැහැ. මොකද එවැනි මුදලක් යොදවලා කරන චිත්‍රපටය අසාර්ථක වුවහොත් කියලා ඔවුන් බයයි. ඉස්සර එහෙම නැහැ. චිත්‍රපටයකට වෙන්කරගත් දින ගණන 20ක් නම් ඒ දින ගණනම හැමෝම ඒ කාර්යය වෙනුවෙන් කැප වෙනවා. ඒ වැඩේ ඉවර කරලා තමයි අලුත් නිර්මාණයකට යන්නේ. වර්තමානයේ එහෙම නැහැ. මේ මාසෙ දවස් දෙකක් රූගත කිරීම් තිබුණොත් ඊට පසුව මාසේ තමයි නැවතත් රූගත කිරීම් සඳහා එම රංගන ශිල්පියා හෝ ශිල්පිනිය සහභාගි වෙන්නෙ. මේ ක්‍රමයට ප්‍රවීණයන් එතරම් කැමැති නැහැ. මම නම් මේ දේවල් තේරුම් අරගෙනයි ඉන්නේ. මේක රැල්ලක් නම් ඒ රැල්ලට අපිත් යන්න ඕනෑ. එහෙම නැති නම් අයින් වෙන්න ඕනෑ. මම ඒ රැල්ල ප්‍රතික්ෂේප කරනවා කියන්නේ මම මේ ක්ෂේත්‍රයෙන් අයින් වෙනවා කියන එකයි.


විජය – මාලිනි, සනත් – සබීතා වැනි සිනමා යුග වර්තමානයේ බිහි නොවෙන්නෙ ඇයි?


එහෙම යුග බිහි නොවෙන එක රංගන ශිල්පීන්ගේ, ප්‍රේක්ෂකයන්ගේ වරදක් කියලා කියන්න බැහැ. මේ වන විට අපට වඩා ගොඩක් ඉදිරියෙන්නේ ලෝක සිනමාව තියෙන්නෙ. මේ යුග කියන ප්‍රශ්නයේදී ඉන්දියාව වුණත් අපට වඩා පහළින් සිටින අවස්ථා වැඩියි. වර්තමානයේ අපි හදන සිනමාපට තාක්ෂණයත් එක්ක බද්ධ වෙලයි තියෙන්නේ. මේ සිනමාපට ඇතුළේ තාක්ෂණය උපයෝගි කරගෙන ප්‍රේක්ෂකයන්ට හිතාගන්නවත් බැරි දේවල් කරනවා. උදාහරණයක් ලෙස සටන් ජවනිකාවක් ගමු. උඩින් විසිවෙලා ගිහින් වාහන උඩට වැටෙනවා, ගිනි ගන්නවා. මිනිසුන්ට මේ වගේ විශ්වකර්ම වැඩ දැන් එපාවෙලා. මොකද එවැනි බොහෝ ජවනිකාවල ස්වාභාවිකත්වයක් නැහැ.


ස්වාභාවික රංගනයෙන් දුරස් වීම නිසාද සිනමාවේ යුග බිහි නොවන්නේ?


ඔව්. එහෙම කිව්වත් එහි වරදක් නැහැ. අතීතයේදී අපි සටන් ජවනිකා කරද්දී ස්වාභාවික විධියටම එය කළා. සනත්, ජීවන්, විජය අයියා, රවි අයියා මේ හැම කෙනෙක්ම ස්වාභාවික රංගනයක යෙදුණා. එහිදී කැමරාවට වඩා වැදගත් වුණේ රංගන ශිල්පියාගේ හැකියාවයි. අද එහෙම මහන්සිවෙලා රංගන ශිල්පීන් වැඩ කරන්නෙ නැහැ. තාක්ෂණය උපයෝගි කර ගනිමින් සටන් ක්‍රම නිර්මාණය කරනවා. එවැනි තාක්ෂණික දක්ෂතා වැඩි කාලයක් රඳා පවතින්නෙ නැහැ. ස්වාභාවික රංගනයන් තුළින් තමන්ගේ නම නිර්මාණය කරනොගත් විට මිනිසුන් එම නිර්මාණයෙන් ඉවතට ගමන් කරන්නේ ඉබේමයි.


සිනමාව තුළ ඔබට ප්‍රතිවීර චරිතයම ලැබෙන්න විශේෂ හේතුවක් තිබුණද?


චිත්‍රපටවල පොඩි පොඩි චරිත රඟපෑවට  හිතුණ ප්‍රධාන චරිතයක් රඟපාන්න තියෙනවා නම් හොඳයි කියලා. මේ කතාව මම යාළුවො එක්ක කිව්වා. එහෙම නම් අපි චිත්‍රපටයක් නිෂ්පාදනය කරමු කියලා යාළුවො කැමැති වුණා. එහිදී ජනක රත්නායකගේ “යළි පිපුණු මලක්” කියන කතාව අරගෙන ගිහින් මම දන්න සහාය අධ්‍යක්ෂවරයෙක් වන ඇන්ටන් ග්‍රෙගරි සමඟින් කතා කළා. එහිදී ඔහු එහෙම හරියන්නෙ නැහැ කියල ඒ සඳහා කැමැති වුණේ නැහැ. එහෙත් ඔහු යෝජනාවක් කළා. ඒ දවස්වල ඔහු රවි අයියා හා ගීතා ප්‍රධාන චරිත නිරූපණයේ යෙදෙන චිත්‍රපටයක සහාය අධ්‍යක්ෂවරයා නිසා මට එම චිත්‍රපයේ දුෂ්ටයාගේ චරිතය නිරූපණය කරන්න අවස්ථාව දෙන්න පොරොන්දු වුණා. මමත් ඒකට කැමැති වුණා. එතැනින් දුෂ්ටයාගේ චරිතය කරන්න පටන් ගත්ත මම ගාමිණි අයියාගෙ ඉඳලා පුබුදු චතුරංග දක්වාම දුෂ්ටයාගේ චරිතය කරන්න අවස්ථාව ලබා ගත්තා.


රිදී තිරයේ පෙම්වතා වෙලාම නැද්ද?


ඇයි නැත්තෙ. මම සිනමාවේ ගොඩක්ම ගරු කළ චරිත දෙකක් තමයි ගාමිණී – මාලිනී කියන්නෙ. එක වතාවක් මම ඉල්ලීමක් කළා අනේ මට මාලිනී සමඟ ප්‍රධාන චරිතය රඟපාන්න දෙන්න කියලා. එතකොට දුෂ්ටයාට ගන්නෙ කවුද? කියන ප්‍රශ්නය ඇති වුණා. එහිදී විජය අයියා දුෂ්ඨයාගෙ චරිත කරන්න පොරොන්දු වුණා. ඒ අනුව “වීරෝදාර” චිත්‍රපටයේ මාලිනී එක්ක ප්‍රධාන චරිතය කරන්න මට පුළුවන් වුණා. එහිදී මම පෙම්වතා වුණා. හැබැයි ඒ රඟපෑමෙන් වැඩක් වුණේ නැහැ. චිත්‍රපටය තිරගත වුණාට පස්සේ මම බැනුම් ඇහුවා. විජය දුෂ්ටයාට දාල ඔයා පෙම්වතා වුණේ කොහොමද? අහලා මට පෝස්ට් කාඩ් පවා ආවා. ආශාවට “හීරෝ” වෙන්න ගිහින් අන්තිමට මිනිසුන්ගෙන් බැනුම් අහන්න වුණා.


රටේ ඉදිරි පරපුර හැඩගස්වන්න සිනමාවෙන් හැකි දේ බොහොමයි. නමුත් ඒ කාර්ය සිද්ධ වෙනවද?


සිනමා නිර්මාණයකින් රටේ තරුණ පරපුර යහපත් මාර්ගයට යොමු කරන්න පුළුවන්. එහෙත් ඒ කාර්ය එහෙම සිද්ධ වෙන්නෙ නැහැ. ඒක කනගාටුවට හේතුවක්. ඒ වගේම එහෙම කරන එකත් හරිම අමාරුයි. ඒ නිසා එම ප්‍රශ්නයට හරි උත්තරයක් දෙන්න බැහැ.


වර්තමානයේ පවතින සිනමාපට, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය පිළිබඳ ඔබගේ කියැවීම?


වේදිකාව නම් එදා අතීතයේ තිබුණා වගේමයි. කිසිදු වෙනසක් නැහැ. චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් තමයි මෙවැනි ගැටලු ඇති වෙලා තිබෙන්නේ. ටෙලිනාට්‍ය සහ සිනමාපට නිෂ්පාදනය වෙනවා. එහෙත් එහි ගුණාත්මක භාවය පිරිහීමට ලක්වෙලා. වර්තමානයේ ටෙලිනාට්‍ය සහ සිනමාපටවලින් ප්‍රේක්ෂකයන්ගේ ඔළුව අවුල් ජාලාවක් බවට පත් වීමක් තමයි සිද්ධ වෙන්නෙ. කිසිම කෙනකුට දොස් පවරන්න බැහැ. මේ වර්තමානයේ පවතින රටාව කියලා හිත හදා ගන්නටම වෙනවා.


අරුණි ජයසේකර

gossiplanka image 2
Previous Post Next Post